මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඝාතනයට මරාගෙන මැරෙන බෝම්බ කරුවා රැගෙන ආ හිටපු නියෝජ්‍ය පොලිස්පතියා රටින් පැනීමට යයි..!

මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු ලවා ඝාතනය කළ මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 27 දෙනෙකුගේ ඝාතනයන්ට ඍජුවම වගකිව යුතු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී. පතිරණ රටින් පැන යෑමට සැලසුම් කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

ඔහු පැන යෑමට සැලසුම් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවට ය.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙකු වූ අනුර සේනානායක තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු ජානක පෙරේරා ඝාතනය සම්බන්ධයෙන් තමාවද නිසැක වශයෙන්ම කොටුවන බව දැනගත් හිටපු ජ්‍යෙ.නි.පොලිස්පති කේ.පී.පී. පතිරණ ගෝඨාභය හමුවී උපදෙස් ලබා ගෙන තිබේ. එහිදී ගෝඨාභය පවසා ඇත්තේ කෙසේ හෝ රටින් පිටවන ලෙසය. ඒ අනුව ඔහු ඕස්ට්‍රේලියාවට පැන යෑමට රහසිගතවම ක්‍රියාත්මක වන බව අපගේ අභ්‍යන්තර තොරතුරු කරුවන්ට හසුවී තිබේ. කෙහෙලිය රඹුක්වැල්ල ඔහුට උදව් කරන බවද වාර්තා වී තිබේ.

ජානක පෙරේරා ඝාතනයට මාරයා ගෙන ආ නියෝජ්‍ය පොලිස්පති

ලංකා ඊ නිව්ස් මීට වසර කිහිපයකට පෙර ද හෙළිදරව් කර ඇති අන්දමට 2008 ඔක්තෝම්බර් 06 වෙනිදා ජෙනරාල් ජානක පෙරේරාගේ ඝාතනයට එවකට අනුරාධපුරය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ කේ.පී.පී. පතිරණ ගේ සම්බන්ධය මෙසේය.  

එවකට හමුදා සේවයෙන් විශ්‍රාම ගෙන සිටි මේජර් ජෙනරාල් ජානක පෙරේරා තානාපති ධූරයන්ද දරා ලංකාවට පැමිණ එක්සත් ජාතික පක්ෂයෙන් උතුරු මැද පළාත් සභාවට තරඟ කෙළේය. එය ඡන්ද සටනක් නොව රාජපක්ෂලාගේ රාජ්‍ය ත්‍රස්තවාදය ඍජුවම එළිපිටම ක්‍රියාත්මක වූ යුද්දයක් විය. අනුරාධපුර එජාප දිස්ත්‍රික් කළමනාකරුවා වූ දොස්තර ජෝන් පුල්ලේ මහතාට මහ දවාලේ පොලිසිය බලා සිටියදී පහර දී ඔහුගේ නිවසට ගිනි තැබුවේද එම මැතිවරණයේදී ය අවසානයේ එජාපය පැරදුනු අතර ජානක පෙරේරා පළාත් සභාවේ විපක්ෂ නායක විය.

පසුව ඒ අවසනාවන්ත දිනය වූ 2008 ඔක්තෝම්බර් 06 වෙනිදා ජානක පෙරේරා එජාප පාක්ෂික හමුවක් කැඳවා තිබිණ. ඊට පෙර කී ජෝන් පුල්ලේ ද සහභාගී වූ අතර පිරිස 200 ක් පමණ වූහ. එය යුද කාලය වූ බැවින් යුද හමුදාවේ සිටි කීර්තිමත් ජෙනරාල් වරයෙකු වූ ජානක පෙරේරා ඊට නිසි ආරක්ෂාව සපයා තිබිණ. ඔහු සකස් කර තිබූ ආරක්ෂක වළල්ල බිඳ ඇතුලට ඒමට පිටස්තර කිසිවෙකුට නොහැකි විය.

මෙදින ජෙනරාල් ජානකව ඝාතනයට සැලසුම් කර සිටි ගෝඨාභය ඊට පෙරදා කරුණාගේ කණ්ඩායමේ සිටි මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු කේ.පී.පී.පතිරණ වෙත එවන ලදී. ගෝඨාභය විසින්ම ඍජුවම පතිරණ අමතා කියා සිටියේ ජානක පෙරේරාගේ ආරක්ෂක වළල්ල තුලට තමන් එවන පුද්ගලයා යවන ලෙසය. සත්‍ය වශයෙන්ම ජානක පෙරේරාගේ ආරක්ෂක වළල්ල බිඳිය හැකිව තිබුනේ ත්‍රස්තවාදීන්ට නොව ආරක්ෂක අංශයකටම පමණි.

පෙරදා රාත්‍රියේ කරුණාගේ මරාගෙන මැරෙන බෝම්බ කරුවා කේ.පී.පී. පතිරණ වෙත එවන ලදී. ඔහු ආවේ කොළඹ සිට යැයිද, ත්‍රිකුණාමලයේ සිට යැයිද පරස්පර වාර්තා දෙකක් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය හමුවේ ඇතත් ඔහු 2008 ඔක්තෝම්බර 5 වෙනිදා රාත්‍රී සිටියේ පතිරණ භාරයේ බව ස්ථිරය.

පසුදා ඔක්තෝම්බර 6 වෙනිදා පතිරණ විසින් මරාගෙන මැරෙන බෝම්බඅකරුවා ප්‍රභූ ආරක්ෂක අංශයේ අයෙකු සේ වෙස් ගැන්වූ අතර  තම නිල රථයේ පසුපස අසුනේ තබා ගනිමින් ජානක පෙරේරාගේ ආරක්ෂක වළල්ල තුලට රැගෙන ආවේ ය. ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ රථය පරීක්ෂා කිරීමට තරම් වුවමනාවක් හෝ හයියක් හෝ සැකයක් හෝ ජානක පෙරේරාගේ ආරක්ෂකයන්ට නොවීම අවාසනාවක් විය.

ඉන්පසු සිදුවූ දේ මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. ජෙනරාල් ජානක පෙරේරාගේ බිරිඳ කතා කර අහවර වී ජානක පෙරේරා කතා කිරීම ආරම්භ කරනවාත් සමග මරාගෙන මැරෙන බෝම්බ කරුවා පිරිස අතරින් ඉදිරියට පැමිණ සිය කමිසය තුලට අත යවා මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත්තේය. ඉන් ජානක පෙරේරා සහ බිරිඳ ද දොස්තර ජෝන් පුල්ලේ සහ බිරිඳ ද ඇතුළු 27 දෙනෙකු මිය ගිය අතර 90 ක් තුවාල ලැබූහ. එම ප්‍රහාරය සම්බන්ධයෙන් එදින කේ.පී.පී. පතිරණ ජනමාධ්‍යයට කරන ලද ප්‍රකාශය අද වුවද ඇසිය හැකි අතර එහිදී ඔහු කෙතරම් ගොත ගසන්නේ දැයි යන්න නිරීක්ෂණය කිරීමෙන්ම තමන්ගේ වරදකාරී භාවය වසා ගැනීමට මේ ඝාතක සහායකයා කෙතරම් උත්සාහ කෙළේද යන්න තේරුම් ගත හැකිය.

ගාස්තුව කෝටි 2 යි..

ඝාතනයෙන් පසුව ගෝඨාභය විසින් කේ.පී.පී.පතිරණට රුපියල් කෝටි 2 ක මුදලක් සංතෝෂම් වශයෙන් ප්‍රදානය කර තිබේ. එම මුදලින් ඔහු මාතලේ ප්‍රදේශයේ සුපිරි බංගලාවක් ද සහිත අක්කර 4 හමාරක සරුසාර තේ වත්තක් මිලදී ගෙන ඇත. ( මොහුගේ වත්කම් පරීක්ෂා කිරීමෙන් රාජ්‍ය නිලධාරියෙක් වූ පතිරණ කෝටි 2 කට අධික තේ වත්තක් මිලදී ගත්තේ කෙසේද යන්න සොයා ගත හැකිය) මීට අමතරව කේ.පී.පී. පතිරණ විශ්‍රාම යෑමෙන් පසුව ගෝඨාභයගේ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකයෙකු වශයෙන් අධික වැටුපකට පත් කර ගත් අතර රෙජීමයේ පක්කලි වැඩ සඳහා යොදා ගත්තේය. ජනවාරි 8 ජනාධිපතිවරණයේදී මැතිවරණ දූෂණ භාරව සිටි ප්‍රධාන පුද්ගලයෙක් වූයේ ද කේ.පී.පී.පතිරණය. ( ඒ පිලිබඳව ලැයිස්තු පිටින් ලංකා ඊ නිව්ස් එවකදී හෙළිදරව් කෙළේය) ඒවාටද රාජපක්ෂලා විසින් ඉහළ ගෙවීම් කර තිබේ. එම මුදල් වලින් ඔහු කොල්ලුපිටිය ප්‍රදේශයේ මුහුදට මුහුණ ලා සුපිරි අපාර්ට්මන්ට් එකක් මිලදී ගෙන ඇති අතර මහරගම ප්‍රදේශයේ හෝටලයක් ද මිලදී ගෙන තිබේ.

කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම නව ආණ්ඩුව විසින් අත් නොහරින බව දැනගත් කේ.පී.පී. පතිරණ අවධියෙන් සිටි අතර අනුර සේනානායක අත් අඩංගුවට පත්වීමෙන් පසුව තිගැස්සී ගියේ ය. ඉන්පසුව රට පැනීමේ සැලසුම ක්‍රියාත්මක කරමින් සිටී.

අවසාන වශයෙන් හෙළිදරව් කළ යුත්තේ එදින මරාගෙන මැරෙන බෝම්බ කරුවා කේ.පී.පී පතිරණගේ වාහනයෙන් ප්‍රවාහනය කළ බව දන්නා අනෙක් එකම පුද්ගලයා වන එම රථයේ රියැදුරා (පොලිස් රියැදුරා) මේ වන විට අතුරුදහන්ව සිටීමයි. ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඝාතනයට අදාල මරාගෙන මැරෙන බෝම්බ කරුවා ප්‍රවාහනය කළ පීඑස්ඩීයේ සෙබලුන් දෙදෙනා එදිනම රිය අනතුරකට ලක් කරවා ඝාතනය කෙරෙව්වා සේ පෙර කී රියැදුරා ඝාතනය කළාද යන්න ගැන වෙනම පරීක්ෂණයක් කළ යුතුය. 

කේ.පී.පී.පතිරණයාට රට පැනීමට ඉඩ නොදෙන ලෙසත් ඔහු අත් අඩංගුවට ගෙන සැබෑ ඝාතකයන් හෙලිකරගන්නා ලෙසත් ජානක පෙරේරා සහ ජෝන් පුල්ලේ යන විශිෂ්ඨ මිනිසුන් දෙදෙනාගේ සහ ඔවුන් සමග මිය ගිය 27 දෙනාගේ ආත්මයන් විසින් අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනු ඇත.

lankaenews-විශේෂ වාර්තාකරුවෙකු විසිනි-

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *