|

ජයග්‍රාහී සූත්‍රය ගැන රනිල් කියයි

 

  • 2023 අයවැය පුළුල් ඉදිරිදර්ශනයකින් විනිශ්චය කරන ලෙස පුද්ගලික අංශයට අවධාරනය කරයි
  • සම්පූර්ණ ප්‍රතිසාධන ක්‍රියාවලිය වසර හතරක් හෝ 2026 වන තෙක් කල් ගතවනු ඇතැයි පවසයි
  • පුනර්ජීවන ක්‍රියාවලියට සාමූහිකව සහාය දෙන ලෙස පුද්ගලික අංශයේ නායකයින්ගෙන් ඉල්ලායි
  • රජය ව්‍යාපාර කරන්න අදහසක් නැහැ
  • $7 b ලබාගැනීමේ හැකියාව ඇත්නම් වුවත් රජයට අයිති ව්‍යපාර විකිණීමට කිසිදු පැකිලීමක් නැහැ

 

ආර්ථික පුනර්ජීවනය පිළිබඳ බොහෝ දෙනා අශුභවාදී අදහස් දැරුවද, 2023 අයවැයෙන් අවධාරණය කරන ලද ශක්තිමත් ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මගින් රට අර්බුදය ජය ගනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ විශ්වාසය පළ කළේය.

 

ප්‍රතිසංස්කරණ සහ සහන ඉලක්ක කරගත් 2023 අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය පිළිබඳ පළමු ප්‍රසිද්ධ මහජන සංවාදයේ දී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරනපශ්චාත් උපාධි ආදි ශිෂ්‍ය සංගමය සමග එක්ව ඩේලි එෆ්ටී විසින් ඊයේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී සංවිධානය කරන ලද පශ්චාත් අයවැය සංවාදයේ ප්‍රධාන දේශනය පවත්වමිණි .

 

“අපි ආර්ජන්ටිනාවේ ආසියානු පිටපත වෙනවාද? නැත්නම් අපට එය සාර්ථක කර ගත හැකිද? මගේ මතය අනුව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ යුත්තේ 2023 අයවැය තුළින් අවධාරණය කර ඇති රාමුව සමඟයි,” වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

 

පෙර නොවූ විරූ මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දක්වා ඇති ආර්ථික රාමුව තුළ ශ්‍රී ලංකාව අත්කර ගැනීමට යන්නේ කුමක්ද යන්න සැලකිල්ලට ගනිමින් 2023 අයවැය විනිශ්චය කිරීම වැදගත් බව ජනාධිපතිතුමා පැවසීය.

 

“තත්වය සාමාන්‍ය නොවන බැවින් අප මුහුණ දෙන අර්බුදයෙන් ගොඩ ඒම පහසු නැත. 2023 අයවැය හරහා, ස්ථාවරත්වයට ඔබ්බෙන් බලා සිටින ආර්ථිකයේ යම් මූලික ප්‍රතිව්‍යුහගත කිරීමක් සහ ලබන වසරේ දෙවන භාගයේ සිට යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්මක් අපි අවධාරනය කර ඇත්තෙමු. 2026 වන විට වසර හතරක් ඇතුළත අපි 2019 දළ දේශීය නිෂ්පාදිතය මට්ටමට ළඟා වනු ඇතැයි බලාපොරොත්තු වෙමු, ”ඔහු පැවසීය.

 

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ සාමූහික වගකීම බව ද ජනාධිපති වික්‍රමසිංහ මහතා පෞද්ගලික අංශයේ ප්‍රධානීන්ගෙන් පිරුණු සභාව අමතමින් කියා සිටියේය.

 

“කර්මාන්ත සහ නිෂ්පාදකයින්ට තරඟකාරී වීමට උපකාර කිරීම සඳහා වෙළඳ ගැලපුම් වැඩසටහනක් සමඟ වසර පහක් තුළ පැරා තීරුබදු සහ අනෙකුත් තීරුබදු ඉවත් කිරීමට අපි බලා සිටිමු. මේ ලෝකයේ ඔබ ජයග්‍රහණය කිරීමට නම් තරඟ කළ යුතුයි, ”ඔහු පැවසීය.

 

ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාව සියලු වෙළෙඳ ගිවිසුම් ගවේෂණය කර නැවත සක්‍රීය කරන බව ද ජනාධිපතිතුමා කීය.

 

“ආර්ථිකය වර්ධනය වන විට පුද්ගලික අංශයද වර්ධනය වනු ඇත. අපි තවත් බොහෝ කාර්යයන් පෞද්ගලික අංශයට පවරනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

 

අධ්‍යාපනයට, සෞඛ්‍යයට හෝ නිවාස සඳහා  වඩා හොඳ ආයෝජනයක් කිරීමට යොදාගත  හැකිව තිබූ රුපියල් බිලියන, ටි‍්‍රලියන ගණනක පාඩුවක් රජයට සිදු වී ඇති බව පෙන්වා දෙන අතරම රජය ව්‍යාපාර කිරීමට අදහස් නොකරන බව ඔහු තරයේ කියා සිටියේය.

 

“අපි තීරණය කරන්න ඕන ජනතාව ශක්තිමත් කරනවද? නැතිනම්  මහජන මුදල් අරගෙන රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ශක්තිමත් කරනවද කියලා. මගේ ප්‍රමුඛතාවය මිනිසුන් දෙස බැලීම මිස මෙම සමාගම් සහ ගොඩනැගිලි දෙස බැලීම නොවේ,” ඔහු අවධාරණය කළේය.

 

මෙම රජයේ ව්‍යාපාර  විකිණීමේ තාර්කිකත්වය පැහැදිලි කරමින් ඔහු පැවසුවේ විදේශ සංචිත ඉහළ නැංවීමට සහ රුපියල ශක්තිමත් කිරීමට එමඟින් හැකි වන  බවයි.

 

“මම ඔබට එක දෙයක් කියන්නම්, මට තවත් දේ විකුණා ඩොලර් බිලියන 7 ක් ලබා ගත හැකි නම්, මම එය කරමි – එයින් හෙට ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් වනු ඇත. අපට ඩොලර් බිලියන 7 ක් ලබාගැනීමේ හැකියාව තිබේදැයි මම නොදනිමි., නමුත් මට එබඳු හැකියාවක් ඇත්නම් , මම එය කරන්නෙමි. මට ඒ ගැන කිසිම පැකිලීමක් නැහැ, මොකද මට අවශ්‍ය මේ රටේ ජනතාවට හොඳ ජීවිතයක් ගත කරන්න අවස්ථාව සලසා දීමයි .”

 

“අභියෝගවලින් ඔබ්බට ඇති අවස්ථාවන් ජය ගැනීම ” යන මාතෘකාව යටතේ පැවති  පශ්චාත්-අයවැය සංවාදයේ දී ක්ෂේත්‍රයේ ප්‍රමාණික විද්වතුන් රාශියකගේ දායකත්වය ලැබී තිබිණි. භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව, මාලදිවයින, නේපාලය සහ දකුණු ආසියාතික රටවල අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ් ශේර්නොස් , ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ චෙන් චෙන්, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය දුෂ්නි වීරකෝන්, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති විශ් ගෝවින්දසාමි, ප්‍රයිස් වෝටර්හවුස් කූපර්ස් ශ්‍රී ලංකා අධ්‍යක්ෂ චාමයින් තිලකරත්න, එස්සී සිකියුරිටීස් ප්‍රධාන විධායක නිලධාරී රොෂාන්ත ප්‍රනාන්දු සහ එස් සී බී – ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී බිංගුමාල් තෙවරතන්ත්‍රි ආදීහු සහභාගී වී සිටියහ. ඩේලි එෆ් ටී  හි ප්‍රධාන විධායක නිලධාරී සහ කර්තෘ නිස්තාර් කාසිම් විසින් සංවාදය මෙහෙයවනු ලැබීය.

චාරුමිණි ද සිල්වා විසිනි

ඩේලි එෆ් ටී

 

– ඡායාරුප : උපුල් අබයසේකර සහ රුවන් වල්පොල

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *