|

යහපත් ආර්ථිකයකට රට ගෙන යන අය වැයක් – ජ්‍යේෂ්ඨ කථිකාචාර් ය චම්පිකා ර්ධමදාස

පසුගිය දා ජනාධිපතිවරයා විසින් 2023 වසර සඳහා වන අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින වාතාවරණයක ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අය වැයේ ඇති යෝජනා පිළිබඳ විමසා සිටීම වැදගත්ය. ඒ පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චම්පිකා ධර්මදාස මහත්මිය සමඟ කළ සාකච්ඡාවකි මේ.

ගෙවන බදුවලට සමාන ප්‍රතිලාභ ජනතාවට ලැබිය යුතුයි

රාජ්‍ය වියදම අඩු කරන්න ඕනෑ

රාජ්‍ය ආදායම වැඩි කර ගන්න බදු වැඩි කළ යුතුයි

රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය ඉහළ නංවන්න ඕනෑ

ආර්ථික කලාප නිර්මාණය කිරීමේ යෝජනාව කාලෝචිතයි

 

l මෙවර අය වැය ඉදිරිපත් කෙරෙන්නේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අභියෝග රැසකට මුහුණ දුන් අවස්ථාවක. මේ සම්බන්ධව ඔබේ අදහස?

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වාතාවරණය පිළිබඳ අපි හැමෝම දන්නවා. මේ මොහොතේ දේශපාලන අස්ථාවරත්වයක්, විවිධ සමාජ ප්‍රශ්න සමඟ අධි උද්ධමනයක් රට ඇතුළේ තියෙනවා. මේ වගේ වාතාවරණයකදී අප බලාපොරොත්තු වෙන්නේ රට යහපත් ආර්ථිකයක් කරා ගෙන යන අය වැයක්. ඒ අනුව මේ වර්ෂයේ ඉදිරිපත් කළ අය වැය තුළ මම හොඳ වගේම නරකත් දකිනවා.

 

l මේ අය වැයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා කර ඇති යෝජනා මොනවාද?

ආර්ථිකය වැඩි දියුණු කිරීම සඳහා හොඳ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ආර්ථික කලාප කඩිනමින් පිහිටුවීමේ යෝජනාව ආයතන සමූහයක් තුළින් නිෂ්පාදන රැසක් බිහි වෙන එකක්. විරැකියාවටත් මින් විසඳුම් ලැබෙනවා. ග්‍රාමීය කිරි නිෂ්පාදන ඉහළ නැංවීමේ යෝජනාවේදී කිරි ගොවියාගේ ආර්ථිකය යහපත් වන අතර, දේශීය කිරි නිෂ්පාදනය ද ඉහළ යනවා. අපනයනාභිමුඛ කෘෂි කර්මාන්තය ඉහළ නැංවීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමත් ආර්ථිකයට හොඳයි. මීට අමතරව විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ආර්ථික කලාප නිර්මාණය කිරීමේ යෝජනාත් හොඳයි. සැපයුම් සේවා ආශ්‍රිතව යටිතල පහසුකම් සංවර්ධනය, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකරණය, ඩිජිටල් තාක්ෂණය සමඟ මුසු වුණු සේවා රටාවක් ඇති කිරීම වැනි දේ ආර්ථිකය ගොඩනැංවීමට හේතු වන යෝජනා. මේ යෝජනා ක්‍රියාත්මක වීම් නිසි පරිදි සිදු වුණොත් ඒවා මඟින් ආර්ථික තත්ත්වය යහපත් වෙයි කියලා කියන්න පුළුවන්.

 

l ඒ අනුව මෙහි ඇති ආර්ථිකයට අහිතකර යෝජනා මොනවද?

මේ අය වැය තුළ මම දකින ආර්ථිකයට අහිතකර පැතිකඩ තමයි වියදම් කළමනාකරණයේ ඇති දුර්වලතා. සමහර වියදම් මේ වෙලාවේ අවශ්‍ය නැහැ. නිදසුනක් ලෙස ඉතිහාසය පිළිබඳ අධ්‍යයන ආයතනයකට බිලියන 50ක් වෙන් කරන යෝජනාව ගත්තොත් ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින වෙලාවක අත්‍යවශ්‍යම ද කියන එක ගැන නැවත සිතා බලන්න වෙනවා. මේ වගේ ආර්ථිකය වැටුණු වෙලාවක ඉන් ගොඩ එන මාර්ගවලටයි වැඩි අවධානය යොමු කළ යුත්තේ. ඊළඟට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට මිලියන 200ක වියදමකින් නව වෛද්‍ය පීඨයක් ඉදි කිරීමේ යෝජනාව හා මිලියන 60ක වියදමින් වෛද්‍යවරුන් සඳහා පශ්චාද් උපාධි ආයතනයක් පිහිටුවීමේ යෝජනාවත් ඒ වගේ. ලංකාවේ උසස් අධ්‍යාපනයේ ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ වෙලාවේ උසස් අධ්‍යාපනයට එහෙම ලොකු අවශ්‍යතාවයක් තිබෙන බවක් පේන්න නැහැ. ලංකාවේ වෛද්‍ය විද්‍යාලවලින් පිටවෙන අය බොහෝ දෙනෙක් පසුව පිටරට යනවා. ඉන් රටට ඉතුරු වන ප්‍රමාණය ඉතා අඩුයි. එහෙම පරිසරයක මේ වෙලාවේ එවැනි යෝජනා ඉදිරිපත් කිරීම යෝග්‍යද? ඒ මුදල් නව පර්යේෂණ සහ නව නිපැයුම් සදහා වෙන් කිරීමයි කළ යුත්තේ. ඒ වගේම ඊට වැඩිය ප්‍රශ්න තියෙනවා ප්‍රාථමික අධ්‍යාපනයේ. ඉස්කෝලවල දරුවන්ගේ පෝෂණ ගැටලු හා අධ්‍යාපනය සිදු කරගෙන යන්න අවශ්‍ය උපකරණවල අවශ්‍යතාවය තියෙනවා. අය වැයෙන් ග්‍රාමීය පාසල්වලට යම් මුදලක් වෙන් කර තිබෙනවා. උසස් අධ්‍යාපනයට හොඳ දරුවකු එන්නේ හොඳ ප්‍රාථමික අධ්‍යාපනයක් තිබ්බොත්. ඒ නිසා මේ වෙලාවේ ඒ සඳහා වැඩි ප්‍රමුඛතාවයක් දැක්වීමයි කළ යුත්තේ.

ඊළඟට බදු වැඩි කිරීම ගත්තාම ඉන් උත්සාහ කරන්නේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න නම් විදයම් වැඩි කිරීම නොව අඩු කිරීමයි කළ යුත්තේ. ඒ නිසා මෙවර අය වැය තුළින් රාජ්‍ය වියදම අඩු කිරීමට ලොකු උත්සාහයක් ගෙන තිබෙන බවක් පේන්න නෑ. මේ වෙලාවේ අපි රාජ්‍ය වියදම වැඩි කරගන්න එකද කරන්න ඕනේ කියන එක නැවත හිතන්න ඕනේ. 2022 වර්ෂයේ රාජ්‍ය වියදම බිලියන 16.6ක් වෙනකොට 2023 දී එය බිලියන 19.2කට වඩා වැඩි වෙලා තියෙනවා. 2008 වර්ෂයේ ගෝලීය මූල්‍ය අර්බුදයක් පැමිණි වෙලේ ඊට මුහුණු දීපු රටවල් වියදම කප්පාදු කළා. නිදසුනක් ලෙස මම පශ්චාද් උපාධියට ශිෂ්‍යත්වයක් ලැබ ජපානයට ගිය වෙලේ මුලින් අපිට පළමු මාසයේ යෙන් එක්ලක්ෂ හැත්තෑ දෙදහසකට කිට්ටු වෙන්න හම්බ වුණා. හැබැයි ජපානය ඒ වෙලාවෙ මුලින්ම කළේ ශිෂ්‍යත්වයේ වටිනාකම අඩු කරපු එක. ඒක අඩු කළා යෙන් එක්ලක්ෂ හතළිස් පන්දහසකට. අපි දැක්කා ජපානය මූලික අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය දීලා අනෙක් වියදම් සියල්ලම අඩු කරන අයුරු. ඒ වගේ ක්‍රියාවලියක් තමා මේ වෙලාවේ අපේ රටටත් අවශ්‍ය වෙන්නෙ. මේ වෙලාවේ අවශ්‍ය වන්නේ එක් එක් කණ්ඩායම්වල අභිමතාර්ථවලට ප්‍රමුඛතාව දෙන අය වැයක් නොව පාරිභෝගික ජනතාවගේ සහ ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කරන අය වැයක්.

 

l මේ අය වැය තුළ පීඩාවට පත් ජනතාව සඳහා සහන සලසා දෙන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා කියා ඔබ සිතනවද?

අය වැයේ ආර්ථිකය කඩා වැටීමෙන් නොයෙකුත් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී තිබෙන ජනතාවට සහන ලබා දීම සඳහා මිලියන 4300ක මුදලක් වෙන් කරලා තියෙනවා. දැනට කරගෙන යන සුභසාධන හා සහනාධාර වැඩපිළිවෙළට අදාළව ඇස්තමේන්තුවක් ද ඉදිරිපත් කර තියෙනවා. නමුත් මේ යෝජනා කියන විදියටම ක්‍රියත්මක වෙනවද, වෙයිද කියන එකයි අපි බලන්න ඕනේ. ඒ වගේම වසරකින් මේ යෝජනා ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන ගැටලුවත් තියෙනවා. මේවායේ ප්‍රතිඵල ඉක්මණින්ම ලැබෙයි කියලා හිතන්න බැහැ. නමුත් මේ දීලා තියෙන යෝජනා ඒ විදියටම ක්‍රියාත්මක වුණොත් සාර්ථක ප්‍රතිඵල ආර්ථිකයට ලැබෙන බව කියන්න පුළුවන්.

 

l රටේ අධි උද්ධමනයක් තිබෙන මොහොතක එම තත්ත්වය පාලනය කරන්න අයවැයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද?

අධි උද්ධමනය පාලනය කරන්න ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ අනුව මේ වසරට වඩා ලබන වසරේදී උද්ධමනය අඩු වේ යැයි අපේක්ෂා කරන්න පුළුවන්. නමුත් උද්ධමන අගය තනි ඉලක්කමකට ගන්න පුළුවන්ද යන්න සැක සහිතයි. ඊට සෘජුවම ගන්න ක්‍රියාමාර්ග මේ අය වැය තුළින් ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් විවිධ වැඩසටහන් හා ප්‍රතිපත්ති හරහා ආර්ථිකය වර්ධනය කිරීමෙන් උද්ධමනය පාලනය කිරීම මේ අය වැයෙන් අදහස් කරලා තියෙනවා. මෙතනදී සෘණ මට්ටමේ තිබෙන ආර්ථිකයක් ධන මට්ටමට ගන්න කොච්චර කල් යයිද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඕනෑම කෙනෙකුට අයවැයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රශ්නය තියෙන්නේ ඒවා ක්‍රියාත්මක කිරීමේ හැකියාව කොතෙක් දුරට තියෙනවද යන්නයි. ඒ මත උද්ධමනය අඩු හෝ තව වැඩි වීම, ආර්ථික වර්ධනය සහ අනෙකුත් සාර්ව ආර්ථික විචල්‍යවල හැසිරීම තීරණය වෙනවා.

 

l පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ මෙවර අයවැයෙත් යෝජනා ඉදිරිපත් වුණා. ඒ ගැන ඔබේ අදහස?

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ මෙතනදී අදහස් කරන්නේ සේවක කප්පාදුවවත්, සේවකයින්ගේ වැටුප් කප්පාදුවවත් නෙවෙයි. රාජ්‍ය ආයතනවල තරඟකාරීත්වය හා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම ගැන. ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමේ යෝජනාව මීට ගැළපෙනවා. ඉන් බොහෝ ආදායම් වියදම් විනිවිදභාවයෙන් සිදු කරන්න පුළුවන්. අපේ රටේ බොහෝ දේවල් තවමත් ඩිජිටල් වෙලා නැති නිසා වියදම් වැඩි වෙලා තියෙනවා. සියලු සේවා ස්ථානවල ගෙවීම් පද්ධති කාඩ් ක්‍රමවේදයකට අනුගත කිරීමක් සිදු කළහොත් සහ බහුතරය කාඩ් හරහා ගෙවීම කරන්න පුරුදු වේවි. එහෙම වුණොත් මූල්‍ය වශයෙන් සිදුවන ගොඩක් දූෂණ වළක්වා ගන්න පුළුවන්.

 

l විදේශ විනිමය ගැටලුව හා ගෙවුම් ශේෂය සමතුලිත කරගැනීමට ඇති සැලසුම් මොනවාද?

අපනයන වියදම්වලට වඩා ආනයන වියදම් වැඩි වීම ගෙවුම් ශේෂ අසමතුලිතතාවට බලපානවා. අපේ රටේ මේ තත්ත්වය වැඩියි. මෙතනදී අපනයන ආදායම වැඩි කර ගැනීම හෝ ආනයන වියදම අඩු කර ගැනීමෙන් ගෙවුම් ශේෂයේ ප්‍රශ්නය සහ ඒ නිසා ඇතිවන අනෙකුත් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. මේකට අය වැයෙන් ගොඩක් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. අපේ රටේ ජාත්‍යන්තර වෙළෙඳාම දිහා බැලුවාම තීරු බදු, පැරා තීරු බදු වගේ ආරක්ෂණ ක්‍රම නිසා එක අතකට රජයට ආදායමක් ලැබෙනවා. අනෙක් අතට ඒක අපනයන සඳහා බලපානවා. අපේ රටේ ගොඩක් වෙලාවට අමුද්‍රව්‍ය ආනයන කරලයි ප්‍රති අපනයනය සිදු කරන්නේ. තීරු බදු වැඩි කරන විට අපනයනාභිමුඛ නිෂ්පාදකයින්ට විවිධ දුෂ්කරතා මතුවෙනවා. ඒ අයට සහන දෙන්නත්, අපනයන සඳහා සහන සැලසීමටත්, පැරා තීරු බදු ඉවත් කිරීමටත් අය වැයේ කතා කරලා තියෙනවා. ඒවා ජාත්‍යන්තර වෙළෙඳාම ශක්තිමත් වෙන යෝජනා. ඒ වගේම ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථා පුළුල් කරගන්න අවශ්‍ය යෝජනාත් අය වැයේ අඩංගුයි. හැබැයි මේවා නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුයි. ජාත්‍යන්තර වෙළෙඳපොළ ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම තුළින් සෘජු හා වක්‍ර විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගත හැකියි.

 

l මේ අය වැය තුළින් ලබන වසරේ අධික බදු බරක් ජනතාවට පැටවෙනවා නේද?

ලෝකයේ අනෙක් රටවල් සමඟ බලද්දි අපිට තියෙන්නේ අඩුම බදු ආදායමක්. විදේශ රටවලට ගිය අය දන්නවා ඒ රටවල මිනිස්සු කොතරම් රජයට බදු ගෙවනවද කියලා. රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට බදු වැඩි කළාට කමක් නැහැ. හැබැයි ලංකාවේ බදු නියමිත පරිදි ගෙවන අයට වඩා වැඩි හරියක් බදු පැහැර හරින්නන් ඉන්නවා. පසුගිය කාලය තුළ දේශපාලනඥයන්ගේ හා නිලධාරීන්ගේ සහයෝගය මත බදු පැහැර හරින්නන්ගේ වැඩි වීම විශාල වශයෙන් දැකපු දෙයක්. ජනතාවට බදු බර පටවන විට බදු ගෙවීම පැහැර හරින සියලු දෙනා හොයලා සාධාරණ බදු ක්‍රමයක් ගොඩනඟන්න ඕනේ. මේ සඳහා අවුරුදු 18ට වැඩි සියලු දෙනාට බදු ගෙවීමට ක්‍රමවේදයක් යෝජනා කරලා තියෙනවා. අනිත් රටවලත් මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. හැබැයි මෙතනදී අපිට දැනෙන්න ඕනේ අපි බදු ගෙව්වට කමක් නෑ කියලා. ඒ කියන්නෙ ගෙවන බදුවලට සමාන ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්න ඕනේ. පසුගිය දිනවල කතා වුණ ලෙස බදු පැහැර හැරලා වෙනත් රටවල මුදල් තැන්පත් කර ඇති මෙරට පුරවැසියන්ගේ ගිණුම්වලින් ඒ රටවල් හා බැංකු සමඟ කතිකා කර කිසියම් මුදලක් මෙරටට ගන්න පුළුවන්නම් ඒ සම්බන්ධයෙනුත් ක්‍රියා කළ යුතුයි. 2008 ලෝක මූල්‍ය අර්බුදය පැවතුණු විට ග්‍රීසිය මෙලෙස ක්‍රියා කළා. රජය එවැනි ක්‍රියා සම්බන්ධයෙන් අධ්‍යයනය කොට ඒ පිළිබද අවබෝධයක් ඇතිකරගත යුතුයි.

 

l පාස්පෝට්-වීසා ගාස්තු 20% ඉහළ දැමීම විදේශ සේවා නියුක්තියටත්, සාමාන්‍ය ජනතාවටත් බලපාන්නේ කෙසේද?

වීසා, පාස්පෝට් මිල හැම රටකම වගේ මේ කාලයේ වැඩියි. සාමාන්‍ය පුරවැසියාට දරාගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම එය බජට් සංචාරකයින්ගේ පැමිණීම අඩු වීමට බලපාන්න පුළුවන්. අනිත් අතින් බලන කොට රට යන්නේ මිනිසුන් විවිධ හේතු මත. අනිවාර්යෙන්ම යන්න අවශ්‍ය අය ගාස්තු වැඩි වුණා කියලා නොයා ඉන්නේ නැහැ. වීසා කියලා කියන්නේ කිසියම් රටක් තමන්ගේ රටට ඇතුළු වීමේදී අය කරන ගාස්තුවක්. ඉන් එම රජයට කිසියම් ආදායමක් ලැබෙනවා. කාලාන්තරයක් තිස්සේ විවිධ රජයන් විසින් පාරිභෝගිකයින්ගේ, ආයෝජකයින්ගේ හා සමස්ත ජනතාවගේ විශ්වාසය නැති වන ආකාරයේ කටයුතු සිද්ද කරල තියෙනවා. එම විශ්වාසය තහවුරු වෙලා, මේ යෝජනා හරියට ක්‍රියාත්මක වීම තහවුරු කරන්න පුළුවන්නම් මේ අයවැයේ හොඳ පැති ගොඩක් තියෙනවා. ඒ වගේම රාජ්‍ය වියදම අඩු කිරීම ගැන මීට වඩා රජය අවධානය යොමු කළ යුතුයි.

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චම්පිකා ධර්මදාස

ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය

සන්නිවේදන හා මාධ්‍ය ඒකකය

කැලණිය විශ්වවිද්‍යාලය

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *