විරෝධතාවයට ආ සජිත් විරෝධය මැද පිටව යයි

 

විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොළඹදී විරෝධතා පා ගමනක් පැවැත්විණි.

මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු යන තේමාව යටතේ විරෝධතාව අද පස්වරු 3.30ට පමණ ආරම්භ විය.

විරෝධතාකරුවන් මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටට රැස්වූ අතර ඊට සමගි ජන බලවේගය නියෝජන කරමින් එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර ඇතුළු කණ්ඩායමක් හා 43 වැනි සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා හා පෙරටුගාමී සමාජවාදි පක්ෂය නියෝජනය කරමින් දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

පසුව පාගමන ආරම්භ වු අතර ටෙක්නිකල් හංදිය හරහා විරෝධතාකරුවන් කොටුව දෙසට ගමන් කළේය.

ටෙක්නිකල් හංදිය පසුකර පිටකොටුව දෙසට ගමන් කරන අතරවාරයේ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මාර්ගය හරස් කරමින් රැඳී සිටියේය.

එහිදී විරෝධතාකරුවන් ඉදිරියට යාම වැළැක්වීමට සංවිධායකයින් උත්සාහ කළ ද එය ව්‍යර්ථ වීම හේතුවෙන් එම ස්ථානයේ සිටම ජන රැලියක් පැවැත්වීමට තීරණය කෙරුණි.

එහෙත් පැමිණ සිටි පිරිස් වෙතින් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ජන රැලිය පැවැත්වීමට නොහැකි වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.

අනතුරුව විරෝධතාකරුවන් නැවත වරක් ඉදිරියට යෑමට උත්සාහ කිරීමේදී පොලීසිය සමග නොසන්සුන් තත්ත්වයක් හටගත් අතර පසුව ඔවුන් එම ස්ථානයෙන් විසිර ගියේය.

අද දෙරණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *