වර්ජන – පීඩන කතරේ සිරවීම – එම්.එස්.එම්.අයුබ්

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේ සිට ජුලි මාසය දක්වා පැවැති මහජන උද්ඝෝෂණවලදී පෙරමුණේ සිට කටයුතු  කිරීමෙන් පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ශිෂ්‍ය නායකයන් දෙදෙනාගෙන් කෙනකු වූ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කාර ගල්වැව සිරිධම්ම හිමියෝ ඉකුත් බදාදා (23) ඇප පිට නිදහස් කරනු ලැබූහ.

පසුව ඒ හිමියෝ වෙනත් නඩුවක් සම්බන්ධයෙන් යළි අත්අඩංගුවට ගනු ලැබූහ.

සිරිධම්ම හිමියෝ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා හසන්ත ජීවන්ත ගුණතිලක යන තිදෙනා ඉකුත් අගෝස්තු 18 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන්ගෙන් ගුණතිලක පසුව ඇප පිට නිදහස් කරනු ලැබීය. අනෙක් දෙදෙනාට එරෙහිව දින අනූවක රැඳවුම් නියෝගයක් ආරක්ෂක ඇමැති වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කෙරිණි.

ඉකුත් සතිය වනතෙක් විවිධ ස්ථානවල රඳවා ගනු ලැබූ එම දෙදෙනා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස ඉකුත් 17 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. පසුව ඉකුත් බදාදා සිරිධම්ම හිමියන් ඇපමත නිදහස් කිරීමේ නියෝගයද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහතා විසින් නිකුත් කෙරිණි. වසන්ත මුදලිගේ තවමත් රිමාන්ඩ් භාරයේ සිටී.

මේ දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ඇතුළු දේශීය හා විදේශීය බොහෝ පාර්ශ්ව විරෝධය පළ කොට තිබිණි. හියුමන් රයිට්ස් වොච් සංවිධානය හා ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් යන ආයතන ඒ අතර ප්‍රධාන වේ.

මේ රටේද විරුද්ධ පක්ෂයේ බොහෝ දෙනකු මේ දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ පදනම ගැන ප්‍රශ්න මතුකොට තිබේ. ත්‍රස්තවාදය  වැළැක්වීමේ පනත ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන බව එ.ජා. මානව හිමික කවුන්සිලය නොකඩවා තම වාර්තා හා යෝජනා මගින් කරන ලද අවධාරණය පිළිගත් ආණ්ඩුව ඒ වෙනුවට වෙනත් ත්‍රස්ත විරෝධී පනතක් සකස් කොට සම්මත කරගන්නා බව එම කවුන්සිලයට පොරොන්දු වී තිබේ. ඒ තත්ත්වය යටතේ මෙම පනත සිවිල් උද්ඝෝෂණවලට සහභාගි වූවන්ට එරෙහිව යොදාගැනීම ගැන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරු ගණනාවක් පසුගිය කාලයේ ප්‍රශ්න කළහ.

මේ සම්බන්ධයෙන්  වරක් ප්‍රකාශයක් කළ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා එම පනත අහෝසි කරන්නට නියමිත වුවත් එම පනත තවමත් වලංගු නිසා එය කෙනකුට එරෙහිව යොදා ගත හැකි යැයි ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් විටින් විට කරන ප්‍රකාශ විටෙක විසුළුජනක වන අතර විටෙක ප්‍රශ්නකාරීය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ දෙදෙනා රඳවා ගන්නට ඔවුන් කළ ත්‍රස්තවාදී ක්‍රියාව කුමක්ද යන ප්‍රශ්නයට වරක් මන්ත්‍රීවරයකු දුන් පිළිතුර වූයේ ඔවුන් රඳවා ගනු ලැබ ඇත්තේ ඒ ක්‍රියාව දැනගැනීමට බවය. තවත් විටෙක පසුගිය කාලයේ ආණ්ඩුවට එරෙහිව පැවැති උද්ඝෝෂණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා එම දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගනු ලැබ සිටින බව කියවිණි.

අතුකෝරල මහතා අතිශය අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබුවේ ඉකුත් මැයි 9 වැනිදා එවක අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් ගාලුමුවදොර පිටියේ හා අගමැති නිල නිවාසය වන අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිසට පහර දීමෙන් පසු  ඇතිවූ ගිනි තැබීම් ඇතුළු ආණ්ඩු විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලදීය.

යම් ත්‍රස්තවාදී කටයුත්තක නිරත වූ බවට යම් පුද්ගලයකු සම්බන්ධයෙන් සාධාරණ සැකයක් ආරක්ෂක අංශවලට  තිබේ නම් පවතින නීතියක් යටතේ ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගනු ලැබ සිටින බව කිව හැකිය. එහෙත් එවැනි සැකයක් ඇත්නම් එය සම්බන්ධයෙන් රට දැනුවත් කිරීමද වැදගත්ය. එවැනි කරුණක් සඟවාගෙන සිටීමට හේතුවක් තිබිය නොහැකිය.

ප්‍රබල සාක්ෂිවලින් තොරව එසේ කෙනකු රඳවා තබා ගත්තද කවදා හෝ අදාළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කොට නඩු විභාග කළ විට ඔහු නිදහස් කිරීමට සිදුවනු ඇත. එහෙත් එසේ නිදහස් කළද ඒ වන විට එම පුද්ගලයා මාස ගණන් සිරබත් කා අවසානය. ඇතැම් දෙමළ සැකකරුවන් වසර ගණන් මෙසේ සිරගත කරනු ලැබ සිටින බව නාමල් රාජපක්ෂ මහතාද පසුගිය වසරේ ජූනි මාසයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

බලධාරීන් මෙතරම් දැඩිලෙස උද්ඝෝෂකයන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අනෙකුත් උද්ඝෝෂකයෝ හටද පාඩමක් වශයෙන් විය යුතුය. ඔවුන් බියගැන්වීම සඳහා විය යුතුය.

ජූලි 9 වැනිදා ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් නිවාස හා කාර්යාල අත්පත් කරගත් උද්ඝෝෂකයන් ජුලි 22වැනිදා එම ස්ථානවලින් ඉවත් වන බව ඊට පෙරදින නිවේදනය කළහ. එහෙත් 22 වැනිදා අලුයම පොලිසිය හා හමුදාව එම ස්ථාන වටලා උද්ඝෝෂකයන්ට පහර දී පළවා හැරියහ. ඉන්පසු සුළු වුවද විශාල වුවද සාමකාමී වුවද ප්‍රචණ්ඩ වුවද කිසිදු උද්ඝෝෂණයකට ඉඩ නොතැබීමේ තීරණයකට ආණ්ඩුව පැමිණ ඇති බව පෙනේ.

ඒ සඳහා බලධාරීන් යොදා ගත්තේ ඊට පෙර විශාල උද්ඝෝෂණ හමුවේ දැඩි ක්‍රියාමාර්ග නොගත් පොලිසිය හා හමුදාවමය. ඒ අනුව මෙය නීතිය හා සාමය ආරක්ෂා කිරීමකට වඩා දේශපාලන වශයෙන් ප්‍රශ්නය දෙස බලා ගන්නා ක්‍රියාමාර්ගයක් බව පෙනේ.

මෙම මර්දනය සාධාරණීකරණය කිරම සඳහා ඉදිරිපත් කෙරෙන ප්‍රධානම තර්කය වී ඇත්තේ රට ආර්ථික වශයෙන් ඉතා දුෂ්කර තත්ත්වයකට පත්ව තිබෙන මේ මොහොතේ එම අර්බුදය විසඳීම සඳහා රටේ දේශපාලන ස්ථාවරත්වයක් ගිබිය යුතු බවත් ඒ අනුව උද්ඝෝෂණ හා විරෝධතාවලට ඉඩදිය නොහැකි බවත්ය.

දැන් දැන් රටට විදේශ සංචාරකයන් පැමිණීම ක්‍රමයෙන් වැඩිවේ. මෙය වත්මන් විදේශ විනිමය අර්බුදය හමුවේ යහපත් තත්ත්වයක් බවට සැකයක් නැත. යුරෝපයට ශීත සෘතුව ළඟා වෙමින් තිබෙන නිසාත් මේ තත්ත්වය තවදුරටත් යහපත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. බටහිර රටවල් යුක්රේනයේ යුද්ධය නිසා රුසියාවට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධකවලට එකටෙක කිරීම සඳහා රුසියාව යුරෝපා රටවලට ඉන්ධන සැපයීම අඩු කොට ඇත. එමගින් යුරෝපීයයන් හට ශීත සෘතුවට මුහුණ දීම වඩාත් දුෂ්කර වී ඇති නිසාත් මෙවර ශ්‍රී ලංකාවට යුරෝපයෙන් එන  සංචාරකයන් ගණන ඉහළ යනු  ඇතැයි අපේක්ෂා කෙරේ. රට තුළ උද්ඝෝෂණ ඇති වී ආරක්ෂක තත්ත්වය පිළිබඳව එම සංචාරකයන් තුළ අවිනිශ්චිතතාවක් ඇතිවිය හැකි බවත් ඒ අනුව එම සංචාරකයන් වෙනත් රටවලට යා හැකි බවත් ආණ්ඩුවේ නායකයෝ තර්ක කරති.

එහෙත් දැන් පසුගිය මාර්තු මාසයේදී මෙන් පැය 10ක් 13ක් විදුලිය කප්පාදු කෙරෙන්නේ නැත. ඒ දිනවල මෙන් රටපුරා සැතපුම් ගණනක් දිග තෙල් පෝලිම් හා ගෑස් පෝලිම් නැත. මෙය ආර්ථික අර්බුදය විසඳී ඇති වූ තත්ත්වයක් නොවූවද එමඟින් ජනතාව කෝප කරවන තත්ත්වය තරමක් අඩු වී ඇත. ඒ නිසා අප්‍රේල්, මැයි, ජුනි හා ජූලි මාසවල ඇති වූ ආකාරයේ මහා පරිමාණ විරෝධතා ඇති වේයැයි සිතිය නොහැකිය. ඒ නිසා දේශපාලන ස්ථාවරත්වයට තර්ජනයක් වන ආකාරයේ උද්ඝෝෂණ දැනට ඇතිවීමේ ඉඩකඩ අඩුය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාත් එම තනතුරුවලට පත්වූයේ පසුගිය කාලයේ ඇතිවූ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් වශයෙනි. වික්‍රමසිංහ මහතා ජුනි මාසයේදී අගමැති ධුරයට පත්වූ පසු ස්කයි නිව්ස් පුවත් සේවය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී දැන් සංචාරකයන් හට උද්ඝෝෂණවලටද සහභාගි විය හැකි යැයි සිනාසෙමින් පැවසීය. අගමැති ධුරයට පත් වූ ඒ මහතා ඒ වනවිටත් ගෝඨාගෝගම යන නමින් ගාලුමුවදොර පිටියේ පැවැති උද්ඝෝෂණයට අවශ්‍ය පහසුකම් සලසන බව ප්‍රකාශ කොට  තිබිණි. එවිට මීට වඩා දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්න මතුවී තිබිණි.

ජූලි 21 වැනිදා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුද තානාපතිවරුන් අමතා ප්‍රකාශයක් කළ වික්‍රමසිංහ මහතා කොළඹ නගරයේ වුවද සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමට තවදුරටත් ඉඩ දෙන බව ප්‍රකාශ කළ  බව වාර්තා විය.

ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාත්මක කරන්නට අපේක්ෂා කරන තම වැඩපිළිවෙළ සඳහා දේශපාලන ස්ථාවරත්වයක් අවධාරණය කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට සමග කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා ආරම්භ කළේ ඉකුත් අප්‍රේල් මාසයේ රට තුළ අඛණ්ඩ විරෝධතා මාලාවක්  ක්‍රියාත්මක වෙමින් තිබියදීය. ඔවුන් ස්ථාවරත්වය අවධාරණය කළේ මැයි 9 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු රටේ අගමැතිවරයකු හා ඇමැති මණ්ඩලයක් නැති තත්ත්වයක් ඇතිවූ විට පමණි. උද්ඝෝෂණ තමන්ගේ කටයුතුවලට බාධාවක් බව ඔවුන් කිසි විටෙක කියා නැත. ඒ අනුව පෙනෙන්නේ සාමකාමී වනතාක් උද්ඝෝෂණ දේශපාලන ස්ථාවරත්වයට බාධාවක් නොවූ බවය.

කෙසේ වෙතත් බලයේ සිටින ආණ්ඩු සැමදා උද්ඝෝෂණවලට විරුද්ධ වේ. කොටි සංවිධානයට එරෙහි යුද්ධය පැවැති වසර තිහකට ආසන්න කාලය තුළම පැවැති සියලු ආණ්ඩුවල නායකයෝ රටේ යුද්ධයක් පවතිද්දී උද්ඝෝෂණ කිරීම ජාතික ආරක්ෂාවටත් උද්ඝෝෂකයන්ගේ ආරක්ෂාවටත් හානිකර බව පැවසූහ. යුද්ධය අවසාන වූ පසු උද්ඝෝෂණ සංවර්ධන කටයුතුවලට හානිකර බව පැවසූහ. කොවිඩ් රෝගය පැතිරෙන්නට වූ විට උද්ඝෝෂණ  නිසා රෝගය පැතිරීමේ අවදානමක් ඇතැයි කීහ. උතුරේ සැමරුම් නැවැත්වීම සඳහාද බලධාරීහු කොවිඩ් රෝගයට එරෙහි සෞඛ්‍ය නීති රීති යොදා ගත්හ. ගුරු උද්ඝෝෂණවලට එරෙහිවද ඒවා යොදාගෙන ගුරු වෘත්තීය සමිති නායකයන් නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙන ගියහ.

කෙසේ වෙතත් ජූලි මාසයේ ක්‍රියාත්මක වූ දැඩි මර්දනයෙන් පසු රටේ ජනතාවද උද්ඝෝෂණ සම්බන්ධයෙන් දෙගිඩියාවක සිටින බව පෙනේ. ආර්ථික අර්බුදය නිසාම ඔවුනට උද්ඝෝෂණ කරන්නටද සිදුවී අති අතර ඒ අර්බුදය නිසාම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙළට යම් කාලයක් ඉඩදිය යුතුය යන තැනටද බොහෝ දෙනා පත්ව සිටිති. ඒ එම වැඩපිළිවෙළ පිළිබඳ අවබෝධයකින් නොවේ. අන් කළ හැකි දෙයක් නැති නිසාය. එසේම අරගලයට සහභාගි වූ බොහෝ දෙනකු මර්දනයට මුහුණ දීමටද  සූදානම් නැත.

කෙසේ වුවද ආර්ථික අර්බුදය නිසා දිනෙන් දින ජනතාවගේ දුෂ්කරතා වැඩිවේ. දැන් මෙම අර්බුදයේ බරපතළ බව ප්‍රදර්ශනය කරන දීර්ඝ විදුලි කප්පාදුව හා තෙල් හා ගෑස් පෝලිම් නැති වුවත් භාණ්ඩ මිල ඉහළ යාම නොකඩවා සිදුවේ. මෙය සංඛ්‍යා ලේඛනවලින් මෙන්ම ජනතාවගේ එදිනෙදා ජීවිතයෙන්ද පෙනෙන්නට තිබේ.

ලෝක ආහාර වැඩසටහන වන යුනිසෙෆ් සංවිධානය ආදී ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංඛ්‍යාලේඛනවලින් ඉදිරිපත් කරන තත්ත්වය සෑම පවුලකටම ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයේදී දැනේ. පාරට බැස පාලකයන්ට ඇසෙන්නට කෑ ගසා මේ තත්ත්වය කියන්නට බොහෝ දෙනකුට අවශ්‍ය වුවත් එක් පැත්තකින්  කඳුළු ගෑස්  හා ජල ප්‍රහාරවලටද අනෙක් පැත්තෙන් පාලකයන් තමන්ට දී ඇති එකම බලාපොරොත්තුව වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වයට තමන්ගෙන් හානියක් වේදෝයි කියාද ඔවුහු බිය වෙති.

 

 එම්.එස්.එම්.අයුබ්

ලංකාදීප 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *