ලසන්ත ඝාතනය කළ විශේෂ අවිය ” බෝල්ට් ගන්” එකක්

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ මාධ්‍යවේදී, ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනයට ලක් කළේ බෝල්ට් ගන් (Bolt gun) නම් සමීපයේ සිට සතුන් මැරීම සඳහා යොදා ගන්නා විශේෂ ආයුධයකින් දැයි පරික්ෂණ අංශ තුළ සැකයක් මතුව ඇති අතර ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දේහය නැවත ගොඩගෙන පරීක්ෂණ පවත්වන්නේ එම කරුණ තහවුරු කර ගැනීමට බව දැනගන්නට ලැබේ.

බටහිර රටවල ගවයන් මැරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇතැයි කියන මෙම විශේෂිත තුවක්කුව තුළ පතරොම් භාවිතයක් නැති අතර ඒ වෙනුවට ඇත්තේ ඉතා වේගයෙන් තුවක්කුව තුළින් එළියට නික්මී නැවත ක්ෂණිකව තුවක්කුව තුළට යන උපකරණයකි. ඉන් ගවයාට ක්ෂණික මරණයක් හිමිවේ. මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා අත්තිඩිය ආදර්ශ ප‍්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදී 2009 ජනවාරි 8 වැනි දින ඝාතනයට ලක් විය. එම ඝාතනය සිදු කරන අවස්ථාවේදී යතුරු පැදිවලින් ආයුධ සන්නද්ධව පැමිණි ඝාතකයන් ඔහුගේ මෝටර් රථය අවහිර කර නවත්වා එම ඝාතනය සිදු කරනු ලැබූ අතර, ඝාතනයට පෙර ලසන්ත වික‍්‍රමතුංග මහතා අසුන්ගෙන සිටි පැත්තේ පැති වීදුරුව ආයුධවලින් පහරදී කඩා බිඳ එම ඝාතනය සිදුකර තිබුණි. ඝාතන අවිය ඔහුගේ හිස සමීපයට එල්ලකර එම ඝාතනය සිදුකිරීම සඳහා එසේ පැති වීදුරු කඩා බිඳ දමන්නට ඇතැයි පරීක්ෂණ කණ්ඩායම් ඒ අනුව අනුමාන කරයි.

මේ ආකාරයේ වූ විශේෂ අවි කිහිපයක් පසුගිය යුද සමයේ දී ශ්‍රී ලංකාවට ගෙන්වා ඇතැයි දැනගන්නට ලැබෙන අතර එම අවි භාවිත කරනු ලැබුයේ ආරක්ෂක අංශවල විශේෂ කණ්ඩායම් විසින් බව තවදුරටත් වාර්තාවේ.

ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ හිසේ පැවති තුවාලයේ ස්වරූපය මත හා ඔහු අවසන් මොහොතේ ශල්‍යකර්මයට භාජනය කළ වෛද්‍යවරයාගේ නිරීක්ෂණ සටහන් ආදිය නිසා මෙම සැකය මතුව ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර කළුබෝවිල රෝහලේ එවක අධිකරණ වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කළ සුනිල් කුමාර මහතාගේ හදිස්සි මරණ පරීක්ෂණ වාර්තාව වෙඩි වැදීමක් නිසා මෙම මරණය සිදුවී ඇතැයි සඳහන් කර ඇති අතර රස පරීක්ෂණ වාර්තාව සහ ශල්‍යකර්මය සිදුකළ වෛද්‍යවරයාගේ සටහන් වෙඩි වැදීමක සලකුණු නැති බව සඳහන් කර තිබේ.

මෙම ඝාතනය කෙළෙසක සිදුවී දැයි පරස්පරයක් මේ නිසා පැන නඟින බව පවසමින් මෙම ඝාතනය සිදුවී තිබෙන ආකාරය නිවැරදිව තහවුරු කර ගැනීමට නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝගයක් ලබාදෙන්න යැයි කළ ඉල්ලීමක් සලකා බැලූ ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය පසුගිය 27 වැනි දින ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දේහය ගොඩගැනීමට අවසර ලබා දුන්නේය.

ඒ අනුව ගොඩගත් ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දේහය මේ වනවිට කොලඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ, කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් විසින් පරීක්ෂාකරමින් ඇති අතර ඒ පිළිබඳ වාර්තාව මාසයක පමණ කාලයකින් ලබා දෙන බවද දැනගන්නට ඇත.

රාවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *