තාජුඩීන්ගේ ශරීර කොටස් ලොරියක පටවාගෙන ගිහින්

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ශරීර අවයව කොටස් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා තමා විශ්‍රාම ගැනීමට සති දෙකකට ප්‍රථම කිසිවෙකුගේ අනුමැතියකින් තොරව ලොරියක පටවා ගෙන ගිය බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා ඊයේ (05) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය හමු‍ෙව් පැවැසීය.

ජාතික රගර් ක්‍රීඩකයකු වන මොහොමඩ් තාජුඩීන්ගේ ශරීර කොටස් වන නඩු භාණ්ඩ මෙසේ අස්ථානගත කිරීමෙන් පොදු දේපළ පනතට ගැනෙන වරදක් හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා සිදුකර ඇති බවට අධිනීතිඥවරයා වැඩිදුරටත් පැවැසීය.

තවද දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කිරීමට මොහොතකට පෙර වසර තුනකට පසු තාජුඩීන්ගේ ඝාතනයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් වාර්තාව නිකුත් කළ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුර විමර්ශනයට අවශ්‍ය බව සඳහන් කර මෘත ශරීරයෙන් ඉවත් කළ කලවා හා පපු අස්ථි කොටස් අවසන් වාර්තාව දීමට වසරකට පෙර මෙලෙස අස්ථානගත කිරීමට මෙම ඝාතනයේ මුල් කුමන්ත්‍රණකරුවන් හා කුමන්ත්‍රණය කිරීමේ වරද සිදුකර ඇත්ද? යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වන බවට නීතිඥවරයා අධිකරණය හමුවේ පැවැසීය.

හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා තමා අත්අඩංගුවට ගතහොත් සුදුසු ඇපයක් නියම කරන ලෙස සඳහන් කරමින් අධිකරණය වෙත ඉල්ලුම් කළ අපේක්ෂිත ඇප අයදුම්පත්‍රය විභාගයට ගත් අවස්ථාවේදී රජයේ අධිනීතිඥවරයා මේ බව දැන්වීය.

ඇප අයදුම්පත්‍රය ගොනු කරමින් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ තාජුඩීන් ඝාතනයේ ස්ථිර මිනීමරුවන් පිළිබඳව තවමත් කරුණු අනාවරණය නොවූ බවත් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් මෙම ඇප ඉල්ලුම ඉදිරිපත් කරන බවය.

දැනට සිටින ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි හා තම ඉල්ලුම්කරු අතර වෘත්තීමය ප්‍රශ්න ඇති බවත් ආනන්ද සමරසේකර මහතා දැනට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පැවැසීය.

යම් යම් අවයව කොටස් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් සිය ඉල්ලුම්කරුට චෝදනා එල්ල වන බැවින් ඔහු සම්බන්ධයෙන් ඇප අයදුම සලකා බලන ලෙස ඉල්ලීම් කළේය.මෙහිදී රජයේ අධිනීතිඥ ඩිලාන් රත්නායක මහතා ඊට මූලිකව විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ඇප අයදීම සලකා බැලීමටද තමන් විරුද්ධ වන බව පැවැසීය. පොදු දේපළ පනතට අදාළ වන වරදකට ඉල්ලුම්කරු සම්බන්ධ වන බැවින් මෙම අධිකරණයේ අයදුම සලකා බැලිය නොහැකි බව පැවැසීය.

ජාතික රගර් ක්‍රීඩකයකුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමේදී පපු අස්ථිය හා කලවා කොටස් නඩු භාණ්ඩ වශයෙන් ආනන්ද සමරසේකර මහතා බාර ගත් බවත් නඩු භාණ්ඩ රජයට අයිති බැවින් එය අස්ථානගත කිරීම පොදු දේපළ පනතේ කළ වරදක් බවට සැලකෙනු ඇතැයි නීතිඥවරයා පැවැසීය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය තීන්දුව මේ මස 9 වන දින ප්‍රකාශයට පත්කිරීම සඳහා නඩුව යළි කැඳවීමට තීරණය කළාය.

 සිරන්ජනි කුමාරි – දිනමිණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *