විදුලි ගාස්තු වැඩි කරන නොකරන බලය තිබෙන්නේ ඇමැතිටයි කැබිනෙට්ටුවටයි

– මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ගැන තීරණය ගැනීමේ අයිතිය පාර්ලිමේන්තුවට බාරයි
– රාජ්‍ය ආයතනයක සභාපතිවරයකු හැසිරෙන ආකාරය දැන ගත යුතුයි

විදුලි ගාස්තු වැඩි කිරීමට ඉඩ නොදෙන බව පවසන මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සම්බන්ධයෙන් ගත යුතු පියවර තීරණය කිරීම පාර්ලිමේන්තුවට පවරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) ප්‍රකාශ කළේය.

විදුලි ගාස්තු වැඩි කිරීමේ හෝ නොකිරීමේ බලය ඇත්තේ ඇමැතිවරයාට හා කැබිනට් මණ්ඩලයට බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත සකස් කළේ තමන් බවත් ජනාධිපතිවරයා පැවසීය.

මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

විදුලි ගාස්තු වැඩි කිරීම හෝ නොකිරීමේ බලය තියෙන්නේ ඇමැතිතුමාටයි කැබිනට් මණ්ඩලයටයි. මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත හැදුවෙ මම. මම දන්නවානේ ඒක. මේක තියෙන්නෙ මගේ අමාත්‍යාංශය යටතේ. ඒ කොමිසමේ සභාපතිතුමා ගැනත් මම දන්නවා. මෙතුමා කියනවා වැඩි කරන්න දෙන්නෙ නැහැ කියලා. කොහොමද එතකොට ආර්ථිකය ගෙන යන්නේ. එතුමා තමයි ට්‍රිලියන් සමාගමේ සභාපති. ඒ සමාගමට වැඩියෙන් විදුලි බලය ගන්නවා. අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක්. විවිධ සංවිධාන තිබෙනවා. හෝටල් තියෙනවා. විදුලිය ගාස්තු වැඩි වුණාම එතුමාගේ වියදම වැඩි වෙනවා. එතුමාට කියන්න තිබුණේ මම මේ ආයතනයේ සභාපති නිසා මටත් මේක බලපානවා, ඒ නිසා මේ සාකච්ඡාවලින් ඉවත් වෙනවා කියලා. නමුත් එසේ කළේ නැහැ. මේක ළබැඳියාවන් අතර ප්‍රශ්නයක්. ඒ බව එතුමා අවබෝධ කර ගත යුතුයි. රාජ්‍ය ආයතනයක සභාපතිවරයකු හැසිරෙන ආකාරය ගැන දැන ගත යුතුයි. මෙම සභාවට යොමු කරනවා කළ යුත්තේ කුමක්ද කියලා තීරණය කරන්න.

නුවන් කොඩිකාර
සන්ධ්‍යා කරුණාරත්න
දිනමිණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *