ඉහළ ආදායම් ලබන සියයට 10 න් බදු ගන්නේ පහළ සියයට 50 කට සහන දෙන්නයි – මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

රජය ආදායම් බදු පනවන්නේ රටේ ඉහළ ආදායම් ලබන සියයට 10 කට බවත් , එසේ කිරීමට සිදුව ඇත්තේ අඩු ආදායම් ලබන සියයට 50 කට පමණ සහන ලබාදීමට බවත්, මුදල් රාජ්‍ය අමාත්‍යය රන්ජිත් සියඹලාපිටිය මහතා ඊයේ පාර් ලිමෙන්තුවේ දී ප්‍රකාශ කළේය.

ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව රුපියල් ලක්ෂයකට වැඩි ආදායම් ලබන්නේ රටේ ජනගහනයෙන් සියයට 10 ක් බවත්, මේ අවස්ථාවේ ඔවුන් ද ජීවත්වන්නේ අමාරුවෙන් බව දන්නා නමුත් අඩුම ආදායම් ලබන සියයට 60 ක් රජයෙන් සහන බලාපොරොත්තු වන බවත්, සියයට 50 කට වත් ආධාර දීමට බලාබොරොත්තු වන බවත් සියඹලාපිටිය මහතා කී ය.

මෙරට සමස්ත පවුල් සංඛ්‍යාව 57,80,000 කි. ඉන් පවුල් 34,41,032 ක් රජයේ සහනාධාර ඉල්ලුම් කොට ඇත. එය සියයට 60.28 ක ප්‍රමාණයකි. පරීක්ෂා කිරීමෙන් පසු මෙම සංඛ්‍යාව අඩු විය හැකි වුවත් සියයට 50 කට පමණ රජයේ ආධාර ලබාදීමට සිදුවනු ඇති බව ඇමතිවරයා පැවසුවේ දේශීය ආදායම් පනත පිලිබඳ පාර් ලිමේන්තු විවාදයට ඊයේ එක්වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *