තමාට සහ තම පවුලට හම්බ කිරීමයි අද අගයන්නේ – චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග

විවියන් ගුණවර්ධන මැතිණිය වැනි විශිෂ්ට ගණයේ කාන්තාවක් ගැන කථාකරන්නට අවස්ථාවක් ලැබීම ගැන විශේෂයෙන් ම මම ආඩම්බර මෙන්ම සතුටු වෙමි. විවියන් ගුණවර්ධන මහත්මිය ඉතාමත් ම තරුණ වයසේ දී දේශපාලනයට පිවිසුණු බව අපි දනිමු. ශ්‍රී ලාංකීය කාන්තාව විශ්ව විද්‍යාලයට නොගිය යුගයක, විශේෂයෙන්ම උගත් කාන්තාවන් දේශපාලනය නොකළ යුගයක එතුමිය සටන්කාමී දේශපාලනයක් හරහයි කරළියට පිවිසුනේ. එතනින්ම අපිට හිතාගන්නට පුළුවන් එතුමියගේ සටන්කාමිත්වය කොපමණ ද යන්න. මට එක්තරා කාලයක එතුමිය සමඟ සමීපව ආශ්‍රය කරන්නට අවස්ථාවක් ලැබුණි. 1960 ගණන්වල සමගි පෙරමුණු ආණ්ඩුව පිහිටුවන වෙලාවේ අපේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත්, ලංකා සමසමාජ පක්ෂයත්, කොමියුනිස්ට් පක්ෂයත්, එකට එකතුව ආණ්ඩු කළ අවස්ථාස්ථාවයි ඒ.
පොඩි කෙල්ලො හැටියට මට හොඳට මතකයි, එතුමිය වේදිකාවේ කථාකරනවා අපි අහගෙන සිටියෙමු. විශේෂයෙන් වමේ කථිකයින් කථා කරනවා අහගෙන ඉන්නට අපි ඒ කාලයේ විශේෂ කැමැත්තක් දැක්වූයෙමු. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මැතිතුමා, බොහෝම සිත් ඇදගන්නා ආකාරයට කථාකරනවා අපි දැක ඇත්තෙමු. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මැතිතුමා. ලෙස්ලි ගුණවර්ධන මැතිතුමා වැනි අය කථා කරනවා අහන්නට ඒ දිනවල අපි ගියෙමු. මේ වේදිකාවල විවියන් ගුණවර්ධන මහත්මියත් බොහෝම වේගවත් ලෙස කථා කරනවා මට මතකය. එතුමියට හිමින් කථා කරන්නට පුරුද්දක් තිබුනේ නැත. බොහොම වේගවත් ලෙස අත්පය විසිකරමින් කථාව යනවිට සාරි පොටත් අතට අරගෙන කථාකරනවා මම දැක ඇත්තෙමි. එතුමියගේ කැපවිම කොතරම් ද යන්න කිවහොත් කථාකරන දේ පිලිබඳූව දැඩි උනන්දුවක් ඇයට තිබුණි. එතුමිය දරුවෝ තුන්දෙනා සහ ලෙස්ලි ගුණවර්ධන මැතිතුමා සමඟ එක වතාවක් හෝ දෙවතාවක් නුවරඑළියේ නිවාඩුවකට ගිය අවස්ථාවල අපිට කිට්ටුවෙන් ආශ්‍රය කරන්නට අවස්ථාව ලැබුණි.
විවියන් මැතිනිය, සමසමාජ නායකයින් සමඟ නිදහස් සටනේ නායකත්වයක් ගත් කාන්තාවකි. ලෙස්ලි ගුණවර්ධන මැතිතුමා අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී එතුමියට තනියම දරුවන් තිදෙනා බලාගෙන ඉන්නට සිදුවන්නට ඇත. එහෙත් එතුමිය කවදාවත් තමා කළ සටන අත්හැරියේ නැත. ඒ වගේම ජේ. ආර්. ජයවර්ධන යුගයේ දී අපි හුග දෙනෙකුට පාරට බැහැලා සටන් කිරීමට සිදුවිය. ලෝක කාන්තා දිනයේ දී එවැනි අවස්ථාවක විවියන් ගුණවර්ධන මැතිනියත් තවත් කාන්තාවන් ගණනාවක් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හොඳටම පහර දී එතුමියව බිම දමා පෑගුවේ ය. එහෙත් එයින් ද භියට පත්නොවූ විවියන් ගුණවර්ධන මැතිණිය එතන දී ද තවතවත් නැගිට අර පොලිස්කාරයින් සමඟ රංඩුකර ගත්තා ය.
තමා විශ්වාස කරන දේ ගැන අවංකව, විශාල කැපවීමකින්, ඉතාමත් සටන්කාමීව, නිර්භිතව ඇය කටයුතු කළා ය. අද එවැනි කාන්තාවෝ කී දෙනෙක් අපේ දේශපාලන කරළියේ සිටිනවා ද? ඇත්ත වශයෙන්ම එතුමියට දේශපාලනයට එන්නට පෞද්ගලික අවශ්‍යතාවයක් තිබුනේ නැත. එතුමියගේ දෙමාපියන්ගෙන් ලැබෙන්නට තිබුණු දේවල් භූක්ති විඳගෙන හොඳ සුඛෝපභෝගි ජීවිතයක් ගතකරන්නට ඇයට තිබුණි. එතුමිය නිදහස් සටනට එක් වී, වමේ සටනේ නායකත්වය ගෙන ලංකාව ප්‍රථම කාන්තා ඇමතිනිය හැටියට කටයුතු කරමින් විශාල සේවයක් අප රටට කළා ය. කාන්තා සටන් ඔප් නංවන්නට, දිරිමත් කරන්නට මෙන්ම අපේ රටේ ප්‍රගතිශිලී ගමනට එතුමියගේ විශාල දායකත්වයක් ලැබුණු බව අපි කවුරුත් දනිමු. ඒ යුගයේ දේශපාලනයට පිවිසි වැඩි දෙනෙක්, විශේෂයෙන්ම උගත් අය මොන පැලැන්තියෙන් ආවත්, විශාල කැපවීමක් සහිතව රට ගැන කැක්කුමකින් දේශපාලනය කළ හ. විවියන් ගූවර්ධණ මැතිණිය තමාගේ අවශ්‍යතාවයන් හා තම පවුලේ අවශ්‍යතාවයන්ට වඩා රට වෙනුවෙන් කැප වි කටයුතු කිරීම විශේෂත්වයකි. ඒ යුගයේ දේශපාලනය කළ නායකත්ව මට්ටමේ සිටි බොහෝ දෙනක් එවැනි අය කියා අපිට ආඩම්බරවිය හැක. අද එහෙම අය කී දෙනෙක් ද යන්න අතේ ඇඟිලි පහෙන්වත් ගණන් කරන්නට අපහසු ය.
මේ යුගයන් දෙකක් අතර ඇතිවි තිබෙන වෙනය ඒ ආකාර ය. එදා විවියන් ගුණවර්ධණලා. ඇන්. ඇම්. පෙරේරලා, කොල්වින්ලා, ලෙස්ලි ගුනවර්ධනලා, එස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායකලා පමණක් නොව විශේෂයෙන්ම ඩී. එස්. සේනනායකලා. ඩඞ්ලි සේනනායකලා වැනි එක්සත් ජාතික පක්ෂයේ නායකයින් පවා අද අපේ යුගයේ සිටින දේශපාලකයින් සමඟ සසඳන විට මහත් වෙනසක් තිබේ. විශේෂයෙන්ම මේ වෙනසට හේතුව එක පාරටම විවෘත ආර්ථිකයත් සමඟ ඇති වූ සංස්කෘතික පිපිරිමක් තුළින් ඇතිවූ දේවල් විය හැක. අද මනුෂ්‍යකමට, රටට, ප්‍රතිපත්තියකට වැඩිය තමා සහ තම පවුලට හම්බකිරිම තමයි වැඩියෙන්ම අගයන්නේ. අද දේශපාලනයටත් ඒක ඇතුල් වී අවසන් ය. මම කියන එක සඳහා ඕනෑම දෙයක් කැප කරන්නට බොහෝ අය ලෑස්ති ය. රටට, ජනතාවට, බොරු කියන්නට සහ රටට කුමක් වූවත් මට සහ මගේ පවුල පමණක් හැදෙන්නට අවශ්‍යය කියන දේශපාලන තත්ත්වයක් අපේ රටේ ඇති වී තිබේ.
ඒ සියල්ලටම වඩා මා නම් වැඩියෙන්ම කණගාටු වෙන්නේ මේ තත්ත්වයට අපේ බුද්ධිමතුන්, උගත්තුන් මෙන්ම වෘත්තියවේදීන් වැනි අය මෙවැනි දේවලට විරුද්ධ වෙනවා වෙනුවට ඒ වගේ දේශපාලකයින්ගේ වලිගයක් වි තිබීම ගැන ය. ඒ පමණක් නොව එවැනි දූෂිත අයගේ ගුණත් ගායනය කරති. අපේ වාසනාවට අඩු තරමින් පැරණි යුගයේ හිටි නායකයින්ගේ ශ්‍රේෂ්ටත්වයෙන් ටිකක් හරි අපේ සමාජයේ ඉතුරු වි තිබූණි. එක පරම්පරාවකින් නැතිනම් රටකින් එවැනි ගුණයන් එකවරම දියවී යන්නේ නැත. ටිකක් හරි අර අගයන් ඉතිරිවි ඇති නිසාවෙන් අවුරුදූ දෙකකට පෙර අපේ රටේ සිවිල් සමාජය, ඇතැම් බුද්ධමතුන්, අතලොස්සක් වෘත්තියවේදින් හා හිතන මතන සාමාන්‍ය ජනතාව, බලගතු ලෙස එකතු වී රට වෙනුවෙන් සටනක් කර ජය ගත්හ. එසේ වුයේ අර අගයන් රකින ටිකදෙනෙක් හෝ ඉතුරුවි සිටින නිසාවෙනි. නමුත් මම හිතනවා එවැනි අයට ශක්තිය ලබා දුන්නේ 20වෙනි ශත වර්ෂයේ, විශේෂයෙන් නිදහස ලැබෙන තෙක් හා නිදහස ලැබුණාට පසු දශක ගනනාව තුළ රට වෙනුවෙන් අවංකව විශාල කැපවීමකින් සටන් කළ ඒ නායකයින් නිසාවෙනි. නමුත් අපි දන්නවා එදා ඒ සටන්වල නායකත්වය ගත්තේ එවකට තිබුණු වාමාංශික පක්ෂ බව. ඒ වාමාංශික පක්ෂ වලින් විවිධ කණ්ඩායම් බෙදි ගොස් ඇති නමුත් ඒ ගැන මා කථා කරන්නේ නැත. ඒ පක්ෂත් බොහෝ විට අද දියවි ගොස් ඇත. ඒ පක්ෂවල ඉතිරි වී ඉන්න අයත් අර මං පෙර කියූ සමාජ සංස්කෘතික රටාවට ගොදුරු වී තිබේ. මෙවැනි ශ්‍රේෂ්ට ඉතිහාසයක් තිබෙන පක්ෂවල අද ඉන්න සමහරු කටයුතු කරන ආකාරය අපිට වටහාගත නොහැක. මට හිතාගන්නට පුලුවන් එකම හේතුව වන්නේ අපේ රටේ ඇති වී තිබෙන පුළුල් සමාජ සංස්කෘතක විපර්යාශය මෙයට හේතු වි තිබේ. මෙය දැන් සිදුවී අවසාන ය. මෙතනින් රට ගොඩ ගන්නේ කෙසේද යන්න අපිට විශාල අභියෝගයකි. විශේෂයෙන්ම 20වෙනි ශත වර්ෂයේ මුල් භාගයේ බිහිවු ආකාරයේ නායක නායිකාවන් නැවත වතාවක් මේ රටට කොහෙන් හේ පහළ වේවා යැයි අපි ප්‍රාර්ථිනා කරමු. එසේ ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් එය ඉබේට සිදුවෙන්නේ නැත. පසුගිය වසර 10ක කාලයක් එය සම්පූරණයෙන් විනාශකර දමා ඇත. ඒවා නැවත ගොඩනගන්නට සිදු වි ඇත.
අපේ දරුවන්ට අද කිසිම ආචාර ධර්මයක් මෙන්ම අගයන් පිළිබඳ අවබෝධයක් නැත. දරුවන්ට මේවා කියා දෙන්නට දෙමාපියන්ට වෙලාවක් ද නැත. මුදල් හොයන්නට සහ වෙනත් වැදගත් නොවන දේ වලටයි වෙලාව ගතවන්නේ. ඒ නිසා මුළු ක්‍රමයම වෙනස් කරන්නට නම් අපේ හැසිරීම් රටාව, හිතන රටාව, අගයන් රටාව, අලුතෙන්ම සකස්කල යුතුව ඇත. අලුතෙන් සම්පාදනය වෙන ව්‍යවස්ථාව ගැන දැන් අසන්නට ලැබේ. ඒක අත්‍යවශ්‍ය දෙයකි. නමුත් ව්‍යවස්ථාවක් වෙනස් කිරිමෙන් පමණක් රටක් වෙනස් වෙන්නේ නැත. ව්‍යවස්ථාව කියන්නේ නීතිය පමණි. මේ ව්‍යවස්ථාව මත පදනම් වු සමාජයේ සිතුම් පැතුම්, ආකල්ප, ප්‍රතිපත්ති, සමාජ අගයන් වෙනස් කරන්නට පුළුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට සිදුවී තිබේ. ඒවා කරන්නට අපිට නායකයින් අවශ්‍යය ය. නැවත වතාවක් පසුගිය ශතවර්ෂයේ හිටි ආකාරයේ නායකයින් හෝ එවැනි අගයන් අනුගමනය කරන නවිණ පන්නයේ නායකයින් අපිට අවශ්‍ය වී තිබේ. මේක කරන්නේ කෙසේද යන්න අපි සියල්ල එකතු වී මහා කථිකාවක් ආරම්භ කළයුතුව ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *