චරථ භික්ඛවේ කියන්නේ එක එකාට කඩේ යාමද? – චන්ද්‍රසිරි සෙනෙවිරත්න
භික්ෂූන්ගේ දොස් නො කීමට සදාචාර සම්මතයෙන් ගිහියන් බැඳි සිටිති. සදාචාරය බෞද්ධ විමුක්ති මාර්ගයෙහි මූලික පදනම වන නිසා සදාචාරාත්මක ඉගැන්වීමට බුදු දහමෙහි හරය වේ. ඒ නිසාම, අනෙක් කිසිදු ආගමක දක්නට නො ලැබෙන තරමට සු විශේෂි සදාචාරාත්මක රීති පද්ධතියක් බුද්ධ දේශනාවෙහි අන්තර්ගත බව ආචාර්ය සර්වපල්ලි රාධක්‍රිෂ්ණන් සදාචාරාත්මක විඥාණවාදය නම් කෘතියෙහි දක්වා ඇත. ඒ අර්ථයෙන් විදි බැස මගෙන් කුණුහරුප අහගන්න එපා කියා ගිහියන් බිය වද්දන ලංකාවේ බොහෝ ශ්‍රමන ප්‍රතිරූපකයන් විමුක්තිකාමිද? සදාචාර සම්පන්නද? විඥානවාදිද? යනුවෙන් කෙනෙකු විමසයි නම් ඒ සුපේශල ශික්ෂාකාමි භික්ෂුත්වය ගැඹුරෙන් හැදෑරීමක් මිස, භික්ෂුත්වයේ නුගුණ දැකීමක් නොවේ.
ගලගොඩඅත්තේ නමින් රට දන්නා චරිතය බුදුන් සරණ ගිය බෞද්ධ පුරවැසියන්ට අබ සරණයි කීමත් ජනාධිපති වික්‍රමසිංහ කී සිවුරු ඇඳ ගත් බට්ටන්ට පැවිද්දේ වැඩ ගැන සිහි කිරීමත් යනු එකම කරුවල ලියේ දෙ කොන නිර්මානය කළ කැටයම් දෙකක් බව අගලතඩ හාමුදුරුවන්ට නො තේරේ නම් ඒ මහාචාර්ය පට්ටමෙන් ඇති වැඩක් නැත.
කෙනෙකු සමාජයට යථාර්ථයෙන් ගුරු වීමට නම් පඩි පතෙන් රැකෙන රස්සාවට පමණක් ගුරුවරයෙකු වෙලා මදිය. ඉගැන්වීමට අවශ්‍ය දැනුම සහ හැකියාව මෙන්ම ගුරු ගෞරවය ශික්ෂණය මෙන්ම හැසිරීමද අවශ්‍ය වේ. ඒ අර්ථයෙන් චර්යාවෙන් හැසිරිමෙන් පරමාර්ථ ගවේෂණයෙන් බුද්ධ දේශනාවට අනුගත නොවන කිසිදු චිවරධාරියෙකු භික්ෂුත්වයේ ගෞරවය ගිහි බෞද්ධයන්ගෙන් අපේක්ෂා නො කළ යුතුවේ. මේ කියවීම ගුඩ්ඪ පබ්බජිතයන් තෙයිය සංවාසිකයන් ශ්‍රමන ප්‍රතිරූපකයන් පිළිබඳ වන හෙයින් සුපේෂල ශික්ෂාකාමි භික්ෂුන්ට අදාළ නොවේ.
පසුගිය දවසක ඕමල්පේ සෝබිත හාමුදුරුවන් වෙතටයි .. යනුවෙන් ලියූ ලිපියක දැක්වෙන “…භික්ෂුව පන්සලෙන් මෙන්ම, තමන් වෙත පැවරුණ සමාජ වගකීමෙන්ද විතැන් ව සිටිති. සීදුවේ මැරුම් කෑ භික්ෂුවගේ මරණය දායක කාරකාදීන් දැන ගත්තේ සුළඟට මුසුව ආ කුණු කඳ නිසා මිස, පන්සලේ ගංඨාර නාදයෙන් නොවේ. එයින් හැඟී යන්නේ අර්ථචර්යාවෙන් හුදෙකලා වූ පන්සල ගිහි බෞද්ධයන් අමතක කර ඇති බවය. අදටත් ලේවැල්ලේ ගංගාරාම රජමහා විහාරස්ථානයට දිනකට තෙවරක් ගිලන්පස හීල සහ මහ දානය රැගත් දායක කාරකාරදීන් පැමිණෙති. පන්සල පන්සලක් වී නම් හාමුදුරුවන්ගේ මිනිය කුණුවී ගඳ ගැසීමට ගම්වාසින් ඉඩ දෙන්නේ නැත.” යන වාක්‍ය කියවන කෙනෙකුට ජනාධිපතිගේ ප්‍රකාශයෙහි දැක්වෙන සිවුරු ඇඳ ගත් බට්ටන්ගෙන් බෞද්ධ භික්ෂුව වෙන් කොට හඳුනා ගැනීම දුෂ්කර නො විය හැකිය.
පැවිද්දේ වැඩ කටයුතු නො කරන තාක් චීවරධාරින් බට්ටන් චබ්බග්ගිය දහරයන් මිස, භික්ෂුන් නම් නො වෙත්. කැලණී පන්සලේ නායක විද්‍යාවේදී හාමුදුරුවන්ට නයෙක් කී විට ලාටු කෑ රිළවෙකු මිස, මුචලින්ද නාග රාජයා සිහි වන්නේ නැත. ඒ රාජපක්ෂලා වෙනුවෙන් නයි නැටවීමට යාම නිසාය. හෝ රසායන විද්‍යාව මිස, බෞද්ධ ආචාර විද්‍යාව නො දන්නා නිසාය. ගුරු හාමුදුරුවන් මරා කෝටි ගණනක ධනය සොරාගෙන යන වර්ගයේ සාමනේර අළුගෝසුවන් නිර්මාණය කළ පන්සල් පද්ධතිය, අර්ථයෙන් ධර්මයෙන් දැනුමෙන් වැහැරී ගොස් ඇති මෙ සමයෙහි රනිල් වික්‍රමසිංහ කියන සිවුරු හැඳගත් බට්ටන් කවුදැයි සංඝායනාවක් හරහා සසුනෙන් නෙරපිය යුතු නෙවේද?
රනිල් සිවුරු හැඳගත් බට්ටන් කීවේ කොළඹ මහා මාර්ග අවහිර කරන ලිපිනයෙන් ආරණ්‍යවාසි වුවද ලගින්නේ කෙහේදැයි වවා ගත් හිසෙහි ලගින උකුණන් පවා නො දන්නා චීවරධාරි තක්කඩින් ගැනය. රනිල්ම කී ආකාරයට වසර හත අටක් එක දිගට ශිෂ්‍යභාවයට මුවා වී රට රවටන මුදලිගේලා සිසුන් නොවෙති. මෙසේ රනිල් උපුටා දක්වන්නේ රනිල් වික්‍රමසිංහ සියල්ල දන්නා නිසා නොවේ. අගලකඩ හාමුදුරුවන් හා රටේ සාමාන්‍ය ජනතාව අතර පවත්නා දැනුම පිළිබඳ උභතෝකොටිකය පැහැදිලි කිරීමටය.
අගලකඩ හාමුදුරුවන්ට අනුව, තෙල් පැට්රල් ගෑස් ලැබෙන්නේ මහ බැංකු අධිපති නිසා මිස රනිල් නිසා නෙවේ. නන්දලාල් වීරසිංහ පැමිණි යම් කලක් ගතවන තෙක්ද රටේ ජනාධිපතිව සිටියේ ගෝඨාභය රාජපක්ෂ වුවද ඒ කාලයේ තෙල් පැට්රල් ගෑස් ලැබුණේ නැති බව භික්ෂුන්ට සිව්පසය දෙන රටේ බහුතර මිනිසුන් දනිති. ඒ උදාහරණය පමණක් ගත් කළ අගලකඩ හාමුදුරුවන්ගේත් සාමන්‍ය රටේ මිනිසාගේත් සාමාන්‍ය දැනුමත් වටහා ගත හැකිය. තෙල් පැට්රල් පෝලිම් නැත්තේ කිව්ආර් කේතය නිසා මිස රනිල් නිසා නොවේය කියන ගිහියන්ද නැතිවා නොවේ.
රනිල් නිර්මානය කළ විද්‍යා පීඨවල වටිනාකම දන්නේ ගුරු පත්වීම් ගැනීමට රෙස්ට් හවුස්වල ලැග ආත්මය කෙළෙසා ගත් විශ්‍රාම ගිය ගුරු අම්මලාය. මේ කතාව සමහර විට රෝහිණි විජේරත්න මන්ත්‍රිතුමියට කුපාඩි කතාවක් වුණොත් සමාව ඉල්ලා සිටින්නට සිදු වේ. බහුතර දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන රටේ ගුරුවරියන්ට සාරි අඳින්න ආණ්ඩුව ගාණක් දිය යුතුය බවට රෝහිණි විජේරත්න මන්ත්‍රිතුමිය බල කිරිමෙන් එතුමියගේ කතිර වැඩි වෙනවා මිස මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ කුස ගිනි නිවෙන්නේවත් ඇද වැටුණ රටේ ආර්ථිකයට ලැබෙන යහපතක් නැත. ලංකාවේ මිනිසුන් හොඳ නරක දකින්නේ තමන්ගේ වියතටත් අඩු මිම්මකිනි. අපේ හාමුදුරුවරුන්ට භික්ෂුත්වය මතක් වන්නේ තම ජාම බේරා ගැනීමට අපහසු විටෙක පමණකි.
ජනාධිපති රනිල් සිය කතාව පාරේ තග දාමින් රටේ පාලනයට අවහිර කරන බට්ටන්ට සීමා කළා මිස බැංකුවක් කාර් සේල් එකක් හැටියට තිළිනි ප්‍රියමාලි මාගම සමග සංවාසයේ යෙදුණ සබ්රම්සරුන් වහන්සේලා ගැන මොනවත්ම කියලාම නැත. හේතුව වෙත තැම්පත් කළ මුදල් පින් පෙට්ටිවල වැටුණ කාසි එකතුවක් නිසා එය රාජ්‍ය පාලනයට අයත් නැති ගිහි බෞද්ධයන් සොයා බැලිය යුතු කාරියක් බැවිනි. සෝමාරාම බණ්ඩාරනායකට ගිනි බින්ද විට, බුද්ධරක්ඛිතගේ අතටත් මාංචු වැටුණේ රටේ නීතිය අනුව ය. කිසිවෙකුට එය විනය පිටකයෙන් සිවුරෙන් ආවරණය කළ නොහැකි විය. එහෙත් රටේ අවාසනාව වන්නේ රටේ කොතැන හෝ මොකක් සිද්ධ වුණත් ඒ හැම තැනකම අරිහත් ධජයත් ගෑවී තිබීමය.
ඊයේ පෙරේදා ගුරු හාමුදුරුවන් මරා වාහන කොල්ල රට පනින්න ගොස් කටුනායකදි ගොටු වූ සාමනේරයාටත් මුදලිගේලා සමග වීදි බැස රඟන පැවිදි ගැටයන්ටත් ආචාර්යව, උපාධ්‍යව වැඩිහිටිව මූලිකව සසුනට වින කැටුවේ අධිකරණ සංඝනායක ධුර දරන සංඝ සෝබන අගලකඩ සිරිසුමන ආදි හිමිවරුන්ගේ ථේරවාදය නොවේද? විජමු ලොකු බණ්ඩාර කතානායක ලෙස තේරූ ඡන්දයේදී කොලොන්නාවේ සුමංගල හාමුදුරුවන්ගේ පුණ්‍ය සරීරරයේ යටි බඩෙන් පහත අවයව ත්‍රිත්වයක් තම එක මිටට ගත් මර්වින් සිල්වා සිංහල බෞද්ධයා ලේ පුරන්න මිරිකන විට, සුවපත් වේවා පින්වත නො කියා ආයි කියා කෑ ගැසුවේ සුපේශල බෞද්ධ භික්ෂුවක්ද, රනිල් කි වර්ගයේ සිවුරු බට්ටෙක්දය යන්න ගෑස් තෙල් පොහොර ලැබෙන්නේ මහ බැංකු අධිපති නිසාද යන සාමාන්‍ය දැනුමේ ප්‍රශ්නය තරමටම කල්පනා කළ යුතු ප්‍රශ්නයකි.
හෙළ උරුමයෙන් පාර්ලිමේන්තු සම්ප්‍රාප්තව ඉහත කි ලෙස මර්වින් සිල්වා ලවා ස්පා නො ගිහින් සම්භාන සුව විඳී පළු කරඳ නිකායේ එල්ලාවල මේධානන්ද චක්‍රවර්තීන් වහන්සේ තනිව මහින්ද රාජපක්ෂගේ ගෙනා කැසිනෝ පනතට අත ඉස්සුවේ බෞද්ධ භික්ෂුවක් හැටියටද, රනිල් කි වර්ගයේ සිවුරු බට්ටෙක් හැටියටද යන්න කෝපයෙන් ගැහෙන සිහිය විකල් කරගත් අගලකඩ මහාචාර්ය හාමුදුරුවෝ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා රටට පැහැදිලි කළ යුතුවේ.
ආරාමයට යන එන්නන්ට තිත්ත කුණුහරුයෙන් අමතන, මඩකලපුවේ ථෙයිය සංවාසිකයාට ඒ අවසරය බුද්ධ දේසනාවෙන් හෝ විනය පිටකයෙන් පවරා දී නැත. අලුබෝමුල්ල ප්‍රදේශයේදී කාන්තාවක සමග පොලිසියට කොටු කර දුන් කලක් නුගේගොඩ ප්‍රසිද්ධ විහාරස්ථානයක අධිපතිව සිටි චීවරධාරියාත් එසේ හැසිරි සාසනයේ ගෞරවය නැති කිරිමේ ඒ අවසරය බුද්ධ දේසනාවෙන් හෝ විනය පිටකයෙන් පවරා දී නැත. ථෙයිය සංවාසිකයක් ගැන මෙසේ කතා කිරීම සුපටිපන්න සුපේසල ශික්ෂාකාමි බෞද්ධ භික්ෂුවට ගැරහීමක් නොවේ.
රනිල් වික්‍රමසිංහ රටේ රාජ්‍ය පාලකයා ලෙස අර ප්‍රකාශය කළේත් යන්තම් අත පය වනමින් ඇවිදිමට තැත් කරන රටේ ආර්ථිකයට වින කැටිමට විදි බසින තක්කඩින් සමග විසූක දස්සන පාන ගැටයින් ගැන මිස චණ්ඩාසෝක ධර්මාශෝක කළ සුමන සානේරයන් වහන්සේගෙන් පැවතෙන කුඩා හාමුදුරුවන් වහන්සේලා කෙරෙහි අගෞරවයකින් නොවේ. යහ පාලනයේ අවසන් කාලයේ පාස්කු බොම්බයට සමගාමිව නිදහස් චතුතරශ්‍රයේ එම්.එම්.සී. ගිවිසුම ඉරා නො දමන්නේ නම් එහිම අපවත් වෙතී යයි සැතපි ගත් ආරණ්‍ය වාසි උඩුදුම්බර හාමුදුරුවෝ අදානිට නැගනෙහිර ජැටිය විකිණීමට රාජපක්ෂලා තැත් කරද්දී වෘත්තිය සමිති සමග පාරට බැස්සේ නැත. ඒ බුදුන් කෙරෙහි නොව රාජපක්ෂලා කෙරෙහි පැවති වහල් මානසිකත්වයෙනි. රනිල් වික්‍රමසිංහට අනුව, නිදහස් චතුතරශ්‍රයේ සැතපීම සිවුරු ඇඳ ගත් බට්ටන්ට උදාහරණයකි. ඒ ඇත්තන්ට පැවැද්දන් සතු රාජපකාරි කරන්නැයි කීමට රටේ රාජ්‍ය නායකයාට ඇති අයිතිය ඊටත් පෙර රාජපක්ෂලා වෙනුවෙන් මර්වින් සිල්වා සුමංගල හාමුදුරුවන්ගේ පශචාත් භාග ත්‍රිත්වයට කළ සම්භාහන සාත්තුවෙන් සහතික කර තිබුණ බව මහාචාර්ය අගලකඩ හාමුදුරුවෝ දැන නො සිටියේද?
1947දී බලයට පත් අගමැති සේනානායකගෙන් පන්සලක් හැදීමට ආණ්ඩුවේ මුදල් ලබා ගත නොහැකි තැන බණ්ඩාරයකට එක්ව සිංහල බෞද්ධකම විදි බස්වා ආණ්ඩු පෙරළියක් කොට ලංකාවේ පැවති උතුරු නැගෙනහිර සහජිවනය විනාස කළේ බෞද්ධ භීක්ෂුන් නොව සිවුරු ඇඳ ගත් බට්ටන් බව ඉතිහාසයේ ලියැවෙද්දී රනිල් වික්‍රමසිංහ හත් වියැති දරුවෙකි. එවකට රටේ අගමැතිව සිටි පනස් නව හැවිරිදි ජෝන් කොතලාවල 1956දී දුස්සීලයන්ගේ තට්ටේ තාර ගෑමට කතා කළේ ආවට ගියාට නොවේ.
ඊයේ පෙරේදා පෝයට සිල් ගන්න පැමිණි හැත්තෑ හැවිරිදි උපාසිකාවක සමග පිරවුම් හළක් මිලදී ගැනීමට කා කළ භික්ෂුවක කෝටි ගණනක මුදලක් අහිමිව පොලිසි ගිය කතාව මාධ්‍ය වාර්තා කර තිබිණ. මේ සිද්ධිය අගලකඩ හාමුදුරුවන්ගේ දැක්මට අනුව, සිල් රෙදි ඇඳගෙන පන්සල් ආ පල් හෙරක් සිල්වත් භික්ෂුව ආරක්ෂා කළේ පින් කැටේ මුදල වංචා කිරීමකි. රනිල් වික්‍රමසිංහගේ පැත්තෙන් වයස්ගතව සිල් සමාදන් වීමට පන්සලට පැමිණි උවැසියකගේ හිත් දූෂ්‍ය කිරීමකි.
නිදහස් ලේඛක
sugathcb@gmail.com