තාජුඩීන්ගේ සිරුරු කොටස් සී. අයි. ඩී. භාරයට

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (03) පස්වරුවේ මාලඹේ සයිටම් අධ්‍යාපන ආයතනය වටලා තාජුඩීන්ගේ යැයි සැකකෙරෙන සිරුරු කොටස් ගණනාවක් සමඟ තවත් පුද්ගලයන් 26දෙනකුගේ පමණ සිරුරු කොටස් රැසක් ඔවුන්ගේ භාරයට ගෙන සීල් තබා තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (03) පෙරවරුවේ ලබාගත් අධිකරණ නියෝගයකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු‍වේ විශේෂ පුහුණුවලත් නිලධාරින් පිරිසක් සමඟ විමර්ශන කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ.

වසීම් තාජුඩීන් මහතා ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ නිලධාරී ආනන්ද සමරසේකර මහතා විසින් තාජුඩීන්ගේ සිරුරේ අතුරුදන්වී තිබූ කොටස් සයිටම් අධ්‍යාපන ආයතනයේ පරීක්ෂණාගාරයට ලබාදී ඇති බව රහස් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබිණි.

ඒ අතර පසුගිය සතියේ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු වෛද්‍ය ශිෂ්‍ය රයන් ජයලත් මහතා ඇතුළු එම සංගමයේ පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කරමින් සොරාගෙන ගොස් සයිටම් ආයතනයේ සඟවා තිබූ තාජුඩීන්ගේ සිරුරේ කොටස් එම ස්ථානයෙන් ඉවත්කර ඇති බවත් එයට අමතරව තවත් පුද්ගලයින් රැසකගේ ශරීර කොටස් සහ මෘත දේහ රහසිගතව එම අධ්‍යාපන ආයතනයේ තිබෙන බැවින් ඒවා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට එම පැමිණිල්ල මඟින් ඉල්ලීමක් කර තිබිණ.

සයිටම් අධ්‍යාපන ආයතනයේ උපකුලපතිවරයා වූ අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට සහ එම ආයතනයේ කුලපති මහාචාර්ය නෙවිල් ප්‍රනාන්දු මහතාට විරුද්ධව ඔවුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

මෙම පැමිණිල්ල ද පරීක්ෂණයට භාජනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ අවසරය මත ඊයේ (03) මෙම වැටලීම සිදුරකරනු ලැබිණි.

විජයානි එදිරිසිංහ – දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *