|

බැංකුවලින් ලබාගත් ණය ආපසු ගෙවීමේදී සහනයක් දෙන්න බැංකුවලට උපදෙස් දුන්නා – මහ බැංකු අධිපති

බැංකු වලින්කු ණය ලබාගැනීමෙන් අපහසුතාවයට පත්ව ඇති ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන ලෙසට බැංකුවලට උපදෙස් දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.

පාර්ලිමේන්තුවේදී පැවති මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය කාලය තුළ විචල්‍ය පොලී අනුපාත යටතේ ලබා ගත් ණය සඳහා අයකරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගනුදෙනුකරුවන්ට මෙම සහනය ලබාගත හැකි බවය.

එහිදී මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දී ඇත්තේ මෙලෙස පොලී අනුපාතිකය වැඩිවීම නිසා ඇතැම් ණයහිමියන්ගේ මුලු වැටුපම ණය වාරික සදහා ගෙවීමට සිදුව ඇති බවය.

ඒ සඳහා පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගනුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කොට යම් සහන කාලයක් සඳහා අදාළ පොලිය පමණක් ගෙවීමට හැකි බවය.

එසේම මීට මාස දෙකකට පෙර 70%ක අගයක පැවති සාමාන්‍ය උද්ධමනය මේ වනවිට 66% දක්වා අඩුවී ඇති බවත්, 95% ක පැවති ආහාර උද්ධමනය 85% දක්වා අඩුවී ඇති බවත් මහබැංකු අධිපතිවරයා පැවසීය.

ඒඅනුව පවතින මූල්‍ය ප්‍රතිපත්ති සමග මෙම අගය ලබන වසර අගවන විට 4 – 5% අගයකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියකට අනුව මහබැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම සදහා නව පනතක් මේ වන කෙටුම්පත් කර අවශ්‍ය කටයුතු සිදුකරන බවද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *