ඩයනා දැමූ නඩුවට සජිත්ට රංජිත්ට නොතීසි

 

සමගි ජනබලවේගය පක්‍ෂයේ තනතුරු දැරීම තහනම් නොකිරීමට හේතු ඇත්නම් ලබන ජනවාරි 25 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නැයි නියම කොළඹ දිසා විනිසුරු පුර්ණීමා පරණගම මහත්මිය විපක්‍ෂ නායක සහ සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස මහතාට සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට අද 09) නොතීසි හා සිතාසි නිකුත්  කළාය.

සමගි ජන බලවේගය පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව පිටස්තර පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයෙකුට සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය දැරිය නොහැකි බව සඳහන් කරමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කළ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව වින්සුරුවරිය එලෙස නියම කළාය.

සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් සමගි ජන බලවේගයේ තනතුරු දැරීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙම පෙත්සම ඉදිරිපත් කෙට ඇත.

සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකළ විනය ක්‍රියාමාර්ගයේදි ඔවුන් එම පක්‍ෂයට එරෙහිව නඩු පවරා ඇතැයිද සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු වෙනත් පක්ෂයක සාමාජිකයින් වශයෙන් කටයුතු කරන බව ඉන් පැහැදිලි වන්නේ යැයිද පෙන්වා දෙන පෙත්සම්කාරිය මේ තත්වය යටතේ වෙනත් පක්ෂයක සාමාජිකයින් වශයෙන් කටයුතු කරන ඔවුන්ට සමගි ජන බලවේගය සාමාජිකත්වය දැරීමට හැකියාවක් නැතැයිද සඳහන් කරන්නීය.

සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ට සමගි ජනබලවේගයේ තනතුරුවල කටයුතු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාරිය වැඩිදුරටත් ඉල්ලා සිටින්නීය.

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කරුණු ඉදිරිපත් කරමින් වගඋත්තරකරුවන්ට එරෙහිව අතුරු තහනම් දැන්වීම් හා සිතාසි පමණක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරිය මෙම පෙත්සම ලබන වසරේ ජනවාරී මස 25 වැනිදා යළි කැඳවීමටද නියම කළාය.

(මනෝප්‍රිය ගුණසේකර)

ලංකාදීප 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *