සළකුණට වහල් වී සමාජ ඉදිරි ගමනට හරස්වන්නා ප්‍රගතිශීලියෙක් වන්නේ කෙසේ ?

 

Karunarathna-Paranawithanaපසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පලවාහැරීමට එක් වූ ප්‍රගතිශිලී බලවේගය මේ මැතිවරණයේ දී තමන්ගේ ප්‍රගතිශිලී බව අත්නොහැර එක්සත් ජාතික පෙරමුණ වටා එක් වී සිටිති. එසේ එක් වී සිටින්නේ බරපතල දේශපාලන තීන්දුවක් ද සමගිනි. කිසියම් ඓතිහාසික ජාතික කර්තව්‍යයක් ඉටුකිරීමේ අධිෂ්ඨනයක් ද ඒ තුළ ඇත. ප්‍රගතිශිලී යනුවෙන් හඳුන්වන්නේ කිසියම් පාටකට මෙන්ම ලාංඡණයකට නොව එක්තරා දුරකට චර්යාවකට ය. හරිදේ වෙනුවෙන් පෙනී සිටීම, සමාජයේ ඉදිරි ගමන වෙනුවෙන් සටන් කිරීම සහ සමාජයේ ඉදිරි ගමනට එරෙහි බලවේගයන් පරාජය කිරීම එම චර්යාවට අයත් ය.
අද උදා වී තිබෙන්නේ එවැනි අවස්ථාවකි. 2015 ජනවාරියේ දී අපි මේ රටේ ඇතිකළ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය වෙනුවෙන් ඒක රාශි වූ සියලූම දෙනා අර ඒකාධිපතියාට එරෙහිව තම තමන්ගේ මට්ටමින් විශාල අරගලයක් කළ හ. එම අරගලය කරන විට මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය බලය, ධන බලය, මැර බලය, ජනමාධ්‍ය බලය, සහෝදර සමාගමේ බලය ද ඇතිව විශාල බලවතෙක් ලෙස සිටියේ ය. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ එතුමා සමග එක් වු අනිකුත් ප්‍රගතිශීලි බලවේග ඔහුට එරෙහිව සටන් කළේ කිසිදෙයක් අතේ නැතිව ය. එසේ කර අපි විශාල ජයග්‍රහණයක් ලබාගත්තෙමු. එපමණක් ද නොව යහපාලන ආණ්ඩුවක් ගොඩනැගීමට ද අප සමත් වූයෙමු.
ඒ ආණ්ඩුව පිහිටුවා වැඩිකල් යන්නට මත්තෙන් ජීවන බරින්, බදු බරින් සහ ණය බරින් මුදවා කිසියම් ප්‍රමාණයකට ජනතාවට සහන සළසා සලසන්නට අපිට හැකි විය.. එමෙන්ම වසර 20-30 පුරාවට සටන්කර මේ ඒකාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කරන්නට යම් යම් පියවරයන් ගත්තේ ය. එමෙන්ම මේ රටේ විශාල නිදහසක් අත්දකින්නට ද අපිට හැකිවිය. පසුගිය ජනවාරි මාසයේ තිබුණ මැතිවරණය සමග සංසන්දනය කළ විට යහපාලනයේ වෙනස පෙනෙන්නට තිබේ. ජනවාරි 8ට පෙර තිබූ මැතිවරණ දෙස බලන විට මේ රටේ සෑම පලාතකම ඩිපෙන්ඩර් පෝලිමක් දැකගතහැකි විය. මැරයෝ තම අපේක්ෂකයාගේ උවමනාව අනුව පමණක් නොව තම උ?වමනාවන්ට අනුව ද හිතුමතේ ක්‍රියා කළ හ. රාජපක්ෂ මහතාගේ රුව රැගත් විශාල කටවුට් කන්දරාවක් සෑම ලයිට් කණුවකම වාගේ එල්ලා තිබුණි. එපමණක් ද නොව හොර සල්ලි, මැර සල්ලි, පාතාල සල්ලි මුළු රටේ ම ඇතිරුවේ ය. මහා දුෂණයක් මෙන්ම මහා ජරා රටක් අපගේ ඇස් පනාපිට දිස් විය. නමුත් අද විශාල සාමකාමී තත්ත්වයක් ඇති වී තිබේ. මැතිවරණයක් තිබෙනවා ද, නැත් ද යන්න පෙනෙන්නට නැත. අප යායුතු ගමන වන්නේ මෙයයි. රටක් ප්‍රජාතන්ත්‍රවාදය දෙසට හැරෙන විට අප බලාපොරොත්තු වන්නේ එවැනි ගුණාත්මක වෙනසකි. රාජපක්ෂ බලයේ පිහිටුවා කවරදාකවත් මේවගේ මැතිවරණ සංස්කෘතියක් නිර්මාණය කළ නොහැක. ඔහු බලයේ සිටියා නම් ඒ මහා තිරස්චීන කොල්ලය මේ වනවිට ද ආරම්භ වී අවසාන ය. රාජ්‍ය දේපොල අවභාවිතයේ යොදවා, මැරයින් යොදවා, කසිප්පු කාරයෝ යොදවා මේ සමාජයේ හෘදසාක්ෂිය විනාශකරන තත්ත්වයට රට රාජපක්ෂ විසින් අද දැමෙනු ඇත. ඒ තත්ත්වය අපි වෙනස් කළෙමු.
නමුත් අප කළ ඒ වෙනස මාස පහක් හයක් ගතවන විට නැවත වතාවක් ඒ බලවේගය ශ්‍රීලනිපය අල්ලාගෙන ජනාධිපති මෛත්‍රිපාල මහතා බිත්තියට හේත්තු කර ප්‍රතිවිප්ලවයක් සංවිධානය කරමින් සිටින බව අපිට පෙනුණි. ඒ නිසා අපි විවිධ විකල්ප සොයා බැලූවෙමු. අවසාන වශයෙන් අපිට ප්‍රායෝගිකව කරන්නට ඉතුරු වී තිබුණේ මේ දුෂ්ට බලවේගයට මුහුණට මුහුණ ලා එය පරාජය කරන මැතිවරණ පෙරමුණක් සංවිධානය කිරීම පමණි. ඒ හැර අපිට වෙනත් විකල්පයක් තිබුණේ නැත.
ප්‍රතිවිප්ලවීය බලවේග ඉදිරියට පැමිණියේ ප්‍රජාතන්ත්‍රිය විප්ලවය ජයග්‍රහණය කරවීම සඳහා අපි වගකීම් භාරගෙන කටයුතුවල නිරත වී සිටින අතරතුර ය. අපි මේ පෙරමුණ වහවහා සංවිධානය කළෙමු. මෙහිදි එම දුෂ්ට බලවේගය පූර්ණ වශයෙන් පරාජය කිරීමට මේ මැතිවරණය වේදිකාවක් බවට පත්කර ගතයුතු ය. මේක මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කරන පුද්ගලික සටනක් නොවේ. රාජපක්ෂ කියන පංචස්කන්ධය සමග අපේ කිසිම තරහක් නැත. රාජපක්ෂ නියෝජනය කරන සංස්කෘතියක් තිබේ. වැඩපිළිවෙලක් මෙන්ම නරක දේශපාලන චර්යාවක් ද තිබේ. එහි සහමුලින්ම ගැබ් වී තිබෙන්නේ දූෂණය. ජාතිවාදය, වර්ගවාදය, ජාතික ධනය මංකොල්ල කෑම හා කාබාසිනියා කිරීම ය. මේකත් සමග රටකට පෙරට යා නොහැක.
රාජපක්ෂ යනු කිසියම් ක්‍රියා සහ චර්යා කට්ටලයකි. මෙය තනි පද්ගලයෙකු නොවේ. රාජපක්ෂ එනවිට පවුල්වාදය පැමිණේ. රාජපක්ෂ එනවිට කොල්ලකෑම පැමිණේ. රාජපක්ෂ එනවිට රටට කාබාසිනියාව ද පැමිණේ. රාජපක්ෂ එනවිට සිංහළ දෙමළ මුස්ලිම් මිනිසුන් අතර වර්ගවාදය ද පැමිණේ. රාජපක්ස එනවිට ජාත්‍යාන්තර අපකිර්තිය ද ඒ සමග ම පැමිණේ. රාජපක්ෂ එන විට රාජ්‍ය දේපොල විනාශ කිරිමේ පුරුද්ද ද පැමිණේ. රාජපක්ෂ එනවිට කුඩුකාරයෝ මිනීමරුවෝ මංකොල්ලකාරයෝ රොත්තම ඔහු කැටුව පැමිණෙති. මහින්ද රාජපක්ෂවාදය කියන්නේ එම බලවේගයට ය. එසේ නැතිව අර සාඨකයක් දමාගෙන සුදුරෙද්දක් ඇඳගෙන ආ මල්ලී කියා බඩට ඇගිල්ලෙන් ඇන ඉච්චාවට හිනාවෙන පුද්ගලයාට නොවේ. ඉදිරියට එන්නේ මා පෙර සඳහන් කළ අර සමස්ථ බලවේගය ය. ඒ බලවේගයෙන් රට සදහටම ගලවාගත යුතු ය. ඒ බලවේගය නැවත බලයට පැමිණියහොත් මේ රට මහා කාළකණ්නි තත්ත්වයකට ඇද වැටේ. එක රාජපක්ෂ කෙනෙක් මැදමූලනින් ඒ සංස්කෘතිය ගොඩනගන විට එය රට පුරාම බෝවෙනනට පටන් ගනී. රාජපක්ෂ මැතිතුමා තමන්ගේ දූ දරුවන්ට සහ ඥාතීන්ට ආණ්ඩුවේ තනතුරු , කැබිනට් මණ්ඩලයේ තනතුරු, පලාත් සභාවල කටයුතු, දේවාල වල නිලමේකම් තමන්ගේ අයට නීති විරෝධිව දෙනවිට, ගෝලබාලයෝ ද තම ප්‍රදේශවල ඒවාම ක්‍රියාවට නගති. රටපුරාම පවුල්වාදය, මැරබලය, රාජ්‍ය බලය අවභාවිතා කිරීම සහ සම්පත් කොල්ලය අපේ ප්‍රදේශ වලට ද පැමිණේ. මේ මොහොතේ ප්‍රගතිශිලී යනුවෙන් හඳන්වන්නේ ඒවායින් රට ගලවා ගැනීමට ය. 8 වෙනිදා ඇතිකල ජයග්‍රහණය ආරක්ෂාකර ගැනීමේ වගකීමක් මේ නිසා අපිට තිබේ. ඒ වෙනුවෙන් අපි නිර්භිතව සටන් කරන්නට අධිෂ්ඨනය කලෙමු. අප සිටින්නේ ඒ සටනේ ය. රාජපක්ෂ පරාජය කිරීම, රාජපක්ෂ සංස්කෘතිය පරාජය කිරීම මේ සටනේ එක් කොටසක් පමණි. අපි හදන්නේ නව පාර්ලිමේන්තුවකි. ඒ පාර්ලිමේන්තු මගින් රට ඉදිරියට මෙහෙය වෙන්නේ කෙසේද යන්න අදහසක්, ප්‍රතිපත්තියක් සහ ඉදිරි දර්ශනයක් අපිට තිබිය යුතු ය. එය මේ වන විට එළිදක්වා තිබේ. මේ රට විශාල ණය බරකට යටකර කඩා වට්ටවමින් තිබූ ආර්ථිකය ගොඩනගා ගැනීම එයින් ප්‍රධානය. මේ රටේ මහාපරිමාණ පැවති මහාජාවාරම් ඉවත්කර යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වගකීම අපිට පැවරී තිබේ. මහජනයාගේ සෑම රුපියලක්ම වැඩදායි ලෙස මහජනයාට නැවත ලබාදෙන සංවර්ධන ක්‍රමයකට නැවත අප යා යුතු ය. අපි මේ ඒකාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඊ ළග මැති සබයේ දී වෙනස් කර ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යවස්ථාවක් නිර්මාණය කර මේ රටේ තිබෙන දේශපාලන දුරාචාරය, සමාජදුරාචාරය, ආර්ථික දුරාචාරය, සංස්කෘතික දුරාචාරය සහ පාරසරික දුරාචාරය අවසන්කර ආචාරධර්ම මත පදනම් වූ දේශපාලනයක් ස්ථාපිත කිරීමේ වගකීමක් මෙරට ජනතාවට පැවරී තිබේ.
සාකච්ඡාවක් ඇසුරින්- මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *