ජනාධිපති 226 වෙනියා වී පුර වැසියා යථාර් ථවාදි වීම – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

සිව් සාලිස් වසරක් පුරා විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉහළින්  දිළිසෙමින් තිබිණ. රටේ  මිනිසුන් ආණ්ඩුවේ බෙල්ලේ එල්ලී සිටියා මිස, රටේ ආර්ථිකය පිළිබඳ අවබෝධයෙන් තම දරුමුණුපුරන්ගේ අනාගතය වෙනුවෙන් හෝ කිසිදු කැප කිරීමක් කළේ නැත.අද විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දෙසිය විසි හය වෙනියා වෙමින් දෛනිකව පාර්ලිමේන්තුවට උත්තර බඳිමින් සිටීමත් දැඩි ආර්ථික අපහසුතා මැද සාමාන්‍ය ජනතාව තම වත්කම් සමබර කර ගනිමින් ධනාත්මක ආර්ථීක වෙනසක් අපේක්ෂා කිරීමත් ආදරයේ ජන අරගලය අපේක්ෂා නො කෙළෙහිද?

පොහොර තෙල් පැට්රල් සහ අත්‍යාවශ්‍ය දේ ඩොලර් හිඟය අතර පවා නිර්බාධිතව සැපයිමත් සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමත් අඛණ්ඩව සිදුවේ.

 

ගඩොලින් ගඩොල නොව ඩොලරයෙන් ඩොලරය රැස් කරමින් ගොඩ නැගෙන ආර්ථීකය විනාස කිරීමට වලි කන අරගල උන්මාදය මැඩීමට රටේ බහුතර ජනතාව පෙළ ගැසෙන්නේ අරගලයෙන් ඡන්ද පෙට්ටියෙන් තම බඩකට පිරෙන්නේ නැති නිසා බව තේරුම් ගෙන ඇති නිසාය. සිස්ටම් චේන්ජ් එක නො දන්නා සේ හැසිරෙන  විශ්වවිද්‍යාල ශිෂ්‍ය භාවයට මුවා වී රට ගිනි තැබීමට වෙහෙසෙන තක්කඩින් විපක්ෂයේ ආරක්ෂාවට මුවා වී ජනතාව නො ඉල්ලන මැතිවරණ මෙන්ම  රටේ ආර්ථික දේහයට වින කටින අරගල වෑයම අත්හැර නැත.

 

මේ දේශපාලන දෙපරාදුව අධ්‍යයනය කරන්නෙකුට රටේ සිදුවෙමින් පවත්නා සැබෑ වෙනස අත් විඳිය හැකිය. පසුගිය දවසක කඩපොළේදී කෙහෙල් ගෙඩි මිල විමසා මුහුණ පුළුටු කර ගත් මවකගෙන් “කෙහොමද ජීවිතය …” යයි විමසූ විට, ඇය ලාවට සිනාසී බිම බලා ගත්තාය. “මොකක්දෝ කියන්න හදලා නො කියා ඉන්නවා නේදැ මා කළ විමසුමට ඇය දුන් පිළිතුර මෙසේය.

“අපට මෙහෙම වෙයි කියලා හිතුව නම් කොච්චර ඉතුරු කර ගන්න තිබුණාද? ඇයගේ පැහැදිලි කිරීමත් ප්‍රශ්නාර්ථයකි. තෝරා ගැනීමට රාජ්‍ය සේවයේ නියුතු ඒ අම්මා මෙන් කෝලිකුට්ටුවල මිල අසා ඇඹුල් ඇවරියක් මිල දී ගෙන හිත හදා ගත්තා මෙන්, සබන් කිරිපිටි සුවඳ විලවුන් වර්ග සිය ගණන් පිරී පැවති අතීතයක ජීවත් වූ රටේ සාමාන්‍ය මිනිසා අපේක්ෂා සහගතව බලා  සිටින්නාහ. විශ්‍රාම වැටුප් දිනයට නගරයට ඉගිලී එන විශ්‍රාමිකයන් දරු මල්ලන් පැන වූ ආහාර තහංචි නො තකා රිසි සේ තෙල් සීනි පැනි අනුභව කොට නිවෙස් බලා ගිය තනි දවසටත් තිත තබා ඇත. අද ඒ වැඩිහිටියන් රටේ ආර්ථිකයට අනුගතව අර පිරිමැස්මෙන් ජීවත්වෙති.

මා දන්නා විශේෂඥ වෛද්‍ය වරයෙකු කියා සිටියේ වර්තමානයේ සිය වර්ගයා චැනලින් යන්නේ කණ්ඩායම් ලෙස එක්ව සපයා ගත් වෑන් සහ ජීප් යොදා ගන්නා බවය. ඒත් ආර්ථික අවපාතයේ බලපෑමකි. මාසික වැටුපට අමතරව එක දිනකට රුපියල් හැට හැත්තෑ දහසකින් සාක්කුව පුරා ගන්නා වෘත්තිකයන් පවා, ඉලක්කම් හතරක ලිපිකාර වැටුපත් ගන්නා අර රජයේ සේවක මාතාවට හා විශ්‍රාමිකයන්ට සාපේක්ෂව නිහඬ සම්මුතියකින් හැසිරෙන්නාහ. මේ සාධනීය වෙනස අරගලවලින් ආපසු හැරවීමට නො හැකි බව දැන දැනත් විපක්ෂ නායකයා ආසන දෙකේ බණ කියමින් රටේ ජනාධිපති වසලයාට ඇන්දවීමට පාර්ලිමේන්තු කාලය නාස්ති කරමින් සිටියි.

 

සාමන්‍ය ජනතාව කාලයට අනුගත නව පැවැත්ම ආත්ම මානය හේතුවෙන් ප්‍රසිද්ධියේ කතා නො කරති. මේ යථාර්ථය විපක්ෂය දකින්නේ මන්ද පෝෂණය, නැතිබැරිකම හා බංකොලොත් භාවය ආදි පුද්ගලයෙකුට හෝ ආරෝපණය නො කළ යුතු කාලකන්නි කමක් උපන් රට මත පටවමිනි. අප දිගු කලක් අධිපරිභොජන රෝගයෙන් ඔත්පලව සිටි ජාතියකි. භාණ්ඩ හිඟයක් ඉව වැටුණ සැනින් එතෙක් මිල දී ගත් ප්‍රමාණය දෙගුණ තෙගුණ කර පොදි ගසා ගෙදර ගෙන යන පුරුද්දට ඉබේම තිත වැටෙමින් පවතී. කුස්සියේ ගෑස් සිලින්ඩරය හිස්වන විට, බිරිය ගෑස් ඉවර යයි සැමියාට කීවේ තවත් ගෑස් පිරි සිලින්ඩර් දෙකක් ගෙදර ඇති බව දැන දැන ය. 

 

“දෙ තුන් වතාවක්ම ගෑස් මිල අඩු වුණා. තවත් ටිකක් බලමු.” යනුවෙන් සැමියාගෙන් ලැබුණ පිළිතුර ආර්ථීකය දෙදරා ගිය රටේ බහු භාණ්ඩිකවීමත් හානිකර බව තේරුම් ගැනීමත්, මාසිකව සිදු කළ මිල සංශෝධනයට හුරු වූ පිරවුම් හල් හිමියන් තොග ඇනවුම් නො කිරීමෙන් රටේ ඉන්ධන පෝලිම් නිර්මානය වීමත් ඇද වැටුණ ආර්ථිකයේ බර ඉහ මොළ දෙකට දැනුණ බවට සාක්කියකි. මේ භාණ්ඩ මිල සංශෝධනයත් බදු ගහිල්ලත් කෙරෙහි වෙළඳ පාරිභොගික සමාජයන් දක්වන  ආර්ථීක ප්‍රති ක්‍රියාවන් විය හැකිය. සමහර විට, මිල උච්ඡාවචනයත් පාලනයේ උපක්‍රමක් විය හැකිය.

image 93bed1ec09
ඉන්ධන හිඟ කාලයේ ත්‍රි විලර් ලොරි කාරයන් පෝලිම්වල ලැග පුරවා ගත් ඉන්ධන වැඩි මිලට විකුණා අධික ලාභ ලැබීමෙන් කළුකඩ නිර්මානය විය. කිව් ආර් කෝඩ් එක නිසා ඉන්ධන පෝලිම් නැති වුණා කීවේ ඒ නිසාය. පෝලිම් යුගයේ ලංකාවේ දෛනික පුද්ගල ඉන්ධන පරිභෝජනය ඉන්දියාවේ දෛනික පුද්ගල ඉන්ධන පරිභෝජනය මෙන් දෙගුණයකට ආසන්න වුණේ අපේ මිනිස්සු ඉන්ධන රැස් කිරීම මිස ජලය වෙනුවට පානය කළ නිසා නොවේ. කිව් ආර් ක්‍රමය යටතේ උපරිමය වූ “ලීටර් විස්ස බම්බු ගහන්ඩද ඇසූ විට, “ඉතින් ඔයාට මෝටර් සයිකලයක්වත් නෑනේ. යයි සගයෙකු ඇසූ විට, “තමුසෙ ආණ්ඩුවට කඩේ යනවා නේදැ” යි ඇසුවේ තමන් විපක්ෂය නියෝජනය කරන නො දැන නොවේ.

විපක්ෂයේ මේ නරුම නියෝජනයට රටේ බහුතර ජනතාව වෛර කරති. ලීටර් විස්සේ සීමාවට වඩා අවශ්‍ය කෙනෙකුට අමතර ඉන්ධන වැඩි මිලට ලබා ගැනීමේ පහසුකම් ගැන බලධාරින්ට යෝජනා කරන ඉන්ධන කියන්නේ ඩොලර් යයි කල්පනා කරන යහපත් මිනිසුන්ද  අද රටේ ජීවත්වෙති. ජනතාව අතර වර්ධනය වන මේ නව ආර්ථික දැක්ම, ජීවිතයට අර්ථයක් සපයා ගැනීම මිස, ආණ්ඩුවට කඩේ යාමක් නොවේ.

රටේ සාමාන්‍ය ජනතාව තාර්කිකව මෙසේ කල්පනා කරද්දී, රට ආදරයට පාත්‍ර වූ රෝහිණි විජේරත්න මන්ත්‍රිවරිය, ගුරුවරියන්ට ඔසරි සාරි නොමිලේ දිය යුතු බවට  තර්ජනය කරන්නීය. සජිත් ප්‍රේමදාසට අනුගත සජබේ කොයි කාටත් ඡන්ද පෙට්ටියෙන් එපිට දැක්මක් ප්‍රඥාවක් ප්‍රාර්ථනාවක් දේශපාලනයක් නැති බවට රෝහිණී විජේරත්න ජීවමාන නිදර්ශණයක් වෙමින් පෙනී සිටින්නීය. ආර්ථිකය මුළුමනින්ම යහපත් වී නැතද, රටේ ජනතාව මේ අස්වැසිල්ල රට වෙනුවෙන් ඉවසීමකි. නුවරඑළියේ එළවළු ගොවියෙකුට අනුව, පෙහොර සහ බීජ මිල අඩු වමින් පවතී. නිෂ්පාදන මිල වැඩි වුවද, හොඳ වෙළඳ පොළක් සතුටු විය හැකි සාධනීය ඉල්ලුමක් සමග හොඳ මිලක් නිර්මානය වෙමින් පවතී.

“දැන් එහෙනම් ඡන්දයකට යන්න පුළුවන්නේ.” මේ විස්තරය අසා සිටි තවකෙකු කී කතාවට අර එළවළු ගොවියා වහා දුන් පිළිතුර බම්මුව යන්නය. බම්මුබ කියමින් ඔහු ප්‍රතික්ෂේප කරන්නේ විපක්ෂයේ මැතිවරණ ගාය නොවේද?

 

සජිත් ප්‍රේමදාසලාට උවමනා රටේ ආර්ථිකය පිපිරීම දේශපාලනයෙන් පින්තාරු කර පාරේ අරගලයට උඩගෙඩි දී රට ඡන්දයකට තල්ලු කිරීමටය. ජනාධිපති තේරීමේ ඡන්දයට සජිත් ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් කළේ ගෝඨා නික්ම ගිය පසුව ය. මුලින් ගොඨා යන තෙක් වගකීම් භාර නො ගනිමි යයි කී සජිත් ඩලස්ට මුවා වී ඇඟ බේරා ගත්තේ බැරිකම නිසාමය. රට ගොඩ ගත හැකි ආර්ථික දැක්මක් ඥාන ශක්තියක් පිට කොන්දක් සජිත්ට හෝ සජබයේ කිසිවෙකුටත්  ඇත්තේම නැත. සජිත් ඉදිරිපත් කළ රාජපක්ෂලාගේ ඩලස් කළ යුතුව තිබුණේ පරාජය පිළිගෙන තමන්ටද ශක්තියක් වූ හැට නව ලක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහට සහාය දීමය. එහෙම නො කරන්නේ බලය මිස රටේ මිනිසාගේ සුභ සාධානය ඩලස්ලාගේ දේශපාලනය නොවන නිසාය. 

 

ඩලස්ලා අද සජිත් සමග ඉන්නේත් එදා රාජපක්ෂලා සමග හිටියේත් ඒ කුහක දේශපාලනය නිසා මිස විශිෂ්ඨ දර්ශනයක් වෙනුවෙන් නොවේ. එදා ඩලස් තේරී පත් වුණත් සජිත් නම් වැඩබැරිදාස සිය ආසන දෙකේ බණ නතර කරන්නේ නැත. මේ විකෘති විකාරය සාමාන්‍ය ජනතාව දකින ආකාරය උක්ත එළව`ථ ගොවියාගේ බම්බුව යනුවෙන් උච්ඡාරණය කෙරෙයි. ජනතාවට අවශ්‍ය වන්නේ  රටේ ප්‍රශ්නයට කඩිනම් වැඩ පිළිවෙලක් මිස රටම කතිර පෝලිමකට දක්කන මැතිවරණයක් නොවේ.

මහනුවර නගරයට පැමිණෙන විට මග නො හරින රස මසවුලෙන් පිරි ඩෙවෝන් අවන් හලට ගොඩ වැදී “නෙස්කැෆේ දෙකයි බනිස් දෙකයි කී සිය යෙහෙළිය වළකා, “නෑ. බනිස් එකයි නෙස්කැෆේ දෙකයි’‘ යනුවෙන් කී තම පෙම්වතාට ළංවී  ඔයාට බනිස් එපාදැයි හෙමිහිට ඇසුවාය. මොහොතකින් අසුන් ගත් යුවල  බනිස් ගෙඩිය දෙකට බෙදා ගෙන රස විඳ නෙස්කැෆේ දෙක පානය කළහ. ඉතිරි කරන රට හෙට සරු සාරයි පුතුනි උඹට මේ මව්බිම බාරයි.

“අපට මෙහෙම වුණේ ඇයි? කෝලිකුට්ටු වෙනුවට ඇඹුල් වලට මාරු වූ අර අම්මා නො ඇසූ ප්‍රශ්නය වන්නීය. කෙසෙල් මිල ඉහළ ගියේ ඩිසල් මිල ඉහළ යාමෙනි. ඩීසල් යනු ඩොලර් ය. සුද්දන් නාවොත් ඩොලර් නැත. කෙසෙල් ගෙඩියටත් ඩොලර් බලපාන ආකාරය ගැන ජනතාව දැනුවත් ය. සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තිබූ කාලයේත් සේවකයන්ට මාසිකව කෝටි ගණන් අතිකාල ගෙවීමත්, ලංකා විදුලි බල මණ්ඩලයේ වඩා නිවැරදිව මනු කියැවීමට කරන ගෙවීමෙන් ආණ්ඩුවට සිදුවන මූල්‍ය අලාභයත් වරාය අධිකාරියේ ඉරිදා පැය 24ක්  අතිකාල සේවා කළ විට පැය 80ක අතිකාල ගෙවීමත් රජයේ ආදායම් පහත යාමට හේතු ජවිපෙයට ඒවා මාතෘකා නොවේ. ජවිපෙයේ සියයට තුනේ ජන පදනමවත් රැකී තියෙන්නේ වෘත්තීය සමිති ඒකාධිකාරය නිසා ඒ කතා තහනම් ය.

රෝහිණි විජේරත්නලා ගුරුවරියන්ට සාරි දෙන්න ආණ්ඩුවට බල කරන්නේ කතිර වැඩිකර ගැනීමට මිස, රටට ආදරයෙන් නොවේ. ජනාධිපති මැතිවරණයේදී සජිත් නොමිලේ සනීපාරක්ෂක තුවා දීමට කතා කළත් කාන්තාවන් සජිත්ගේ ඡන්ද උගුල ගැන දැන සිටියහ. බිඳ වැටුණ මිනිස්කම ශක්තිමත් කොට මේ අසීරු කාලය ගෙවා ගැනිමට නම් ජනතාව දැනුවත් කරනු මිස මුලා නො කළ යුතුවේ. අරගල තර්ජන පෙළපාලි හරහා ගොඩ ගිය රටක් නැත.

PM ranil

ජූලි නවවෙනිදා රාත්‍රියේ රනිල් වික්‍රමසිංහගේ ගෙය ගිනි බත් කළේ අගමැති තනතුරෙන් රනිල් එළවා එක් රැයින් රටේ ජනාධිපති වීමටය. එහෙත් ඩලස් බිල්ලට දී සජිත් ඇඟ බේරා ගත්තාට, රටේ ප්‍රශ්න හමුවේ රාජපක්ෂලා පැන ගියාට, රට වෙනුවෙන් පැවරුණ වගකීමෙන් රනිල් වික්‍රමසිංහ පැන නො ගියා පමණක් නොව, බිඳ වැටුණ රටේ ආර්ථිකය හරි මගට යොමු කර හමාරය.

අලුත්ම වාර්තා අනුව ඔක්තෝබර් නොවැම්බර් අතර, මතුපිට උද්ධමනය 66%සිට 61% තෙක්ද, ආහාර කාණ්ඩයේ උද්ධමනය 85.6%සිට 73.7% තෙක්ද, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 56.3%සිට 54.5% තෙක්ද, ප්‍රවාහන කාණ්ඩයේ  උද්ධමනය 144.2%සිට 133% තෙක්ද, අඩු වී ඇත. අරගල මැතිවරණ තවත් කලකට රටට උවමනා නැත.

ගෝඨාභය ඉවත්වූ සතියේ ජවිපේ වසන්ත සමරසිංහ ආණ්ඩුව ඉල්ලා අස් නො වුණහොත් හෝ රනිල් ඊළඟ ජනාධිපති වීමට කල්පනා කළොත් රටේ හර්තාල් කරන බවට ද, සජබේ මරික්කාර් රනිල්ට කිසිසේත් පාර්ලිමේන්තු බහුතරයෙන් ජනාධිපති වීමට ඉඩ නො දිය යුතු බවට ද, කෑ මොර දුන්හ.  මරික්කාර්ගේ නායක සජිත් ගෝටාගේ ඇබෑර්තුවට රාජපක්ෂලාට වැඳ වැටුණ ඩලස් නම් කොට අද රනිල්ට රාජපක්ෂ යනුවෙන් රෙදි ඇඳගෙන සිනාසෙන හැටි රටම බලා සිටිති.

ජූලි 14වෙනිදා රනිල් ඉවත් නො වුණොත් හර්තාල්  කරනවා කි ජනතා විමුක්ති පෙරමුණ දැන් කතා කරන්නේ රනිල්ගේ ඉණෙන් පහළට එල්ලෙන කලිසම ගැන මිස, රටේ ආර්ථික උපායන් හෝ හර්තාල් අරගල ගැන නොවේ. සජිත් ප්‍රේමදාස රනිල්ගේ ලණු සූත්‍රය ගිල දමා පාර්ලිමේන්තුව ආසන දෙකේ බණ මඩුවකට පෙරළා ගෙන සිටියි.

 

රනිල්ගේ ගෙට ගිනි තැබීමෙන් ජූලි 9 වෙනිදා පටන් ගත් ත්‍රස්තවාදයට මාරු වූ අරගලය මැඩ පැවැත්වීමත්, ආර්ථීකය ශක්තිමත් වීමත් ජනතාව යථාර්ථවාදි වීමත් එකම සංසිද්ධියක් බවට පත්ව හමාරය. සී සීකඩ විසිවුණ අරගලය පොන්සේකාගේ සාක්කුවට වැටී හමාරය. පටු දේශපලනයෙන් ආර්ථික ගැටළුව වෙන් කොට නව ලෝකයක් අපේක්ෂාවෙන් ජනතාව තම ආර්ථිකය හසුරුවා ගනිමින්, පාර්ලිමේන්තුවට උත්තර බඳින තනි මිනිසාගේ අප්‍රමාණ ශක්තිය කෙරෙහි අපමණ විශ්වාසයෙන් බලා සිටිති. 

ගෙදර යන මිනිසාගේ නිමේෂය උදාවී ඇත -(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *