බැසිල්ට දුෂණ කරන්න ඉඩ දුන් නිසා වැරදිකරු පී.බී ලු !

හිටපු ඇමැතිවරයකු වන බැසිල් රාජපක්ෂ මහතාගේ අභ්‍යන්තර ගුවන් ගමන් ඇතුළුව වියදම් වී තිබෙන රජයේ මුදල් රුපියල් ලක්ෂ එකසිය හැටතුනකට (16,300,000) අධික මුදල් සඳහා සෘජුවම වගකිව යුතු වන්නේ අමාත්‍යංශයේ එවකට හිටපු ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඇතුළු ප්‍රධාන ගණකාධිකාරවරු බව බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වංචා දූෂණ විමර්ශන කිරීමේ ජනාධිපති කොමිසම ඉදිරියේ ප්‍රකාශ කර ඇත.

බැසිල් රාජපක්ෂ මහතාගේ සෘජු මැදිහත්වීමක් මෙම මුදල් වැය කිරීම් පිළිබඳව සිදුවී නොමැති බවත් නිලධාරින් මුදල් අනුමත කර සිදුකරන ලද වැයකිරීම් සඳහා රාජපක්ෂ මහතාට වගකීමක් නැති බවත් නීතීඥවරයා පවසා ඇත. නිලධාරින් අනුමත කරන ලද වැය කිරීම්වලට අදාළව කටයුතු සිදුකිරීම පමණක් ඇමැතිවරයකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කොමිසම ඉදිරි‍යේ ප්‍රකාශ කර තිබේ.

ගම නැඟුම ප්‍රාග්ධන ව්‍යාපෘතියෙන් රුපියල් ලක්ෂ එක්දහස් පන්සිය පනස් හතරක (රු. 155,400,000) මුදලක් වැය කර ගුවන් හමුදාවේ ගුවන් යානාවලින් අභ්‍යන්තර ගුවන් ගමන් සිදුකිරීම. රුපියල් මිලියන තුන්දහස් හත්සිය හතළිස් හතරක් (රු. 3,744,000,000) වටිනා වාහන දාහතරක් පරිහරණය කරමින් රුපියල් කෝටි ගණනක් රජයේ මුදල් ඉන්ධන සඳහා වැය කිරීම ඇතුළුව යුද හා නාවික සෙබළුන් එකසිය පනස් එක් දෙනකුගේ ආරක්ෂාව රාජපක්ෂ පවුල වෙනුවෙන් ලබාගැනීම යනාදී කාරණා පිළිබඳව ජනාධිපති කොමිසම විමර්ශනයක් සිදුකර මූලික පරීක්ෂණ පවත්වා ඇත.

මෙම කාරණා සියල්ලම රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා කොමිසම හමුවේ ඉකුත්දා අනාවරණය කර තිබෙන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක හේරත් මහතා සිදුකළ දීර්ඝ විමර්ශනයකදී හෙළිකරගත් ලිඛිත සාක්ෂි පදනම් කරගෙන ය.

කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි, පියසේන රණසිංහ, ගිහාන් කුලතුංග, විශ්‍රාමලත් විගණකාධිපති පී. ඒ. පේමතිලක මහත්වරුන් හමුවේ බැසිල් රාජපක්ෂ මහතාගේ ස්ථාවරය පැහැදිලි කරමින් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉකුත්දා කරුණු ඉදිරිපත් කර ඇත.

lankatruth

Leave a Reply

Your email address will not be published. Required fields are marked *