මේ මොහොත පළාත් පාලන ඡන්දයට සුදුසු වේලාව නොවේ – මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා

පළාත් පාලන මැතිවරණයක් මේ මොහො‍ෙත් පැවැත්වීම සුදුසු ද? රටේ ආර්ථික අර්බුදය මැතිවරණ පැවැත්වීම නිසා තවදුරටත් උග්‍ර විය හැකිද? මැතිවරණ ක්‍රමය වෙනස් විය යුත්තේ කෙසේද? යන්න ගැන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා සමඟ කළ සංවාදයකි මේ.

සීමිත කාලයකට මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදය හකුළා ගැනීමක් නොවේ
– මැතිවරණය තියන්න IMF ලැබෙනකම්වත් ඉන්න

රට පසුගිය කාලය තුළ පැවතුණේ ආර්ථික අර්බුදයක. ඒ අර්බුදකාරී තත්ත්වය යම් පමණකට විසඳී තිබුණත් රට තාම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව නැහැ. එහෙත් දැන් පළාත් පාලන ආයතනවල නිල කාලය අවසාන වෙමින් පවතින නිසා පළාත් පාලන මැතිවරණය සඳහා සූදානමක් පවතිනවා. මේ කාලය පළාත් පාලන මැතිවරණයක් සඳහා සුදුසු කාලයක්ද?

නිල වශයෙන් පළාත් පාලන මැතිවරණයක් සඳහා කාලය පැමිණ තිබෙනවා. මැතිවරණයක් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය තුළ අනිවාර්ය අංගයක්. ඒ නිසා ඡන්දයක් එපා කියලා කියන්න අපට බැහැ. ඒත් රට තුළ පැවති විවිධ අර්බුද සහ ගැටලු නිසා මීට පෙරත් පළාත් පාලන මැතිවරණ මාස හයක් අවුරුද්දක් වගේ කල් ගිය අවස්ථා තිබෙනවා.

මැතිවරණයක් පැවැත්වීම කොතෙක් දුරට රටේ පවතින අර්බුදකාරී තත්ත්වය උග්‍ර වීමට හේතුවක්ද කියන එක සලකා බැලිය යුතුයි. අපේ රටේ පළාත් පාලන ආයතන අවුරුදු තිහකට වැඩි කාලයක් ක්‍රියාත්මක වුණා. ඒත් ඒ ආයතනවලින් සිදු විය යුතු නිසි සේවය නිසි විදිහට ඉටු වුණාද කියන කරුණ සලකා බැලිය යුතුයි. පළාත් පාලන ආයතනයකට ලොකු වැඩ ප්‍රමාණයක් ග්‍රාමීය මට්ටමින් නාගරික මට්ටමින් කරන්න පුළුවන්. ඒත්, ඒ දේවල් හරියට ඉටු නොවුන බවයි මගේ පුද්ගලික මතය වගේම සමාජයේ සැලකිය යුතු ප්‍රමාණයක මතය. ආයතනයක නිල කාලය දිගු කරනවා නම්, ඒ ගැනත් අවධානය යොමු කළ යුතුයි. පළාත් පාලන ආයතනයකින් නිසි විදිහට වැඩ කරන්නේ නැති නම් එවැනි ආයතනයක් පවත්වා ගෙන යායුතු ආකාරය ගැන වෙනම අධ්‍යයනය කළ යුතුයි.

ඔබ කියන්නේ පළාත් පාලන මැතිවරණය නිශ්චිත කාලයකට කල් දමා ආයතන නිල කාලය දිගු කරනවා නම් එය නිසි ක්‍රමවේදයකට අනුව කළ යුතු බවද?

ඔව්, කොමසාරිස්වරයකු යටතට ආයතන පත් කරනවා නම් හෝ නිල කාලය දිගු කරනවා නම් එය හිතුමතේ කිරීම නොකළ යුතුයි. ඉදිරි වසරක හෝ මාස හයක කාලය තුළට නිශ්චිත වැඩසටහනක් මඟ පෙන්වීමක් තියෙන්න ඕනෑ. මම නම් යෝජනා කරන්නේ එවැනි නිසි වැඩපිළිවෙළක් තුළ වැඩකටයුතු කළ යුතු බවයි. එමඟින් පළාත් පාලන ආයතනවල අරමුණු නිසි ආකාරයට ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙනු ස්ථිරයි.

එහෙත් අද ඇති තත්ත්වය තුළ පළාත් පාලන මැතිවරණය කල් දැමීමක් සිදු වුවහොත් එහි පසුබිම ගැන ඔබේ විග්‍රහය පැහැදිලි කළ හැකිද?

නීතිය අනුව බැලූ බැල්මට මැතිවරණය පැවැත්විය යුතුයි.ඒක නීතියට අනුව හරි දෙයක්. ඒත් අපි රටේ තියෙන ප්‍රායෝගික තත්ත්වය ගැන සලකා බලන්න ඕනෑ අද රට තියෙන්නෙ ආර්ථික වශයෙන් හොඳ තත්ත්වයක නොවෙයි. ඒ නිසා මැතිවරණයක් පවත්වද්දි මූලිකව බලන්න ඕනෑ. දෙයක් තියෙනවා. ඒ කරුණ තමයි අද රටේ ආර්ථික තත්ත්වය අනුව මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වටපිටාවක් ආර්ථික තත්ත්වයක් තියෙනවාද කියලා සොයා බැලිය යුතුයි. සාමාන්‍ය මැතිවරණයකට විශාල මුදලක් වියදම් වෙනවා. එහෙත් මේ මොහොතේ ඒවගේ මැතිවරණයකට වියදම් කරන්න මුදල් තියෙනවාද? ඒ මුදල් ප්‍රමාණය සොයා ගන්නේ කොහොමද? කියන එක ගැටලුවක්. දැන් තියෙන තත්ත්වය අනුව සල්ලි අච්චු ගහන්නත් බැහැ. මැතිවරණය නිසා දෛනිකව සිදු කරන රටේ වැඩ නවත්වන්නත් බැහැ. එනිසා මම පෙර සඳහන් කළා වගේ සීමිත කාලයක පළාත් පාලන මැතිවරණය කල් දමනවා නම් ආයතන විසුරුවා හැර කොමසාරිස්වරයකු යටතට පත් කරන්න පුළුවන්. මීට පෙරත් පළාත් පාලන මැතිවරණය කල් දැමූ අවස්ථාවල කොමසාරිස්වරු පත් කරනු ලැබ තියෙනවා. ඒ වගේම මැතිවරණය කල් දමනවා නම් පළාත් පාලන ආයතනවලට නිශ්චිත ඉලක්කයක් දෙන්න ඕනෑ ඉතිරි කාලය තුළ ඉටු කළ යුතු කාර්යභාරය පිළිබඳව. එහෙම වුණොත් අඳුර මැද රිදී රේඛාවක් දැක ගැනීමට හැකියාව ලැබේවි.

ඔබ අදහස් කරන මැතිවරණය පැවැත්විය යුතු කාලය ලෙස ඔබ දකින්නේ කොයි කාලයද.?

මම කියන්නේ නැහැ අවුරුදු ගණන් මැතිවරණ කල් දමන්න කියලා. මගේ මූලික අදහස තමයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාවක් ඇත්තේම නැතිනම්, අයි.එම්.එෆ් ණය මුදල ලැබෙන තෙක්වත් මැතිවරණය පැවැත්වීම කල් දැමිය යුතුය යන්න.

ඒත් සමහරුන්ට පෙනෙන්න පුළුවන් මෙය ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැමීමක් කියලා.

සාධාරණ හේතුවකට සීමිත කාලයකට මැතිවරණය කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැමීමක් විදිහට හඳුන්වනවා නම් ඒක සුදුසු දෙයක් නොවෙයි. අප සෑම දෙයක් ගැනම මැදහත්ව කල්පනා කර අදහස් ප්‍රකාශ කිරීම තමයි වඩාත් හොඳ දේ වන්නේ.

පළාත් පාලන මැතිවරණ සමඟ ගැටගැසුන අනෙක් මාතෘකාව තමයි මැතිවරණ ක්‍රමයේ ඇති අඩුපාඩු සහ දුබලතා. ඒ ගැන ඔබට ඇති අදහස පැහැදිලි කළ හැකිද?

පසුගිය පළාත් පාලන මැතිවරණයේ සිට තමයි නව මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ. මිශ්‍ර ක්‍රමයක් ඇති කිරීම සුදුසු වුවත් මේ ක්‍රමය තුළ අඩුපාඩු සහ දුබලතා ද තියෙනවා. ඒ දුබලතා එක්ක වැඩ කරන්න බැහැ. ඒ නිසා ඒ අඩුපාඩු නිවැරැදි කර ගන්න ඕනෑ. මූලිකව නියෝජිතයන් ප්‍රමාණය වැඩියි. මගේ අදහස නම් නියෝජිතයන් හාරදහසක් ඇති. ඒත් අද ක්‍රමය තුළ නියෝජිතයන් අටදහසක් ඉන්නවා. කොට්ඨාස නියෝජනය හොඳයි එමඟින් ගමට නියෝජිතයකු ලැබෙනවා. ඒත් ලැයිස්තු ක්‍රමය ඇති කර තිබෙන්නේ පරාජිත කොට්ඨාස අපේක්ෂකයන් පත් කිරීමට නොවෙයි. ගමේ ඉන්න වැදගත් උගත් පිරිස් පළාත් පාලන ආයතනය වෙත පත් කිරීමටයි. ඒත් ඒ යහපත් අරමුණ පළමු මැතිවරණයෙන්ම බිඳ වැටුණා.

ඒ වගේම බහුතර කොට්ඨාස ප්‍රමාණයක් ජයග්‍රහණය කළ පක්ෂයට වුවත් ස්ථාවර පාලනයක් ඇති කිරීම දුෂ්කරයි මේ මැතිවරණ ක්‍රමය තුළ. බහුතර කොට්ඨාස දිනූ පක්ෂයට බලය අහිමිව ලැයිස්තුවලින් ආසන දිනන පක්ෂ සන්ධාන ගතව පාලන බලය උසුලන අවස්ථා රැසක් අපි පසුගිය කාලයේදී දැක්කා. ඒවා පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු විදිහටයි මම දකින්නේ.

කාන්තා නියෝජනය, තරුණ නියෝජනය ගැන තිබෙන ගැටලු සහ යහපත් සාධක පිළිබඳව ඔබේ අදහස කුමක්ද.?

අපේ ක්‍රමය තුළ කාන්තාවන්ට තරුණයන්ට නියෝජනය තිබිය යුතු ප්‍රතිශතය සඳහන් කර තිබෙනවා. ඒක හොඳ දෙයක් වුවත් ඒ නියෝජනය මඟ හැරී යන අවස්ථා තිබෙනවා.උදාහරණයක් විදිහට සමහර ආයතනවල සිටි කාන්තා මන්ත්‍රීවරියන් අස් වුණා. ඉන්පසු පත්ව පැමිණියේ පිරිමි මන්ත්‍රීවරු, ඒක මැතිවරණ ක්‍රමයේ තිබෙන අඩුවක්. ඇත්තෙන්ම කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවට කොළයක සඳහන් වීම වැඩක් නැහැ. එය ප්‍රායෝගිකව සිදුවෙන්න ඕනෑ. උදාහරණයකට ඉන්දියාව වගේ රටක් ගනිමු; එහි හොඳ කාන්තා නියෝජනයක් තිබෙනවා. අපටත් හැකියාව තිබෙන්න ඕනෑ ඒ විදිහේ කාන්තා නියෝජනයක් ඇති කරන්න. ඇත්තෙන්ම තරුණ සහ කාන්තා නියෝජනය කියන්නේ අනාගත නායකයන් බිහි කිරීමට ගන්නා මූලික පියවරක් විදිහටයි හඳුන්වන්න හැකියාව තිබෙන්නේ. ඒ නිසා මැතිවරණ ක්‍රම සංශෝධනවලදී ඒ ගැනත් නැවත අවධානය යොමු කළ යුතුයි.

පළාත් පාලන ආයතනවල නියෝජනය සකස් විය යුතු ආකාරය සහ ඔවුන් ඒ ආයතන සඳහා සුදුස්සන් බවට තීරණය කළ හැකි ආකාරය ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

පළාත් පාලන නියෝජිතයකු වෙන්න උගත්කම පමණක් සුදුසුකමක් විදිහට හඳුන්වන්න බැහැ. ඒ අතරින් ජනතා සේවයට තිබෙන උනන්දුව සලකා බලන්න ඕනෑ. අද ඇතැම් පිරිස් රස්සාවක් විදිහට මුදල් හම්බ කර ගැනීමේ ක්‍රමයක් විදිහටයි මන්ත්‍රී ධුරය සලකන්නේ. අද සමහර ප්‍රාදේශීය සභා තියෙනවා හරියට රැස්නොවන, ඒ වගේ තැන් ගැන අවධානය යොමු නොකර ඡන්දයක් ඕනෑ කියන තේමාව විතරක් උස්සන් යන එක හොඳ දෙයක් නොවෙයි. මේ තැන් හරියට ක්‍රියාත්මක වෙනවද කියල හොයා බලන්න ඕනෑ. ඒ නිසා පළාත් පාලන ආයතන ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතුයි. මැතිවරණ ක්‍රමය සංශෝධනය වෙනවා නම් ඒ ගැනත් අවධානය යොමු කළ යුතුයි.

රජය යෝජනා කර තිබෙනවා මැතිවරණයකට අපේක්ෂකයකු වියදම් කළ යුතු මුදල සීමා කළ යුතු යෝජනාවක්, ඒ ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද.?

මෙය ඉතාමත් හොඳ යෝජනාවක්, ඇත්තෙන්ම මේ යෝජනාව ක්‍රියාත්මක කළ යුතුව තිබුණෙ කලකට පෙරයි. ඒත් එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වී හෝ උනන්දු වීම ගැන සතුට පළ කළ යුතුයි.

කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රීපාලි මණ්ඩපය මණ්ඩපාධිපති

මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා

         

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *