අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය. – අජිත් පැරකුම් ජයසිංහ

ලාංකික දේශපාලනයේ බලවේග පෙළ ගැසෙමින් තිබෙන ආකාරය අධ්‍යයනය කිරීම රසවත් ය.

එහිදී 2015 ජනවාරි 8 දින දක්නට ලැබුණු බෙදුම් කඩනය ඒ අන්දමින් ම තවමත් ක්‍රියාත්මක වන ආකාරය හා එය වඩා ශක්තිමත් ලෙස නැගී සිටින්නට උත්සාහ කරන ආකාරය පැහැදිලිව දැකිය හැකි ය.

රාජපක්ෂ බලවේගයත්, එහි නූල් සූත්තරවලින් නැටවෙන සෙසු අන්තවාදීනුත් රඟන්නේ එ් දවස්වල රැඟූ ඓතිහාසික භූමිකාවන් ම වීම සුවිශේෂ ය.

එසේම, සිංහල හා දෙමළ ජාතිවාදීන් අතර ඇති වී තිබෙන්නේ අපූරු සන්ධානයකි. වාසුදේව – විග්නේශ්වරන් දෙහූරන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් නිර්මානය කරන නාටකීය ගැටුම මෙසේ ය:

විග්නේශ්වරන් කල්ලිය උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කරනු, ජනතාවගේ ඉඩම් ආපසු දෙනු යයි කියන විට වාසුදේව කල්ලිය ඔන්න හමුදා කඳවුරු ඉවත් කරනවෝ, ත්‍රස්තවාදය නැගිටිනවෝ යි කියති.

විග්නේශ්වරන් කල්ලිය දේශපාලන සිරකරුවන් නිදහස් කරනු යයි කියන විට, වාසුදේව කල්ලිය ඔන්න කොටින්ට නිදහස දෙනවෝ යි කියති.

විග්නේශ්වරන් කල්ලිය ෆෙඩරල් විසඳුමක් ඉල්ලා සිටින විට, වාසුදේව කල්ලිය රට බෙදනවෝ යි කෑ ගසති.

විග්නේශ්වරන් කල්ලිය උතුරේ බලෙන් බෞද්ධ සංකේත පිහිටුවීම නවත්වන්නැයි කියන විට, වාසුදේව කල්ලිය බුදු දහම වනසනවෝ යි විලාප දෙති.

මේ අතර, කිසිවකට සහාය නො දෙන අන්තවාදී සිංහල අපතයෝ දෙමළ ඉල්ලීම්වල ආරක්ෂකයින් වන්නට එකිනෙකා අතර පොර කති. ඩයස්පෝරා සල්ලිවලට ඇති පෙරේතකම මෙන් ම, සිංහල ජාතිවාදය තුළ තමන්ට නැති ඉඩ දෙමළ ජාතිවාදය තුළින් හෝ සොයාගෙන පොරවල් වීමේ නන්නත්තාර මානසිකත්වයත් මේ පසුපස තිබේ.

මේ කුහක බලවේග සමග ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නො හැකි ය. ජනතා ප්‍රශ්නවලට සැබෑ ප්‍රායෝගික විසඳුම් වෙනුවෙන් පුරවැසි බලවේගයක් පෙළ ගැස්විය යුතුව තිබේ.

ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම පිණිසත්, ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරනු පිණිසත්, මේ වන විට දියත් කර තිබෙන ව්‍යවස්ථා ගොඩනැගීමේ ක්‍රියාවලියට සක්‍රියව සහභාගි වීම නීති හා ව්‍යවස්ථා සම්බන්ධ ප්‍රශ්න විසඳා ගැනීමට තිබෙන හොඳම ආකාරයයි. මෙම සටන්කාමීන් එයට කෙතරම් දුරට සහභාගි වනවා ද?

මිලිටරිහරණය, දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය වැනි ප්‍රශ්න විසඳා ගත හැක්කේ ඒ වෙනුවෙන් රජය කළ මුලපිරුම්වලට සහාය දීමෙනි. එහෙම නො කර, ඒවාට විරුද්ධව ජාතිවාදීන්ගෙන් ප්‍රහාර එල්ල වන විට නිශ්ශබ්දව සිට, අපි සහයෝගය දෙන්නෙ නැහැ, හැබැයි උඹලා කරපල්ලා යි කියන කැණහිලුන්ගේ නරිවාදංවලට අප සවන් දිය යුතු ද?

නිදසුනක් ලෙස, විග්නේශ්වරන් සමග උතුරේ බුදු පිළිමවලට එරෙහිව සිට ගන්නා අපතයෝ දකුණේදී සිංහල බෞද්ධ ජාතිවාදයට එරෙහිව කර ඇත්තේ මොනවා ද යන්න සොයා බැලීමත් වටී.

ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ මේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික අන්තවාදී බලවේගවලට ද තවත් සාකච්ඡා වේදිකාවක් සාදා දීම පමණි යයි මම සිතමි. ඔවුන් එකිනෙකා අතර සාකච්ඡා කර යම් ප්‍රායෝගික විසඳුමක් යෝජනා කළ යුතු ය.  ආණ්ඩුවේ ව්‍යවස්ථා ගොඩනැගීමේ ක්‍රියාවලියට එම යෝජනා සම්බන්ධ කළ යුතු ය. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය උපරිම ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් ක්‍රියාත්මක කළ යුතු අතර, එ් සඳහා අවසානයේදී මහජන කැමැත්ත ලබා ගත යුතු ය. මහජන කැමැත්තෙන් තොර යෝජනාවලි ඉදිරියට ගන්නට ආණ්ඩුව හදිසි විය යුතු නැත.

ජාතිවාදීන් හා සෙසු අන්තවාදී අපතයන් ප්‍රශ්න සම්බන්ධයෙන් තමන්ගේ සංයුක්ත යෝජනා ඉදිරිපත් කළ යුතුවා පමණක් නොව, ඒ වෙනුවෙන් ප්‍රජාතාන්ත්‍රික සංවාදවලට සහභාගි වී ජනමත ගොඩනැගීමට හා ප්‍රතිපත්ති උද්දේශනය කිරීමට ද මැදිහත් විය යුතු ය. ආණ්ඩුව ඔවුන්ට ඒ වෙනුවෙන් පහසුකම් සපයා දිය යුතු ය.

එසේ ප්‍රජාතාන්ත්‍රික රාමුවක් තුළ කටයුතු කරනවා හැර, ආණ්ඩු පෙරළීමේ, බලය අල්ලා ගැනීමේ හා ආවේණික සමාජ විරෝධයේ නාමයෙන් එක එකා ඉල්ලා සිටින විසඳුම් දෙන්නට ආණ්ඩුව හදිසි නො විය යුතු ය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *