විපක්ෂය මස් රාත්තලම ඉල්ලයි

 

 

පාර්ලිමේන්තුවේ ආංශික අධික්ෂණ කාරක සභා දාහතේම  සභාපතිධූර විපක්ෂයට ලබා දිය යුතු බවට සමගි ජන බලවේගය පක්ෂයේ   නායකයන් දිගින් දිගටම ඉල්ලා සිටීම නිසා  එම කාරක සභා පත් කිරීම සම්බන්ධයෙන්  කිසිඳු තීරණයක් නොමැතිව  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ  කටයුතු අද (11) අවසන් විය.

ආංශික අධීක්ෂණ කාරක සඳහා දාහතේම සභාපති ධූර ලබා නොදෙන්නේ නම්  සමගි ජන බලවේගය පක්ෂය  එම කමිටු වලට  දායකත්වය ලබා නොදෙන බව පක්ෂ නායකයෝ ඒ   කාරක සභාවේදී පැවසූහ.

එහිදී ආණ්ඩු පක්ෂයේ නායකයන් ප්‍රකාශ කර ඇත්තේ  කාරක සභා දාහතේම  සභාපති ධූර  සම සමව බෙදා ගත යුතු බවයි. එහෙත්  සමගි ජන බලවේගය පක්ෂය ඊට එකඟ වී නැත.

ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිධූර සම්බන්ධයෙන් විපක්ෂයේ මතය වෙනස් නොවීම නිසා එම කාරක සභා පත් කිරීම මේ අනුව දිනෙන් දිනම ප්‍රමාද වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ආංශික අධීක්ෂණ කාරක සභා හැකි ඉක්මනින් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට  පසුගියදා ලිඛිතව දැනුම් දුන්නේය.

ඒ අනුව ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු සංකිර්ණයේදී අද (11)  පෙරවරුවේ  රැස්විය.

මෙම රැස්වීමට  සභානායක සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන  සංවිධායක ප්‍රසන්න රණතුංග, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක  ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

Lankadeepa

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *