ජවිපෙ ජාතික ලැයිස්තුව වගකීමක් නැති ඇමක් ද ?

2015 මහ මැතිවරණ නාමයෝජනා අතර වැඩිම වෘත්තිකයින් පිරිසක් ඇතුලත් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව තුලටය. පක්ෂය පිළිබඳව බැරෑරුම්ව සිතා බැලීමට මෙය හේතුවක් ලෙස සමහරු මෙය දකිති. එහෙත් ජවිපෙ ජාතික ලැයිස්තුව වූ කලී හුදු ආටෝපය සඳහාම ඉදිරිපත් කරන ලද්දක් බවට සාක්ෂි තිබේ.

rohan samarajeewaමේමැතිවරණ සමය තුලජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වනු මම අසා සිටියෙමි. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 25 දක්වා ඉහළ යන බව ඔහු දිගින් දිගටම කියා සිටි අතර තමන් හැර අන් කිසිම දේශපාලන පක්ෂයක් ශීඝ්‍රයෙන් ඉහළ යන මේ ජනගහනය වෙනුවෙන් අළුතින් පාසැල් අරඹන වැඩ පිළිවෙලක් අරඹා නැතැයි යන්න ඔහුගේ මැසිවිල්ල විය.

දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධානතම ජනගහන විද්‍යාඥයා වන මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පවසන අන්දමට රටේ ජනගහනය මිලියන 25 ට ළඟාවන්නට පෙර ජනගහන වර්ධන වේගය පහළ බසිනු ඇත .

population chart yukthiya
මූලාශ්‍රය: මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා

population chart

ජනගහනයේ වැඩිවීමට සරිලන්නට අළුතින් පාසැල් විවෘත කිරීම අවශ්‍ය වේ ද?

මහාචාර්ය ඉන්ද්‍රලාල් සිල්වා විසින් ඉතා සැලකිල්ලෙන් සකස් කරන ලද ප්‍රක්ෂේපණයන්ට අනුව නම් අපට අළුතින් පාසැල් අවශ්‍ය නොවනු ඇත. විද්‍යාව අපට පවසන්නේ ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා පවසන කතාවට සපුරා ප්‍රතිවිරුද්ධ දෙයකි. එනම් පාසැල්වලට ඇතුලත්වන සිසුන් වැඩිවීමක් සඳහා නොව අඩුවීමක් සඳහා අප සැලසුම් සකස් කළයුතු බවයි.

ජනගහන විද්‍යාත්මක ප්‍රක්ෂේපණයන්ට අප දැනට වඩා අවධානය යොමු කළයුතු බව සත්‍යයකි. එහෙත් ඒ අවශ්‍යතාවයක් නොමැති පාසැල් අළුතින් ගොඩනගන්නට නොව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින ජ්‍යෙෂ්ඨ පුරවැසි ගහනයේ අවශ්‍යතාවන් සපුරාලන අයුරු සැලසුම් කරන්නටය.

මේවා අළුත් කරුණු නොව කවුරුත් දන්නා දේය. මහාචාර්ය සිල්වා අවුරුදු ගණනාවක සිට මේ සත්‍යය නැවත නැවතත් ප්‍රකාශ කරමින් සිටී. ඔහු විසින් ප්‍රක්ෂෙපණය කර ඇති නැඹුරුතාවයන් ප්‍රායෝගිකව සිදුවෙමින් පවතින බව 2011 වර්ෂයේ දී සිදුකරන ලද ජන සංගණනයේ ප්‍රතිපල විසින් ඔප්පුකර තිබේ. ජවිපෙ දිස්ත්‍රික්ක ලැයිස්තුවලට ඇතුලත් කර ඇති උපාධිධාරීන් කිසිවෙක් දැන නොසිටියත් එම පක්ෂය විසින් නම්කර ඇති වෘත්තිකයන් 25 දෙනා අතුරින් අවම වශයෙන් එක් අයකුවත් මේ කරුණ දැන සිටින්නට ඇතැයි අපි අපේක්ෂා කළෙමු.

එක්කෝ තම පක්ෂය විසින් නම්කර ඇති වෘත්තිකයින්ගේ දැනුමින් ජවිපෙ ප්‍රයෝජන නොගනී. එසේත් නැතිනම්, ඔවුන්ගේ වෘත්තිකයින් සියළුදෙනාම අඥාණයින් විය යුතුය. මා කැමති මෙයින් පළමුවැනි කරුණ පිළිගන්නටය.

සාක්ෂි අනුව පෙනීයන්නේ නම් ජවිපෙ ජාතික ලැයිස්තුවට වෘත්තියකයින් ඇතුලත්කිරීම හුදු රඟ දැක්වීමක්බවයි. කේඩර් පදනමකින්ක්‍රියාත්මක වන පක්ෂයක් වනජනතා විමුක්ති පෙරමුණ පිටස්තරයන්ට ලෙහෙසියෙන් පක්ෂය තුල ඉඩ නොසලසයි. වෘත්තිකයින්ගේ නම් ජාතික ලැයිස්තුවට ඇතුලත් කළත් එම වෘත්තියකයින්ගෙන්උපදෙස් ලබාගන්නට හෝ පක්ෂය නියෝජනය කරමින් ඔවුන් රූපවාහිනී වැඩසටහන් සඳහා යොදාගන්නට ජවිපෙට තව බොහෝ කලක් ගතවනු ඇත.

එසේ නම් ජවිපෙ මේ වෘත්තිකයින් තම ජාතික ලැයිස්තුවට ඇතුලත් කළේ ඇයි?

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර එකකට හෝ වැඩිම වශයෙන් දෙකකට වඩා හිමිකමක් ලබාදෙන ඡන්ද සංඛ්‍යාවක් ලබාගන්නට තමන්ට නොහැකි බව ජවිපෙ හොඳින් දනී. ජවිපෙ සහ ජනරාල් ෆොන්සේකාගේ පක්ෂය එකමුතුව සාදාගත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානය (DNA) ට 2010 මහ මැතිවරණයේදී හිමිකම ලැබුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් සඳහා පමණකි.

තම පක්ෂයේ ජාතික ලැයිස්තු ආසන හරහා පාර්ළිමේන්තුවට යවන්නේ කවුරුන්දැයි තීරණය කිරීම අනෙකුත් දේශපාලන පක්ෂවලට මැතිවරණය අවසානයේ විශාල ගැටළුවක් ඇතිකරයි. එහෙත් ඒ ප්‍රශ්නයෙන්නිදහස් ජනතා විමුක්ති පෙරමුණට, වැඩිදුර නොසිතා ඡන්දය පාවිච්චිකරන කොටස් බිලී බා ගැනීම පිණිස වගකීමක් නැති ජාතික ලැයිස්තුව ඇමක් ලෙස පාවිච්චි කරන්නට ද හැකියාව ඇත.

එහෙයින්, අප මේ ගැන ඡන්දය පාවිච්චි කිරීමට පෙර සිතිය යුතුව තිබේ.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *