ග්ලයිෆොසේට් තහනම ඉවතට

වී, බඩඉරිඟු, තේ, රබර් ඇතුළු සියලු වගාවන්හි වල්මර්දනය සඳහා විශාල බලපෑමක් එල්ල කළ ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ.
මීට අදාලව ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අත්සනින් යුතුව රජයේ මුද්‍රණාලයට බාර දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  ග්ලයිෆොසේට් තහනම තවදුරටත් පවත්වාගෙන යා යුතුද? නැද්ද? යන්න පිළිබඳව ගොවි නියෝජිතයින්, කෘෂිකර්ම විශේෂඥයින්, කෘෂි විද්‍යාඥයින් ඇතුලු විවිධ අංශවලින් කළ විමසීම් ගණනාවකින් අනතුරුව ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට තීරණය කළේය.
පළමුවරට 2015 දී මෙරට ග්ලයිෆොසේට් තහනම් කරන ලද්දේ වල් මර්දනය සදහා කිසිදු විකල්ප වැඩ පිළිවෙළක් හඳුන්වා නොදෙමිනි. ඉන් අනතුරුව 2018 දී තේ හා රබර් සඳහා ග්ලයිෆොසේට් යෙදීම තහනම් කළේය.
නමුත් ඇතැම් පුද්ගලයින් මුහුදු මාර්ගයෙන් මෙරටට තත්ත්වයෙන් බාල ග්ලයිෆොසේට් හොර පාරෙන් ආනයනය කර ඉහළ මිල ගණන් යටතේ  මෙරට සෑම ප්‍රදේශයකම අලෙවි කරනු ලැබීය.
එමනිසා තවදුරටත් ග්ලයිෆොසේට් තහනම පවත්වාගෙන යාම ඵලක් නැති තත්ත්වයට පත්වී තිබිනි.
එමෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ වල් මර්දනය සඳහා විකල්ප ක්‍රමවේදයක් මෙතෙක් නොතිබු බැවින් අස්වනු අඩුවීමට ද එම තත්ත්වය හේතුවිය.
ඒ අනුව 2015 සිට වසර 07ක් තිස්සේ පැවැති ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට පියවර ගත් බව අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.
දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *