මනුස්සකමේ ඉම – නිශාන්ත කමලදාස
මනුස්සකම උත්තුංග ගුණාංගයක් හැටියට පිළි ගැනේ. ඒ සමහර මනුස්සයන්ට මනුස්සකම නැති නිසා ය. එය වඩන්නට අපහසු ගුණාංගයක් හැටියට ඒ නිසාම ගැනෙන නිසා ය.
සිරකරුවෝ ද මිනිස්සු ය. ඒ දැන්වීම ලොකු අකුරින් බන්ධනාගාරය ඉදිරිපිට ලියා තිබෙන්නේ ය. ඒ බොහෝ දෙනෙකු එසේ සිතන්නට අපොහොසත් නිසා ය. හිතන්නට අපහසු දේ ලියා දන්වා සිතන්නට සැලැස්විය යුතු ය.
සමහර සිංහල අයට දෙමළු මිනිසුන් නොවේ ය. ඒ නිසා උන්ගේ එකෙක් අතුරුදහන් වූවාට එවැනි සිංහල නෙතකට කඳුලක් උනන්නේ නැත. එවන් මනසක් කම්පනයට පත්වන්නේ නැත. ඒ හදවත උණුවන්නේ නැත. එය සමහර දමිළයන් සම්බන්ධයෙන් මුස්ලිමානුවන් සම්බන්ධයෙන් ද එකසේ සත්‍ය ය. තමන්ගේ වර්ගයට අයත් නොවන මිනිසුන් මිනිසුන් හැටියට සැලකීමට අපහසු වීම ගෝත්‍ර යුගයේ නෂ්ඨාවශේෂ තවමත් පැවතීම හේතු කොට ගෙන සිදු වනවා විය යුතු ය. එහෙත් අපේ නොවන වෙනත් වර්ග වල මිනිසුන් ද මිනිසුන් බව කියන්නට දැන්වීමක් හෝ නොමැති කම පාඩුවකි. සිරකරුවෝ ඒ අතින් වාසනාවන්ත ය.
මේ ආකාරයට ම උඩරැටියන්ට පාතයන් ද ගොවිගම උදවියට රදවුන් ද මනුස්සයන් හැටියට නොපෙනේ.
තවත් දරුණු තත්වයකට පත් වීමෙන් වෛද්‍යවරුන්ට රෝගීන් ද කළමනාකරුවන්ට සේවකයන් ද මනුස්සයින් හැටියට නොපෙනී යෑමේ අවදානම තිබේ.
පිරිමින්ට ගැහැණුන් ද විෂම ලිංගකයින් ට සම ලිංගකයින් ද මනුස්සයන් හැටියට නොපෙනී යන අවස්ථා ද එමට ය.
එහෙම බැලුවහම මනුස්සකම අතිශයින් සාපේක්ෂක ය. එය බොහෝ විට අපේ වැට මායිමෙන් අවසන් වේ.
කටින් සියලු දෙනාට මෛත්‍රිය කළ හැකි වුව ද ක්‍රියාවෙන් එසේ කිරීම දුෂ්කර ක්‍රියාවක්ම වන්නේ ඒ නිසා ය.
හැම කෙනෙකු වෙනුවෙන් හදවත උණු කරගන්නට ගියහොත් එය දිය වී විනාශ වී යෑමේ අනතුර තිබේ. බොහෝ දෙනෙකු පරයින් වෙනුවෙන් සිය හදවත ගල් කර ගන්නේ ම ඒ අකරතැබ්බයෙන් මිදීමට විය හැකි ය.
මෛත්‍රී කරන්නට බැරි නම් අඩු වශයෙන් වෛර නොකර ඉන්නට පුළුවන් නම් හොඳ ය. එය වැඩි අමාරුවක් නැති ව කළ හැකි දෙයකි.
මනුස්සකම වැට ඉන්නක් ලෙස ඉන්දවන්නේ නැතිව ඈතට ගමන් කර විය හැක්කේ ඒ සඳහා වත් හිත හදා ගැනීමට හැකි වෙතොත් ය. අඩු වශයෙන් අනෙකාට ගෞරව කළ හැකි වෙතොත් ය. ඔහුගේ ඇයගේ අයිතිවාසිකම් වලට ගරු කළ හැකි වෙතොත් ය. වෙනසට හිස නැමිය හැකි වෙතොත් ය.
අපට බැරි ද ඒක ම ය.
ලීසිං ව්‍යාපාරයේ නියැලෙන සමාගමක් මනුස්සකම ගැන දැන්වීම් පළ කරන්නේ සමහර විට අපට අමාරු ඒ මනුස්සකම අපට ළගා කර වීමට විය හැකි ය.
ඒ දැන්වීම අපට කියන්නේ අප මුහුණ දී ඇති ඛේදවාචකයේ තරම ය.