සයිටම් වාමාංශිකයෝ – අජිත් පැරකුම් ජයසිංහ

සරසවි සිසුන් අත වරද නැත. ඔවුන් කටයුතු කරන්නේ ඔවුන්ගේ ජීවිත කාලය තුළ ලද දැනුමේ, අත්දැකීම්වල හා ගොඩනැගුණු චින්තන වපසරියේ සීමාව තුළ ය. එහෙත්, වඩා අත්දැකීම් ඇති මිනිසුන් තරුණ ජීවිත සමග මේ අන්දමින් සෙල්ලම් නිර්මානය කිරීම හැමදාමත් සිදු වන ඛෙදවාචකයකි.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය මේ වන විට සුසමාදර්ශීය වෙනසකට බඳුන් වී තිබේ. මෙය ආරම්භ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා වෛද්‍ය සිසුවෝ ය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය යනු ලංකාවේ සෞඛ්‍ය සේවාව වෛද්‍යවරුන්ගේ ග්‍රහණයට යටත් කරගෙන, එම ආධිපත්‍යය තුළ එය දැඩි ලෙස වානිජකරණය කර, එම තත්වය තව දුරටත් රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින ප්‍රතිගාමී වෘත්තික කල්ලියකි. වෛද්‍යවරුන්ට සිත් සේ රෝගීන් සූරාකෑමට නම් දැඩි වෛද්‍ය හිඟයක් අවශ්‍ය ය. තමන්ගේ දින පොතක සේවා කාලය වාර්තාගත කර, මහජන මුදලින් අතිකාල දීමනා පවා ලබා ගැනීමේ වරප්‍රසාද හිමි කරගෙන තිබෙන තවත් වෘත්තියක් ලංකාවේ නැත.

දෙවනුව, දේශපාලන වශයෙන් පාරාජිකා වී සිටි වමේ පක්ෂ මෙම අරගලය සම්බන්ධයෙන් කෑදර පිළිවෙතක් අනුගමනය කළ හ. වෛද්‍ය වෘත්තිය ලංකාවේ මිනිසුන්ට සාමාන්‍ය වෘත්තිකභාවයකට වඩා පාරිභෝජනවාදයේ සංකේතාත්තමක වටිනාකමක් වී තිබේ. දොස්තරකම යනු නීත්‍යානුකූල අන්දමින්, සමාජ පිළිගැනීමක් සහිතව, ඉක්මණින් සමාජ හිනිපෙතේ ඉහළ නැගීමට දොරටු විවර කර ගත හැකි හා අධික ලෙස භාණ්ඩ හා සේවා පාරිභෝජනය කළ හැකි ජීවිතයකට දොර විවර කර දෙන සමාජ ලාලසාවකි. එම තත්වය ද ලාලසාවන් සමග අතිනත ගෙන යන තවත් මනෝභාවයක් වන ඊර්ෂ්‍යාව ද මෙම අරගලය බලමුළු ගැන්වීමට උපයෝගී කර ගන්නා ලදී.

ඒ සම්බන්ධයෙන් වන මත ගොඩනැගීම හරහා සයිටම් අරගලය ලෙස නම් කරන ලද ක්‍රියාකාරිත්වය සමාජ වෙනස සඳහා අරගලයක් ලෙස කෘත්‍රිමව සංඥාර්ථගත කරන ලදී. අවසානයේදී පාරාජිකා වූ වම්මු පිරිසක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොන්ත්‍රාත්තුවට කර ගසා ඔවුන්ට සිය දෛනික ව්‍යාපාර කරගෙන යන්නට නිදහස සලසා දී තිබේ. වෛද්‍ය සිසුවෝ දේශනවලට යති. කලා සිසුවෝ වෛද්‍ය සිසුන්ගේ පටු අරගලය වෙනුවෙන් පාරේ යති.

සයිටම් අරගලය තනිකර ම පදනම් වන්නේ සන්නිවේදන ප්‍රබන්ධාවලියක් මත ය. නිදසුනක් ලෙස වාමාංශිකයන්ට දැන් සයිටම් යනු වාමාංශික සුජාතභාවය තීරණය කරන සාධකයක් බවට පත් වී තිබේ. එය කෙතරම් අාන්තික ද යත්, වාමාංශිකයන්ට මෙතෙක් ඉතිහාසයේදී ඉතා වැදගත් සාධකයක් වූ ජාතීන්ගේ ප්‍රශ්නය පිළිබඳ ස්ථාවරයේදී තිබුණු බෙදුම්කඩනයන් සියල්ල අමතක වී දැන් වාමාංශික අනන්‍යතාව තීරණය කරන ලිට්මස් පරීක්ෂාව බවට සයිටම් පත් කරගෙන තිබේ. දෙමළ අරගලයට එරෙහි යුද්ධයේදී දැරූ ස්ථාවරය දැන් තව දුරටත් අදාළ නැත. බලය බෙදීම සම්බන්ධයෙන් ස්ථාවරය ද අදාළ නැත. අදාළ එක ම කාරණය සයිටම් සම්බන්ධයෙන් ස්ථාවරයයි.

සයිටම් වැදගත් ම සාධකය වී තිබෙන්නේ මේ ඊනියා වාමාංශිකයන් පිරිසට පමණි. එහෙත්, ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ ගැඹුරු ප්‍රශ්නය සමස්ත සමාජයට ම අදාළ ය. වසරකදී සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව ලක්ෂ තුනකි. වසරකට උසස් පෙළ සමත් වන සංඛ්‍යාව ලක්ෂ එක හමාරකි. වසරකට ආණ්ඩුවේ සරසවි වලට ගන්නා සංඛ්‍යාව 22,000කි. ඒ අනුව වසරකදී අතරමං වන උසස් පෙළ සමත් ශිෂ්‍ය සංඛ්‍යාව 128,000කි. රජයේ නිදහස් යයි කියන, මහජන මුදලින් පවත්වාගෙන යන උසස් අධ්‍යාපන ක්‍රමයේ අසාර්ථකභාවය පෙන්නුම් කරන්නට මීට වඩා සාක්ෂි අවශ්‍ය නැත. උසස් අධ්‍යාපන නිදහස තහවුරු කිරීම සඳහා විකල්ප අවශ්‍ය වී තිබෙන්නේ එම සංදර්භය තුළයි. එහිදී පෞද්ගලික අංශය මෙයට සහභාගි කර ගැනීමෙහි වරද කුමක් ද? පෞද්ගලික ව්‍යාපාරිකයන් කියන්නේ අප වෛර කළ යුතු පිරිසක් ද? පෞද්ගලික ව්‍යවසායකයන් ලෝකයට කළ කිසිම හොඳක් නැද්ද? එසේම, පෞද්ගලික ව්‍යවසායකයන් රජයට වඩා නරක හෝ රජය පෞද්ගලික ව්‍යවසායකයන්ට වඩා හොඳ ය කියන්නට තිබෙන සාධක මොනවා ද?

සයිටම් විරෝධීන්ගේ සන්නිවේදනය තුළ අධ්‍යාපනය සම්බන්ධ පෞද්ගලික ව්‍යවසායකයන් යනු අරාජික වෙළඳපොළ බලවේගයකි. වෙළඳපොළ අරාජික විය හැක්කේ දුබල රාජ්‍යයක් ඇති රටක ය. ලංකාවේ රජය යනු ලක්ෂ 14කට වැඩි ශ්‍රමයක් කැටි කර ගත් දැවැන්ත ව්‍යූහයකි. රජයක මූලික කාර්යය විය යුත්තේ වෙළඳාම නො වේ. වෙළඳපොළ නියාමනය කිරීමයි. ලංකාවේ දැවැන්ත රජය අතිශය අකාර්යක්ෂම ය. එ් අකාර්යක්ෂමතාවට විසඳුම රජය තවත් විශාලනය කිරීම නො වේ.

වෙළඳපොළ විරෝධය වාමාංශිකයන්ගේ මෝස්තරයකි. වෙළඳපොලෙන් බැහැරව මිනිස් සබඳකම් පැවැත්වීම කළ හැකි ක්‍රමවේදයක් කිසිවෙක් යෝජනා කර නැත. වෙළඳපොළ යක්ෂාරෝපණය කරන අය අමතක කරන කාරණයක් වන්නේ එය වනාහි මිනිස් සමාජ පරිණාමයේ විශිෂ්ට ලක්ෂණයක් බවයි. වෙළඳපොළට විකල්ප ලෙස පෙන්නීමට උත්සාහ කරන සුබසාධන රාජ්‍යය ද අඩු වැඩි වශයෙන් වෙළඳපොළේ ම විකාශනයකි. එහි විශේෂත්වය අන් කිසිවක් නොව රාජ්‍ය ඒකාධිකාරයයි. සුබසාධනයේ නමින් රජය අධ්‍යාපන ව්‍යාපාර කරන්නේත් වෙළඳපොළේ ම ය. එය නොමිළේ අධ්‍යාපනයක් වන්නේ එය ලබා ගන්නා අයට පමණි. ඒ වෙනුවෙන් ගෙවන සමාජයට එය නො මිළේ අධ්‍යාපනයක් නොවේ. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි ක්ෂේත්‍ර මුළුමනින් ම වෙළඳපොළකරණය කළ යුතු බව කිසිවෙක් කියන්නේ නැත. එහෙත්, සයිටම් වාමාංශිකයෝ එවැනි පිරිසක් සිටින බව සිතින් මවාගෙන සිටිති. දැන් වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයාට ද එවැනි යක්ෂ වෙස් මුහුණක් පළන්දා ඔහු බැහැර කරන ක්‍රම සම්පාදනයේ වාමාංශිකයෝ යුහුසුළු වී සිටිති.

ප්‍රශ්නය වී තිබෙන්නේ අධ්‍යාපනයේ රාජ්‍ය ඒකාධිකාරය අධ්‍යාපන නිදහස තහවුරු කරන්නට අසමත් වීමයි. සයිටම් අතහැර බැලූ විට මේ වන විට සමස්ත අධ්‍යාපන පද්ධතිය ම ආපසු හැරවිය නො හැකි ලෙස වෙළඳපොළකරණය වී තිබේ. වෛද්‍ය අධ්‍යාපනය වෙළඳපොළකරණයට පමණක් එරෙහි වීම ඉතාම පටු ක්‍රියාවකි. මේ වන විට අධ්‍යාපන වෙළඳපොළකරණය ආපසු හරවන්නට බැරි තරම් විස්තීර්ණ වී තිබේ. නිදසුනක් ලෙස ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම පෞද්ගලික ය. පෙර පාසල් අධ්‍යාපනය යනු සෑම පුරවැසියකුගේ ම මුළු ජීවිතයට ම අදාළ දෙයකි. එය කිසිදු අයුරකින් වෛද්‍ය අධ්‍යාපනයට ද්විතීයක වන්නේ නැත. එහෙත්, කිසිවෙක් පෙර පාසල් අධ්‍යාපනය ගැන ප්‍රශ්න කරන්නේ නැත. එයින් ම සයිටම් දේශපාලනයේ කුහකකම පෙනේ. පෙර පාසල් අධ්‍යාපනය වැනි කරුණුවලදී රජයට කළ හැක්කේ නිසි නියාමන ක්‍රමවේදයක් සැකසීමයි. එහෙත්, ඒ වෙනුවෙන් කිසිවෙක් අවධානය යොමු කරන්නේ නැත. හේතුව කුමක් ද? එයින් දේශපාලන බලය ගොඩ නගා ගත නො හැකි ය.

සයිටම් වාමාංශිකයන්ගේ තර්කයක් වන්නේ මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගන්නට ඉඩ දීමෙන් විෂමතා වැඩි වන බවයි. මෙය ඉතා බොළඳ තර්කයකි. සයිටම් පමණක් දකින ඔවුන්ට නො පෙනෙන කාරණයක් වන්නේ තමන්ගේ නම අගට පවා මුදල් ගෙවා ලබා ගත් සුදුසුකම් තිබෙන බවයි. උදාහරණයක් ලෙස, ලංකාවේ මේ වන විට වැඩියෙන් ම වෙළඳපොළකරණය වී තිබෙන්නේ වානිජ විෂය උපාධි සුදුසුකම් ය. ඒවා ලබාගෙන සමාජමය වශයෙන් සවිබල ගැන්වුණ සුවිසල් පිරිසක් මේ සමාජයේ සිටිති. ඒ සවිබලකරණය හේතුවෙන් විෂමතා අඩු වුණා මිස වැඩි වුණේ නැත. අනෙක් කාරණය මෙම උපාධි සුදුසුකම් මුදල් ගෙවා ලබා ගන්නට තිබුණා ය කියා ඒවායේ ගුණාත්මකභාවය පවත්වාගෙන යන්නට බැරි වී නැත. එහෙයින්, පෞද්ගලික අධ්‍යාපනය යනු අනිවාර්යයෙන් ම ගුණාත්මකභාවයක් නැති එකක් විය යුතු නැත.

සයිටම් වැනි පටු අරගල සමාජය වෙනස් කිරීම සඳහා දක්වන දායකත්වයක් නැත. ඒවා ප්‍රයෝජනවත් වන්නේ දේශපාලන වශයෙන් පාරාජිකා වී සිටින බලවේගවලට සමාජ පසුගාමිත්වය මත පදනම්ව කිසියම් උත්තේජනයක් ලබා ගැනීමට පමණි.

සිසුන්ට පහර දීම්, ජීවිත පරිත්‍යාග පිළිබඳ සමාජ ජාල ප්‍රචාර ආදී දැවැන්ත පෙර සූදානම් කිරීමකින් පසුව, පසුගිය බදාදා පවත්වන ලද සිසු උද්ඝෝෂණය වාමාංශික නායකයන් විසින් නිවැරදිව විග්‍රහ කර ගත යුතුව තිබේ. ඇල් මැරුණු පෙළපාලියට යම් කිසි ජීවයක් ලැබුණේ පොලිසියෙන් ඉල්ලා ගත් ජල ප්‍රහාරයෙනි.
අජිත් පැරකුම් ජයසිංහ, රාවය 2016-09-04

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *