|

උද්ඝෝෂණ කරන අය තමන්ගේ වගකීම දන්නේ නෑ – මහාචාර් ය  වසන්ත අතුකෝරාළ

 

  • ර්අබුදයෙන් ගොඩ එන්න අවබෝධයෙන් වැඩ කරන්න
  • එකඟතාවකට පැමිණීමට ආණ්ඩුව වගේම විපක්ෂයත් නම්‍යශීලි වීම වැදගත්
  • රට තුළ මූල්‍ය විගණනය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි
  • අලුත් ආණ්ඩුවක් පත්වුණා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ

 

දිගින් දිගටම ඉහළ යමින් පැවැති උද්ධමනය, පසුගිය ඔක්තෝබර් මාසයේදී යම් ප්‍රමාණයකින් පහත බැස තිබේ. ඒ අතරතුර විපක්ෂයේ කණ්ඩායම් ආණ්ඩුවට එරෙහිව විරෝධතා දියක් කිරීමට සැලසුම් සකස් කරමින් සිටී. මේ සියලු කාරණා රටේ ඉදිරි ආර්ථික ගමනට බලපාන්නේ කෙසේ ද? යන්න සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහ­ාචාර්ය, වසන්ත අතුකෝරාළ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

l පසුගිය කාලය පුරාම රටේ උද්ධමනය ඉහළ යන ස්වරූපයක් අප දැක්කා. ඒත්, පසුගිය ඔක්තෝබර් මාසයේදී උද්ධමනයේ යම් ආකාරයක පහත වැටීමක් සිදුව තිබෙනවා. මෙය එක්තරා අන්දමකින් සුබවාදී ලක්ෂණයක් නේද?

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2022 දෙවැනි කාර්තුව වන විට ඍණ 8.4ක් ලෙස වාර්තා වුණා. පළමු කාර්තුවේදී ඍණ 1.6ක පමණ වර්ධන වේගයක් තමයි පෙන්නුම් කළේ. මේ වසරේ අදාළ කාර්තු දෙකම සලකා බලන විට, සමස්ත ආර්ථික වර්ධන වේගය ඍණ 4.2ක් පමණ ප්‍රමාණයකින් සටහන් වෙන්නේ. මේ වන විට කෘෂිකාර්මික, කාර්මික, සේවා අංශය යන අංශ තුනේම පසුබෑමක් වාර්තා වෙනවා. ඒ මත ජනවාරි සිට සැප්තැම්බර් දක්වා රටේ උද්ධමනයේ ඉතා වේගවත් ඉහළ යෑමක් පෙන්නුම් කළා. ඒත්, ඔක්තෝබර් මාසයේදී එය යම් ප්‍රමාණයකට පහත ගියා. රටේ ඉහළ පොලී අනුපාතිකයක් ක්‍රියාත්මක වෙනවා. ස්ථාවර තැන්පතු සඳහා 20% ඉක්මවූ පොලී අනුපාතයක් පවතිනවා. ණය ගැනීම් සඳහා 25%කට ආසන්න පොලී අනුපාතයක් ක්‍රියාත්මකයි. මේ නිසාම මූල්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි අවිනිශ්චිතතාවක් නිර්මාණය වී තිබෙනවා. රටේ ප්‍රධාන බලපත්‍ර ලාභි වාණිජ බැංකුවල ශාඛා ප්‍රමාණය පළමු කාර්තු දෙක තුළ ශාඛා 90කින් පමණ පහත වැටී තිබෙනවා. එමෙන්ම ඔවුන්ගේ සමස්ත ලාභය අදාළ කාර්තු දෙක තුළ විශාල ලෙස පහත වැටිලා. අපේ රටේ බලපත්‍ර ලාභි විශේෂිත බැංකු දෙක සැලකීමේදී, ඔවුන්ගේ සමස්ත ලාභය රුපියල් බිලියන 68 සිට 60 දක්වා පහත වැටී තිබෙනවා. කෙසේ වුවත් කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝම්බර් මාසයේදී උද්ධමනය යම් ප්‍රමාණයකට අඩුව තිබෙන බව පැහැදිලියි. මිල පහළ යෑම 3.8%ක් වගේ පුංචි අගයකින් තමයි සිදුව තිබෙන්නේ. ඉහළ යමින් පැවැති මිල ගණන්වල යම් ආකාරයක හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස මෙය සැලකිය හැකියි. ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ආහාර නොවන ද්‍රව්‍ය මිල ගණන්වලට සාපේක්ෂව වැඩි අගයකින් පහත බැස තිබීමෙන් සාමාන්‍ය ජනතාවට යම් සහනයක් ලැබීම යහපත් ලක්ෂණයක්.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝම්බර් මාසයේදී උද්ධමනය යම් ප්‍රමාණයකට අඩුව තිබෙන බව පැහැදිලියි. මිල පහළ යෑම 3.8%ක් වගේ පුංචි අගයකින් තමයි සිදුව තිබෙන්නේ. ඉහළ යමින් පැවැති මිල ගණන්වල යම් ආකාරයක හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස මෙය සැලකිය හැකියි. ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ආහාර නොවන ද්‍රව්‍ය මිල ගණන්වලට සාපේක්ෂව වැඩි අගයකින් පහත බැස තිබීමෙන් සාමාන්‍ය ජනතාවට යම් සහනයක් ලැබීම යහපත් ලක්ෂණයක්.

l රටේ ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ජනනය කර ගනිමින් රට සතු විදේශ සංචිත ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා කටයුතු කිරිම වැදගත් නේද?

ආනයන පාලනය කිරීමට රජය විශාල ලෙස කටයුතු කළ බව අප දන්නවා. වරින් වර විවිධ භාණ්ඩ ලැයිස්තු ප්‍රකාශයට පත් කරමින්, ඒවා අතුරින් ආනයනයට තහංචි පැනවූ ලැයිස්තු එළිදක්වන අයුරු අප දැක්කා. එහෙත්, 2021 මුල් මාස අට හා සැසඳීමේදී 2022 මුල් මාස අට තුළ අපට ආනයන සඳහා දැරීමට සිදුවූ වියදම් අඩු කර ගැනීමට හැකි වී තිබෙන්නේ අමෙරිකන් ඩොලර් මිලියන 600ක වගේ ප්‍රමාණයකින් පමණයි. මේ කාල සීමාව තුළ අපේ අපනයන ආදායම අමෙරිකන් ඩොලර් බිලියන එකකින් පමණ ඉහළ ගිහින් තිබීම හොඳ තත්ත්වයක්. මේ කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ලැබී තිබෙන ආදායම අමෙරිකන් ඩොලර් මිලියන 892ක් පමණ වෙනවා. එය ක්‍රමයෙන් පහළ යන තත්ත්වයක් පෙන්නුම් කරනවා. මේ වසරේ මාර්තු මාසය තුළ සංචාරක ව්‍යාපාරය මඟින් අමෙරිකන් ඩොලර් මිලියන 191ක් ලැබුණා. අගෝස්තු වන විට එය මිලියන 68ක් දක්වා පහත වැටී තිබෙනවා. විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ගැනත් අපට එතරම් සෑහීමකට පත් වෙන්න පුළුවන්කමක් නැහැ. මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේදී විදේශ ප්‍රේෂණ ලෙස ලැබී තිබෙන මුළු මුදල් ප්‍රමාණය අමෙරිකන් ඩොලර් බිලියන 2.2ක් පමණ වෙනවා. එහෙත් 2020ට අදාළ එම මාස අටක කාලය තුළ විදේශ ප්‍රේෂණ ලෙස අපට බිලියන 4.3ක් වැනි මුදලක් ලැබී තිබුණා. ගෙවුම් ශේෂ ලේඛනයේ භාණ්ඩ ගිණුමේ පමණක් නොව, ප්‍රාථමික ආදායම් ගිණුමෙත් අමෙරිකන් ඩොලර් බිලියන 1.1ක පමණ හිඟයක් මේ මාස අට තුළ වාර්තා වෙනවා. මේ අනුව අපට පැහැදිලි වෙන්නේ, වර්ෂ අවසානය වන විට ගෙවුම් ශේෂ ලේඛනයේ අතිරික්තයක් ජනනය කර ගැනීමට අප අපොහොසත් වන බවයි. ගෙවුම් ශේෂ ලේඛනයේ වර්තන හා ප්‍රාග්ධන ගිණුමේ අතිරික්තයක් ජනනය කර ගැනීමට අප අපොහොසත් වුණොත්, රට සතු විදේශ සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට එය විශාල බාධාවක්. අන්තර්ජාතික වශයෙන් රට ශක්තිමත් කර ගැනීමට නම්, ගෙවුම් ශේෂ ලේඛනය අදාළ රටට වාසි වන ආකාරයට හැසිරවීම අවශ්‍යයයි. ඒ මඟින් අතිරික්තයක් ජනනය කර ගනිමින්, ඒ අතිරික්තය මධ්‍යම බැංකුව සතු සංචිතයක් ලෙස පවත්වා ගෙන යෑම වැදගත්. ඒත්, එවැනි තත්ත්වයක් මේ වන විට අපට දැක ගැනීමට හැකියාව ලැබනේනේ නැහැ.

l රට තුළ පවත්නා උද්ධමනකාරී තත්ත්වය පලානය කර පොලී අනුපාතිකය පහත හෙළීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යය කාරණයක් නේද?

රජයේ මුදල් සැපයුම ක්‍රමක්‍රමයෙන් ඉහළ යෑම සහ විනිමය අනුපාතිකය දිගින් දිගටම පිරිහීම කියන කාරණා මත ලංකාවේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් විශාල ලෙස ඉහළ යෑමක් දකින්න ලැබුණා. එහෙත් එය අඩුවන විට පිරිවැයෙන් තල්ලු වූ උද්ධමනයක් ලෙස රට පුරා ක්‍රියාත්මක වුණා. 2022 ඔක්තෝබර් වන විට උද්ධමනය ඉතා සුළු ප්‍රමාණයකින් පහත වැටුණා. නමුත් රට තුළ පවත්නා ඉහළ පොලී අනුපාතිකය පහතට ගෙන එ්ම සඳහා එය ප්‍රමාණවත් වේ යැයි සිතන්න බැහැ. මෙම වසරේ ඉදිරි මාස දෙක තුළ රටේ උද්ධමනය තවදුරටත් පහළ යෑමේ ඉඩක් තිබෙන බවට විශ්වාසය තැබිය හැකියි. එහෙත් එය විශාල ලෙස පහත වැටෙනු ඇතැයි සිතන්න බැහැ. ඒ අනුව පොලී අනුපාතිකය ද පහළ යා හැකි යැයි සිතිය නොහැකියි. රටේ උද්ධමනය විශාල ලෙස පහතට ගේන්න නම් රාජ්‍ය වියදම් පහත හෙළිය යුතුයි. රාජ්‍ය වියදම් පහතට ගෙනඒම තුළ අයවැය හිඟය යම් ආකාරයකින් අඩුකර ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම රජයේ ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන වක්‍ර බදුද ඒ තුළින් යම් ආකාරයකට අඩුකර ගැනීමට හැකියාව ලැබෙනවා. වක්‍ර බදු පහත හෙළීම මගින් භාණ්ඩ හා සේවාවල මිල ගණන් පහළ යෑමට හැකියාව ලැබෙනවා. එය රටේ විශාල පිරිසකට සහනයක් වෙනවා. විශේෂයෙන් භාණ්ඩ හා සේවාවල මිල ගණන් පහතට වැටීම මගින් අඩු ආදායම්ලාභි පවුල්වලට විශාල සහනයක් ලැබෙනවා.

l මේ ආර්ථික අර්බුදය හමුවේ රටේ දේශීය නිෂ්පාදන ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් නේද?

කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදන ඉහළ නංවා ගැනීමට විශාල කාලයක් ගත වෙන්නේ නැහැ. රට තුළ නිවැරැදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ නම්, මාස තුනක් හෝ හතරක් හෝ ඇතුළත කෘෂි නිෂ්පාදන ඉහළ නංවා ගැනීමේ හැකියාව අපට තිබෙනවා. මේ වන විටත් ශ්‍රී ලංකාවේ සෑම පවුලක් වෙනුවෙන්ම පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා දිනකට රුපියල් 424ක මුදලක් වැය කරනවා. රට තුළ කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැන්වීම මඟින්, ආහාර සුරක්ෂිතතාව ඉහළ නංවා ගැනීමට අවස්ථාව ලැබෙනවා වගේම, ආනයන වියදම් අඩු කර ගැනීමටත්, අපනයන ආදායම ඉහළ නංවා ගැනීමටත් ඉන් අවකාශ සැලසෙනවා. ඒ වගේම, මේ වන විට අපගේ දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නංවා ගන්නේ නම්, රටේ සෑම පවුලක් වෙනුවෙන්ම මේ වන විට දිනකට දරන ආනයන වියදම රුපියල් 424ක මුදල යම් ආකාරයකට පහතට ගෙන ඒමට පුළුවන්. වගා නොකළ ඉඩම්, වගා සඳහා යොදා ගන්න ඕනෑ. දේශීය අමුද්‍රව්‍ය මත පදනම් වූ කර්මාන්ත රට තුළ ස්ථාපිත කිරීමටත්, සංචාරකයන් විශාල ලෙස ආකර්ෂණය කරගත හැකි සේවා අංශ පුළුල් කිරීමටත් රජය පියවර ගැනීම වැදගත්. ත්‍රිකුණාමලය, මඩකළපුව වැනි මුහුද ආශ්‍රිත ප්‍රදේශවල දිවා – රාත්‍රී වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ අර්බුදයෙන් ගොඩ එන්න නම්, අප නිර්මාණශීලී ප්‍රවේශයන් වෙත එළැඹිය යුතුයි. අලුතින් මුදල් වැය නොකර, පවතින පහසුකම්වලින් ප්‍රයෝජන ගැනීම වැදගත්. අපේ රටේ බොහොමයක් ආර්ථික ප්‍රතිසංස්කරණවලදී මූලිකත්වය ලබා දෙන්නේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලටයි. එය අනෙකුත් ප්‍රදේශවලට ගෙන යෑම වැදගත්.

l අපගේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක ප්‍රජාව තුළ පවතින විශ්වාසය අඩු වීමත් විශාල ගැටලුවක් නේද?

ආර්ථිකයක කාර්ය සාධනය අගයන බොහෝ අන්තර්ජාතික දර්ශකවල අප සිටින්නේ ඉතාමත්ම දුර්වල මට්ටමකයි. ව්‍යාපාර කරගෙන යෑමේ පහසු බවේ දර්ශකය තුළ 2021 වන විට අප සිටියේ ලෝකයේ 116 වැනි තැනක. දූෂණ සංජානන දර්ශකය තුළ අපට හිමිව තිබෙන්නේ 102 වැනි ස්ථානයයි. ආර්ථික නිදහස මනින දර්ශකයේ අප සිටින්නේ 117 වැනි තැන. රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරමින් මේවායින් ඉදිරියට යන්න ඕනෑ. එසේ නොමැතිව විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම අසීරුයි. ඒ වගේම රට තුළ මූල්‍ය විගණනය නිසි පරිදි ක්‍රියාත්මක කරන්න අවශ්‍යයයි. ඒ සඳහා අවශ්‍යය නීති පද්ධති ගොඩනඟන්න ඕනෑ. රටේ අල්ලස හා දූෂණ නැති කරන්න ඉතා ඉක්මනින් පියවර ගත යුතුයි. රාජ්‍ය අංශයේ ඵලදායි වර්ධනයක් මෙන්ම කාර්යසාධන ඇගයීම් අත්‍යවශ්‍යයි. මේ වන විට බොහෝ රාජ්‍ය ආයතන වාර්ෂික වාර්තා පවා නිසි කලට ඉදිරිපත් කරන්නේ නැහැ. මේවා ආර්ථිකයක ඉදිරි ගමනට විශාල බාධාවක්.

l රටේ ආර්ථිකය යම් ආකාරයක පිබිදීමක් පෙන්නුම් කරන්න පටන් ගෙන තිබෙන අවස්ථාවක, දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා උද්ඝෝෂණ, විරෝධතා දියත් කිරීම අනුමත කළ හැකි ද?

ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවට තමන්ගේ අයිතීන් සඳහා සාමාකාමීව උද්ඝෝෂණ, විරෝධතා දැක්වීමට අවස්ථාව තිබිය යුතුයි. මෙතැනදී රජය යම් ආකාරයකට කියනවා නම් උද්ඝෝෂණ, විරෝධතා කරන්න එපා කියලා, ඒක වැරැදියි. ඒක එක්තරා විදියකට අන්තර්ජාතික වශයෙන් රටට යම් යම් බලපෑම් එල්ල වීමටත් හේතුවක් විය හැකියි. අනෙක් පැත්තෙන් උද්ඝෝෂණ හා විරෝධතා කරන අයත් තම තමන්ගේ වගකීම් හඳුනා ගෙන ක්‍රියා කරන්න ඕනෑ. විපක්ෂය හා රජය එකඟතාවකින් යුතුව ඉදිරියට යන ස්වභාවයක් පේන්න නැහැ. එකඟතාවකට පැමිණීම සඳහා ආණ්ඩුව වගේම විපක්ෂයත් නම්‍යශීලි වීම වැදගත්. ජාතික ප්‍රශ්නවලදී ආණ්ඩුව හා විපක්ෂය එකඟතාවකට නොපැමිණීමේ ප්‍රතිවිපාක විඳින්නේ වෙන්නේ මේ රටේ අහිංසක ජනතාවටයි. මේ අවස්ථාවේ ක්ෂණිකව ආණ්ඩුවක් විසුරුවා හැරලා, අලුත් ආණ්ඩුවක් පත්වුණා කියලා ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බැහැ. පවතින තත්ත්වය ඊළඟ කාලපරිච්ඡේදය තුළ වඩාත් හොඳ තැනකට ගේන්න අප එකතු වෙලා ක්‍රියා කරන්න ඕනෑ. උද්ඝෝෂණ හා විරෝධතා කළ පමණින් ක්ෂණික පෙරළියක් රටේ ඇති කරන්න බැහැ. එහෙම නම් අප කරන්න ඕන ආර්ථිකය හා සමාජය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යෑමයි. වංචා, දූෂණ හා නාස්තිය අවම කර ගනිමින් තමන් කටයුතු කරන බව ආණ්ඩුව ජනතාවට පෙන්විය යුතුයි. ඒවා ගැන තැකීමක් නොකර ආණ්ඩුව වැඩ කරනවා නම්, විපක්ෂය කරන උද්ඝෝෂණවලට ජනතාවගේ සහය ලැබෙන එක ස්ථිරයි. ඒ වගේම ආණ්ඩුව නිවැරැදි ලෙස කටයුතු කරනවා නම්, විපක්ෂය මොන උද්ඝෝෂණ කළත් ජනතාවගේ සහය එයට ලැබෙන්නේ නැහැ.

උද්ඝෝෂණ හා විරෝධතා කළ පමණින් ක්ෂණික පෙරළියක් රටේ ඇති කරන්න බැහැ. එහෙම නම් අප කරන්න ඕන ආර්ථිකය හා සමාජය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යෑමයි. වංචා, දූෂණ හා නාස්තිය අවම කර ගනිමින් තමන් කටයුතු කරන බව ආණ්ඩුව ජනතාවට පෙන්විය යුතුයි. ඒවා ගැන තැකීමක් නොකර ආණ්ඩුව වැඩ කරනවා නම්, විපක්ෂය කරන උද්ඝෝෂණවලට ජනතාවගේ සහය ලැබෙන එක ස්ථිරයි. ඒ වගේම ආණ්ඩුව නිවැරැදි ලෙස කටයුතු කරනවා නම්, විපක්ෂය මොන උද්ඝෝෂණ කළත් ජනතාවගේ සහය එයට ලැබෙන්නේ නැහැ.

මහාචාර් ය  වසන්ත අතුකෝරාළ

ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

සාකච්ඡා කළේ

අසේල කුරුළුවංශ

දිනමිණ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *