රාජ්‍ය ආයතන 52ක් මහජන සල්ලි ගිලියි

 

 

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන පනස් දෙකක් පාඩු ලබන බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම රාජ්‍ය ආයතන වසරකදී ලබන පාඩුව රුපියල් කෝටි 86000ක් බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. එය 2021 වර්ෂයේ සියලුම රාජ්‍ය ආයතන ලැබූ සමස්ත පාඩුව ඉක්මවා යෑමක්ද වෙයි.

එසේම රාජ්‍ය ආයතන සහ ව්‍යවසාය 420ක් රජයෙන් නඩත්තු කරන බව රජය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

රාජ්‍ය ආයතන අතුරින් දූෂිත ආයතන තිස් දෙකක් පවතින බව කෝප් කමිටුව පසුගියදා අනාවරණය කළේය. එහි වාර්තාවකට අනුව පසුගිය වසර පහේදී එම ආයතන 32 ලබූ පාඩුව රුපියල් කෝටි 46,500කි.

එම ආයතන අතර වැඩිම පාඩු ලබන ආයතන ලෙස පිළිවෙලින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය, හඳුනාගෙන ඇති බවත් එම ආයතන පසුගිය තෙවසර තුළ ලැබූ පාඩුව රුපියල් කෝටි තිස් දාහක් බවත් සඳහන් වේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරේ මුල් මාස හතර තුළ රුපියල් කෝටි 62,800 ක පාඩුවක් ලබා ඇත.

ඉන්පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 24,800ක්ද ලංකා විදුලිබල මණ්ඩලය කෝටි 4700ක්ද පාඩු ලබා ඇත.

මේ අතර පාඩු ලබන රජයේ ආයතන 39 ක් ප්‍රතිව්‍යුගත ලයිස්තුවේ පවතින බව රජය පවසයි.

(සුජිත් හේවාජුලිගේ)

ලංකාදීප 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *