කළ දේ මදි කියා දැන් මට හිතෙනවා – සීතා රංජනි

seetha-ranjaniමාධ්‍යවේදිනියක, නිර්මාණකාරියක හා සමාජ ක්‍රියාකාරිනියක ද වන ඔබ, මේ භූමිකාවන්ට අවතීර්ණ වූ අයුරු අපි මුලින්ම කතා කරමු?

මම නිර්මාණකරණයට නම් යොමුන්වෙන්නේ 1970 ගණන්වල පාසල් කාලයේදීමයි. මං පොඩි පොඩි කවි ලියමින් සිටියා. ඒවා දුටු අපේ පාසලේ ගුරුභවතෙක් ළමා තරගයකට කවියක් ලියන්න කිව්වා. ඒ කවියට මට පළමු තැන ලැබුණා. එය තමයි තව තවත් ලියන්න මා දිරිගැන්වූවේ. මේ කවි ගුරුවරු ළමයි බැලුවා. පොතේ ඉතිරි පිටුවල ඒ අය තමන්ගේ අදහස් ලිව්වා.

1970 ගණන්වල මැද හරියේ මං පාසල් ජීවිතය අවසන් කළ වකවානුවෙ වගේ ගුවන් විදුලියටත් මං කවි ලිව්වා. ඒ කාලේ ගුවන් විදුලියේ නිර්මාණ වැඩසටහන් තිබුණා. මතක හැටියට සරසවිය පුවත්පතටත්, තරුණි, යොවුන් ජනතා පුවත්පත්වලටත් මං කවි ලිව්වා. ගුවන් විදුලියේ ඔය අතර 1979 අප්‍රේල් 12 වැනිදා රජරට සේවය ඇරැඹුණා. ඒ තමයි, පළමු ප්‍රාදේශීය ගුවන් විදුලිය.

මං ගුවන් විදුලි රසිකාවියක්. ලිවීම ඇසීම දෙකම කළා. රජරට සේවයෙන් අසන්න ලැබුණා නිර්මාණ යොමු කරන්න කියන පණිවිඩයට. මං මගේ පළමු කෙටි කතාව තැපැල් කළා. අප්‍රේල් මාසෙම දවසක රජරට සේවයට එන්න කියලා මට ටෙලිග්‍රෑම් එකක් ලැබුණා. ගියාමයි දැන ගත්තේ මගේ කෙටිකතාව පටිගත කරන්න තෝරාගෙන කියලා. නිර්මාණය අගය කිරීමකුත් කළා. ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් මට කිව්වා දැන් මේ දේ ඔයා තමයි ඉදිරිපත් කරන්න ඕන කියලා. ඔහු අපට මඟපෙන්වූ ඉතාම හොඳ ප්‍රවීණ ගුවන්විදුලි සන්නිවේදකයෙක්. ගුවන් විදුලියේදී අපි අයියා , අක්කා කියලා බොහොම සහෝදරත්වයෙන් ප්‍රවීණයන්ට කතා කළේ. ස්වර්ණ ශ්‍රී අයියගේ ඉල්ලීම පරිදි මං මගේ කෙටිකතාව ගුවන් විදුලියෙන් ඉදිරිපත් කළා. කෙටි කතාවට සහ ඉදිරිපත් කිරීමට කියන මේ දෙකටම මට ගෙවීමකුත් ලැබුණා. මේකත් එක්ක මට හිතුණා ලියලා සල්ලි හොයන්නත් පුළුවන්නෙ කියලා.

ඒ කාලයේ, මාධ්‍යවේදිනියක් වෙනවද වගේ කිසිවක් හිතලා තිබුණේ නෑ. ඒත්, ලිවීමේ කැමැත්ත තිබුණා. නිර්මාණකරණයට ආසාවක් තිබුණා. මට මතක හැටියට මං එදාම ආපහු ගිහින් තවත් ගුවන්විදුලි නාට්‍යයක් ලියලා එව්වා. ඒකත් පටිගත කරන්න තෝරගෙන තිබුණා. ඒකටත් මුදලක් ලැබුණා. මං දිගින් දිගටම ගුවන්විදුලියට පිටපත් ලියන්න පටන්ගත්තා. ඒ වනවිට අපි ශිල්පීන් ලෙස තෝරාගෙන නොතිබුණත්, මේ වැඩසටහන්වලට නාට්‍යවලට කථනයෙන් දායක වුණා. කෙටි කාලයකින් ශිල්පී පරීක්ෂණවලට ඉදිරිපත් වෙලා ඒවා සමත්වීමෙන් පසුව අපි වැඩ කරන්න පටන් ගත්තා. මං හිතන්නේ ඒ කාලයේ රජරට සේවයට වැඩිම පිටපත් ලිව්වේ මම. ගුවන් විදුලි නාට්‍ය, ළමා නාට්‍ය, බෞද්ධ නාට්‍ය, ළමා විචිත්‍රාංග, කාන්තා වැඩසටහන් වගේ හැම පැත්තකින්ම ලියපු කෙනෙක් මම. ගීත රචනාත් බොහෝමයක් කළා. ඒවා ගුවන් විදුලියේ ප්‍රචාරය වුණා.මේ ඔස්සේ මට බොහෝදෙනෙක් දැන හැඳින ගැනීමටත් ලැබුණා.

සමාජයේ මිනිසුන් විඳපු දේ, අයිතිවාසිකම් උල්ලංඝනය වීම් වගේ දේ සමාජ ප්‍රශ්න වගේ දේ මගේ නිර්මාණවලට හුඟාක් දුරට පසුබිම් වුණා.

ඔබ මුද්‍රිත මාධ්‍යයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

ගුවන් විදුලියට ලියමින් සිටින අතර ‘විවරණ’ කියලා සඟරාවක් පටන්ගන්නවා. ඒකට සම්බන්ධ වෙන්න කොළඹ එන්න කියලා දැනුම්දීමක් ලැබුණා. මගේ යාළුවො පවා කිව්වා ඔය කරන දේ හැටියට කොළඹ ගියොත් වඩාත් හොඳයි කියලා. දුර ගමනක් යන්න පුළුවන් කියන අදහස ඔවුන් මට දුන්නා. මං කොළඹ ආවා. ගුවන්විදුලි මාධ්‍යයෙන් මුද්‍රිත මාධ්‍යයට සම්බන්ධ වෙන්නෙ එහෙමයි. ගුවන් විදුලි මාධ්‍යයට ගැළපෙන හැටියට ලිවීම කළා. මම ඉන්පසු 1980 ගණන්වල මැදභාගයේ පටන් ‘විවරණ’ත් එක්ක මුද්‍රිත මාධ්‍යයට ලියන්න ගත්තා. දැන් අවුරුදු 37ක් විතර තිස්සේ මං ලියනවා.

ඔබ වඩාත් ප්‍රකට විකල්ප ධාරාව තුළ වැඩ කළ මාධ්‍යවේදිනියක් හැටියට. මේ ගැන ඔබ මොකද කියන්නේ?

මම කාලයේ හැටියට මිනිසුන්ගේ ප්‍රශ්න, අයිතිවාසිකම් කාන්තාවන් වෙනස්කම්වලට ලක්වීම, වාර්ගික වශයෙන් පීඩාවට පත්වීම වගේ කාරණා ගැන වඩාත් සංවේදී වුණා. සැලකිලිමත් වුණා. බොහෝවිට මගේ නිර්මාණ ඒ ඔස්සේ බිහිවුණා.

කොළඹ ඇවිත් විකල්ප ධාරාවේ මාධ්‍යයත් එක්ක සම්බන්ධ වුණාට පසුව මම දරපු මතවාද, අදහස් ඔස්සේ ඒ දැක්ම වඩාත් ප්‍රකට වුණා. මේ ප්‍රශ්න ගැන වඩාත් සංවිධිතව කතාබහ කරන තැන්වලට මං සම්බන්ධ වුණා. ඒවාට දායක වුණා. මේ නිසා මා තුළ තිබූ ආකල්ප වඩාත් පෝෂණය වුණා කිව්වොත් නිවැරැදියි.

එදිනෙදා සිදුවන දේ වාර්තා කිරීමෙන් සෑහීමට පත්වෙන්න මට නොහැකි වුණා. මට ඕනෑ කළේ මිනිසුන්ට යහපත් රටක් හැදීම වෙනුවෙන් ඒ ඒ ක්ෂේත්‍රවල කළ හැකි කාර්යභාරයකට දායකවෙමින් වැඩ කරන්න සහ මගේ මාධ්‍ය භූමිකාව හැසිරවීමට. ඒ සඳහා ඉඩ තියෙන තැන්වල විතරයි මට සෑමවිටම වැඩ කරන්න පුළුවන් වුණේ. ඒ නිසා මං රැකියාවක් නැතිවත් සෑහෙන කාලයක් ගත කර තිබෙනවා. නිදහස් මාධ්‍යවේදිනියක ලෙස වැඩ කර තිබෙනවා. මේ කාලයේ වුණත් එහෙමයි.

ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය වගේ දේ ඇති කිරීමට අපි වැඩ කළා. මානව අයිතිවාසිකම්, කාන්තා අයිති රැකීමට පෙළගැසුණා. විකල්ප ධාරාවේ මාධ්‍ය කියන්නේ මේවාට යම් ඉඩක් ඇති තැනක්. එයින් පිටස්තරව, කියන දේ කරමින් රැකියාවක් ලෙසම මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන්න මට කවදාවත්ම බැරිවුණා. මං දරණ මතවාදත් සමඟ සමාජය වෙනුවෙන් වැඩ කළ හැකි තැනක පමණක් වැඩ කරන්නයි මට ඕනෑ කළේ. ඒ නිසා මට ගොඩක් වැඩ කරන්න පුළුවන් වුණේ විකල්ප ධාරාවත් සමඟයි.

ඔබ අතින් ලියැවී ඇති පොත පත ගැන අපි කතා කරමු?

මුල් කාලයේ මං ලියපු කවි නැතිවුණා. පසුකාලීනව පළවුණු මගේ පොත් මං වැඩ කළ සමාජ ජීවිතයේම පිළිබිඹුවක්. මගේ කවි පොත් 2ක්, ‘කතාකරන ගිනිදළු’ සහ “සත්ත කවියකට පෙරවදනක්” යනුවෙන් පළවුණා. රාමන් දෙමළ ගරිල්ලා භටයකුගේ කතාව කියලා පොතක් පළවුණා. තංගම්මා මැයෙන් සාමය සඳහා ළමා ගී එකතුවක් කළා. ‘බැරිබර ගෙනියන්නෝ’ කියලා මං ලියපු ගුවන් විදුලි නාට්‍ය බොහොමයක් අතරින් තෝරාගත් කිහිපයක් කෘතියක් ලෙස එළිදැක්වූවා. කොළඹ එද්දි රැගෙන ආ නාට්‍ය පිටපත් කිහිපයක් පමණයි මං ළඟ තිබුණේ. අනෙක් ඒවා වගේම මං ලියූ කවි කටු සටහන් පවා 1980 ගණන්වල භීෂණ සමයේදී මගෙන් අහන්නෙවත් නැතිව බිය නිසාම ගෙදරින් ගිනි තියලා තිබුණා. ඔය කාලේ මානව හිමිකම් රැකීම, ජනවාර්ගික අයිතිවාසිකම් රැකීම වගේ කාරණා ඔස්සේ කොළඹ සිට මං ‘සංකලන’ කියලා සඟරාවකුත් කරමින් සිටියේ. මේ වගේ වැඩ කටයුතුත් එක්ක අම්මලා මා ගැන බියවුණා. ඒ නිසා ඒ නිර්මාණ බොහොමයක් මට ඉතිරි වුණේ නෑ.

මං කළ සමීක්ෂණයක් ඇසුරින් ‘අදහස් ඝාතනයේ ගොදුර’ කියන කෘතිය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් එළිදැක්වූවා. ඒ වගේ සමීක්ෂණ ඇසුරින් කළ පොත් 2, 3ක් තියෙනවා. මීට අමතරව ජනවාර්ගික සහජීවනය ඇතිකිරීම අරමුණු කර සාහිත්‍ය හරහා පාලමක් ගොඩනැඟිය හැකිය යන විශ්වාසයෙන් වැඩ කළා. දෙමළ ජනයා තමන්ගේ ප්‍රශ්නය ගැන ලියූ කවි කෙටිකතා සොයාගෙන ඒවා පරිවර්තනය කළා. සංකලන සඟරාවේත්, යුක්තිය පුවත්පතේත් ඒවා පළ වුණා. මේ නිර්මාණ එකතු කර දෝංකාරය (යුද බිමෙන් උපන් කවි) හා යක්කු යනුවෙන් කෘති දෙකක් කළා.

සාහිත්‍ය පැත්තෙන් ගත්තොත් මගේ අත්දැකීම් නොයෙක් කාලවල, නොයෙක් දේශපාලන යුග පසුකර, ඒවාත් සමඟ සම්බන්ධව සිටිමින් ගොඩනැඟුණු ඒවා. මේ අත්දැකීම් නිර්මාණවලට පසුබිම් වුණා. වැඩ කළා මිසක තවත් ලියන්න තරම් මට කාලය ලැබිලා නෑ. ඒත් එළිදක්වන්න ලැබුණු කෘති කිහිපය වුණත් සමාජීය අවශ්‍යතා අනුවයි ඉදිරිපත් වුණේ. ඒ නිර්මාණ ඒ ඒ යුගවල සමාජ හරස්කඩක් කියලා කියන්න පුළුවන්.

ඒත්, මීට වඩා බොහෝ දේ මට කළ හැකිව සහ කළ යුතුව තිබුණා කියලා මං හිතනවා. යුක්තිය පුවත්පත ආරම්භයේ සිට අවසානය දක්වාම මං වැඩ කළා. ඒ කාලයේ අපි පත්තරය කරනවාට අමතරව පත්තරය මඟින් මෙහෙයවපු බොහෝ සමාජ ක්‍රියාකාරකම්වලට දායකවුණා. මං දරණ අරමුණු වෙනුවෙන් මට වැඩ කළ හැකි තැන්වල මං කොන්දේසි විරහිතව වැඩ කළා. මේ වැඩ ශෛලිය නිසා සාහිත්‍ය පැත්තෙන් මට කළ හැකිව තිබූ කාර්යභාරය යටපත් වුණා කියලා මට සිතෙනවා.

සමාජ ක්‍රියාකාරිනියක්, නිර්මාණකාරිනියක් හා මාධ්‍යවේදිනියක් හැටියට ඔබේ වසර 37ක මෙහෙවර මේ මොහොතේ ඇගයීමට ලක්වීම ඔබට කොහොමද දැනෙන්නේ?

විශේෂයෙන් සාහිත්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ මගේ යෙහෙළියන් දෙතුන් දෙනෙක් මැදිහත්වෙලා මා පිළිබඳ ඇගයීමක් ඊෙය්, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී කරන්න සංවිධාන කළා. මේ ගැන මගෙන් විමසුවාම මං කිව්වා කමක් නෑ කියලා. මේ සඳහා මාධ්‍ය ක්ෂේත්‍රයේ මා දන්නා අයගෙනුත් සහයෝගය ලැබුණා. මං වෙනුවෙන් ඔවුන් කවුරුත් මේ අන්දමින් සංවේදී වෙන්න ඇත්තෙ මගේ නිර්මාණ කටයුතු නොයෙක් සමාජ තලවල මං කළ , කරන වැඩකටයුතු වගේම, මං යම් අසනීප තත්ත්වයකිනුත් පෙළෙන නිසා විය යුතුයි. අපි කාගේත් ජීවිතය අවිනිශ්චිතයි තමයි. ඒත් මගේ ජීවිතය සිතුවාට වඩා කෙටි වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේවා ගැන නොසිතා මං තව දුරටත් වැඩ කරමින් ඉන්න නිසා, ඔවුන් සිතන්න ඇති මං ගැන කතා කිරීම වටිනවා කියලා. මට ඒක සතුටක්. මං ගැන සංවේදීවීම වෙනුවෙන් මං ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.

මේ කටයුත්ත සිදුවෙද්දි මගේ ගී පද රචනා ඇතුළත් කෘතියක් එළිදැක්වෙනවා. මේ සඳහා මුල්වුණු මගේ යෙහෙළියො ඒ වැඩේටත් මා දිරිගැන්වුවා. ඔවුන් මට කිව්වෙ කලින් තිත්ත කවියට පෙර වදනක් ලිව්වා වගේ මේ අමාරු කාලයේත් අත්දැකීම් ටික ලියන්න කියලා. ඒත් මං ඒක කළේ නෑ.

ඉස්සරනම් අසනීපයක් වුණාම අපට ගෙදරට වෙලා වැඩක් බලාගෙන ඉන්න සිදුවුණා. ඒත් දැන් සන්නිවේදනය ප්‍රබල නිසා, ජංගම දුරකථන, පරිගණක,අන්තර්ජාලය, පාවිච්චි කරන නිසා, අසනීපයෙන් සිටියදී වුණත් බොහෝ වැඩ කරන්න පුළුවන්. ඒ නිසා මේ වතාවෙ අසනීපයෙන් ගත කළ අමාරුම මාස කිහිපයේ පවා කම්පියුටරය භාවිත කරමින් වැඩ කරන්න මට සිදුවුණා. කෙසේ හෝ මේ යෙහෙළියන්ගේ බලකිරීමත් එක්ක 1979 සිට මං ලියූ, ඉතිරිවෙලා තිබුණු ගී පද රචනා හැකි තරමින් රැස් කළා. ගීත පනස් ගණනක් මෙහි ඇතුළත්. මේ ඇතැම් ගීත ඒ කාලයේ ප්‍රචාරය වුණු ඒවා. මේ ගී පද රචනා එකතුව “මල්වරුසා” මැයෙන් එළිදැක්වුණා. එය ගොඩගේ ප්‍රකාශනයක්.

ධම්මික සෙනෙවිරත්න – දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *