කොටපල සිට මොරවකට ස්ථාන මාරු ලැබූ දොස්තරගේ දරුවා කොළඹ ඩී.එස්. සේනානායකය ඉල්ලන්නේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

මේ පිළිබඳ අදහස් දැක්වූ වෛද්‍යවරයකු අප සමග මෙසේ පැවසී ය:

සම සුදුසුකම් තියෙන අවස්ථාවක ඔබ රැකියාවකට තෝරාගන්නේ පොල්පිතිගම ළමයද? මලියදේව ළමයද? මෙන්න මේ වෙනස නිසා තමයි මේ තරගය.

මෙය සත්‍යයක් ද? මෙය අර්ධ සත්‍යයක් බව මගේ අදහසයි.

මේ මොහොතේ මේ රටේ ජනාධිපති ධුරය හොබවන්නේ මෙවැනි ප්‍රධාන පාසලකින් පැමිණි අයෙකු නො වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ (තර්ස්ටන්), ජනාධිපති ඩී.බී. විජේතුංග (ගම්පොළ ශාන්ත ඇන්ඩෘෘ), ජනාධිපති ප්‍රේමදාස (ශාන්ත ජෝසප්) ගත්තත් ඔවුහු ද රෝයල්, ආනන්ද මට්ටමේ පාසල්වලට ගිය අය නො වෙති.

එතැන් සිට පහළට මෙවැනි උදාහරණ ඕනෑ තරම් පෙන්විය හැකි ය. මෙයට ප්‍රතිවිරුද්ධ උදාහරණ ද පෙන්වන්නට පුළුවන. එහෙත්, පාසලේ කීර්තිය පුද්ගල පෞරුෂයන්ට බලපාන ආකාරය සීමිත ය. වඩා වැදගත් වන්නේ පුද්ගලයාගේ පෞරුෂය මිස පාසලේ කීර්තිය නො වේ.

පාසල් කීර්තිය පාසල්වාදී ගෝත්‍රිකයන් විසින් ම ප්‍රවර්ධනය කරන, එයින් ම යැපෙමින්, එයින් ම පවතින තත්වයකි. මෙම පාසල් සෙසු පාසල්වලට වඩා සුවිශේෂ නො වේ යයි මා මෙයින් අදහස් කරන්නේ නැත. එහෙත්, මේවාට යන්නට අවස්ථාව ලබා ගන්නා පිරිස පෞරුෂයෙන් හෝ සමාජමය වශයෙන් හෝ මහ ලොකු සුවිශේෂතා ඇති පිරිසක් නො වේ. මිනිස් ගුණය පැත්තෙන් නම් කතා කර වැඩක් නැත. රනිල් වික්‍රමසිංහ මෙන් ම, මහින්දානන්ද අලුත්ගමගේ ද ගියේ එක ම රාජකීයට ය.

රජයේ සේවයේ පාරදෘෂ්‍ය බඳවා ගැනීමේ පටිපාටිවලදී පොල්පිතිගම හෝ මලියදේව කියා වෙනසක් සිදු වන්නේ නැති තරම් ය. නිදසුනක් ලෙස පරිපාලන සේවයට බඳවා ගන්නා පටිපාටියේදී පාසලට සුවිශේෂත්වයක් ලබා ගන්නට අමාරු ය. තවමත් සේවයේ නියුතු කීර්තිමත් පරිපාලන නිලධාරියකු වන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය බිහි වන්නේ ඔය මට්ටමේ පාසලකින් නො වේ. පිටිසර පැත්තකින් ආ නලින්ද හේරත්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකයකු වන්නට ලැබෙන්නේ ද එසේ ය.

ඇත්තෙන් ම පෞද්ගලික අංශයට ද වැදගත් වන්නේ පොල්පිතිගම ද, මලියදේව ද යන්න නොව කුසලතා ය. කුසලතා නො තකා පාසල් පදනමින් බඳවා ගැනීම් කළත්, එය සාර්ථක නො වන අවස්ථා ඕනෑ තරම් තිබේ. කීර්තිමත් පාසල් පදනම් නැති අය කුසලතා නිසා ඉදිරියට යන අවස්ථා ඕනෑ තරම් තිබේ.

සිංහල බෞද්ධකම ප්‍රවර්ධනය කරන ආනන්දයට යන සිසුන් සම්බන්ධයෙන් මගේ නිරීක්ෂණය වන්නේ ඔවුන් බහු වාර්ගික සංයුතිය කැපී පෙනෙන ලක්ෂණයක් වන ඩී.එස්. සේනානායකයට යන සිසුන්ට සාපේක්ෂව ඉංග්‍රීසි භාෂා කුසලතා පැත්තෙන් පසුගාමී බව ය.

ගමේ පාසල්වල දරුවන්ට මෘදු කුසලතා ලබා ගැනීම අද එතරම් දුෂ්කර කාර්යයක් නො වේ. ඒ පිළිබඳ ඔවුන් තුළ විශ්වාසය ගොඩනැගිය යුතු ය. එසේම, ඒ සඳහා වැඩි අවස්ථා ලබා දිය යුතු ය. රජයේ මෙන් ම පෞද්ගලික අංශයේ ද විශේෂ අවධානය ඒ වෙත යොමු කළ යුතු ය.

නිදසුනක් ලෙස, පහත දැක්වෙන වීඩියෝවේ සිටින දරුවන්ට අඩු කුමක්දැයි බලන්න. ඔවුන්ට අඩු ඊනියා නාගරික පොෂ් උච්චාරණය පමණි.

පාසල් ගෝත්‍රිකවාදය පැවැත්ම තහවුරු කර ගන්නා මූලික පදනම පැරදවීමට හොඳම ක්‍රමය වන්නේ ගැමි දරුවන්ට වැඩි අධ්‍යාපන අවස්ථා ලබා දීමයි.

පාසල්වාදය ජාතිවාදය වැනි ම වූ ප්‍රතිගාමී ස්වෝත්තමවාදයකි. අන්ත පසුගාමී ගෝත්‍රවාදයකි. එය පරාජය කිරීම ජාතිවාදය පැරදවීම තරම් ම සමාජමය වශයෙන් වැදගත් ය.

w3lanka

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *