ඒ කාලයේ අපි හිතුවේ කොල්වින්ට වරදින්ට පුළුවන්කමක් නෑ කියලා- ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ආචාර්ය එන්. එම්. පෙරේරා සහෝදරයා වැනි කෙනෙක් සමරමින් අදට ඉතාමත් කාලීන මාතෘකාවක් පිලිබඳ කථා කිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටකි. එන්. එම් . පෙරේරා සහෝදරයාව ලංකාවට නොලැබුණ හොඳම අගමැතිවරයා බවට මතයක් තිබුණි. අගමැතිවරු අතර හොඳම අගමැති වෙන බව යි එයින් කියැවුනේ. නමුත් එය ලැබුනේ නැත. එතුමාට අගමැතිකම ගන්නට අවස්ථාවක් තිබුණි. 1955 පසුව බණ්ඩාරනායක මැතිතුමාට සහයෝගය ලබාදුන් භික්ෂූන් වහන්සෙලා පිරිසක් ඉස්සේලා ගිහින් කථා කළේ එන්. එම්. සහෝදරයාට ය. ගිහිල්ලා කිව්වා එතුමාවට ඔය 56 මතු වූ එවකට මොදුවෙමින් පැවති සමාජ බලවේගයට නායකත්වය ගන්නා ලෙස. නමුත් ඒ සමගම ඒ භික්ෂූන් වහන්සේලා කොන්දේසියක් ද ඉදිරිපත් කළ හ. ඒ කොන්දේසිය තමයි සිංහළ සහ දෙමළ භාෂා දෙකම නොව, සිංහළ භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කරන්නට එකග වන්නට යයි කීම. බලාපොරොත්තු විය යුතු ලෙසම ඇන්. ඇම්. එය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව ඔහු අගමැතිවූවා නම් හොඳම අගමැති වෙන්නේ නැත. හොඳම අගමැති කරගන්නට ශ්‍රි ලංකාවට වාසනාව ලැබුනේ ද නැත.
අද අපි ව්‍යවස්ථා වෙනසක අභිමුඛයේ සිටින්නෙමු. එන්. එම්. පෙරෙරා සහෝදයා 78 ව්‍යවස්ථාව පිලිබඳව සිය කුඩා පොත් පිංචෙන් එහි තිබෙන භායානක බව ලෙඩ ඇඳේ සිට තේරුම්කර දුන්නේ ය. එක්තරා ආකාරයකට කියන්නෙ නම් ජීවිතයේ මරණාසන්නව වගේ සිටින කාලයේ අන්තිම පරිච්ඡේද ටික ලිව්වේ. මුල්කාලයේ මේ පොතට කිසිවෙකු එතරම් සැළකිල්ලක් දැක්වූයේ නැත. නමුත් පසු කාලයක, විශේෂයෙන්ම ජනාධිපති ප්‍රේමදාසට විරුද්ධව දෝශාභියෝගයක් පැමිණි වෙලාවේ තමයි මේ පොත පිලිබඳව අවධානය යොමුවූයේ. පුවත්පත් ගණනාවක ඇන්. ඇම්. ගේ එම පොතේ ඇතැම් ඡේද පලකෙරුනි.
එතකොට තමයි ජනතාවට තේරුනේ මේ මිනිසා අංජනමක් දෙස බලා කිව්වා සේ මේ ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධි බව කොහොමක කිව්වේ යන්න. ඊට පස්සේ තමයි ඇත්ත වශයෙන් මේ පොත පිලිබඳව විශාල උනන්දුවක් ඇතිවූයේ. පොත නැවත නැවතත් මුද්‍රණය කරන්නට සිදුවූයේ එයින් පසුව ය. ඉතාමත්ම මෑතක දී ඒ පොත එන්. එම් කේන්ද්‍රය විසින් නැවත සංස්කරණය කෙරුණි. ඒකට උපග්‍රන්ථයක් එක්කරන්නට මට වාසනාව ලැබුණි. ඒකේ මම ලියුවේ ඇන්. ඇම්. සහෝදරඑයා මියගියාට පසුව සිදුවූ ව්‍යවස්ථාවේ අර්බුද හා වෙනස්කම් සඳහන්කරමින්. ඒ සමගම අද අපිට අවශ්‍ය වන්නේ කුමන ව්‍යවස්ථාවක් ද යන්න එහි සඳහන් කර ඇත. එය 18 වෙනි සංශෝධනයෙන් පසු ලියු කොටසකි. එහි මා ඉතා තදින් 18වෙනි සංශෝධනය ට සහයෝගය දුන් අපේ ම සහෝදරවරුන්ව විවේචනය කළේ ය. කෙසේ වෙතත් එය සිංහළට නම් තවම පරිවර්තනය කර නැත. දැන් නම් එන්. එම්. පෙරේරා කේන්ද්‍රයට යන්නට අපිට තහනම්ය. අඩුම ගානේ එන්. එම්. පෙරේරා සහෝදරයාට ගෞරවයක් වශයෙන් එය සිංහළට පරිවර්තනය කර නැවත අලුත් සංස්කරණය එළිදක්වනවා නම් හොඳයි කියල යි මා විශ්වාස කරන්නේ.
මෙවර අලුත් ව්‍යවස්ථාවක් හදන්නේ පසුගිය ව්‍යවස්ථා දෙක හැදූ තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් තුළ ය. 72 සමගි පෙරමුණට පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයක් තිබුණි. සොල්බෙරි ව්‍යවස්ථාව හරහා යමින් ව්‍යවස්ථා වෙනසකට එහි තිබුණු ප්‍රතිපාදන පාවිච්චිකර නව ව්‍යවස්ථාවක් හදන්නට පුළුවන්ද යන ප්‍රශ්නයක් මතු විය. එයට හේතු වූයේ එවකට තිබු රාජාධිකරණයේ නඩු තීන්දු කිහිපයකි. එම නිසා සහ නැවත 3/2ක් ලැබෙන්නේ නැතැයි යන්න උපල්පනයකර සමගි පෙරමුණ ජනතාවගෙන් වරමක් ඉල්ලා වෙනම ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයක් හැදුවේය. ඒක හැදුවේ සොල්බෙරි ව්‍යවස්ථාවට පිටින් ගොස් ය. 72 ව්‍යවස්ථා සම්පාදක මණ්ඩයේ හැන්සාඞ් වාර්තාව බලන ලෙස ඔබලාට ආධනය කරන්නට කැමැත්තෙමි. මම දන්නා ආකාරයට මෙහි සම්පුර්ණ වාර්තාව තිබෙන්නේ ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පමණි. එය ආපසු කියවන විට තේරුම් යන එකක් තමයි ඒ ව්‍යවස්ථාව සමගි පෙරමුණ විසින් ජනතාව මත පටවන ලද්දක් බව. මීට වසර කිහිපයකට පෙර මේක මම කියන විට අපේ පක්ෂය තුළ මට බරපතල විවේචනයක් එල්ල විය. ඒ කාලයේ අපි හිතුවේ කොල්වින් සහෝදරයාට වරදින්න පුළුවන්කමක් නැති බව ය. කොල්වින් මේකට සම්බන්ධ නම් ඒ ව්‍යවස්ථාව තමයි හොඳම ව්‍යවස්ථාව කියලයි ඒ කාලයේ අපි හිතුවේ. නමුත් කොල්වින් නම් එහෙම හිතුවේ නැත. ඇන්. ඇම්. පෙරේරා සහොදරයා වූවත් එහෙම හිතුවේ නැත. පසු කාලයක එහි තිබු දුර්වලකම් පිළිබඳව විවේචන මතුවන විට ඔවුහු ඒ ගැන සඳහන් කළ හ. 78 ව්‍යවස්ථාවත් ඒ වගේ ය. 78 ව්‍යවස්ථාවත් එක්සත් ජාතික පක්ෂය 72 වගේම රටට බලෙන් පැටවූ ව්‍යවස්ථාවකි. එහි දි ඔවුන් තමන්ට ලැබුණු 6/5ක බලය පාවිච්චිකර ඒ වැඬේ කළේ ය. ඡන්දයට පෙර ජේ. ආර්ගේ මැතිවරණ ප්‍රකාශනයේ මෙසේ සඳහන්කර තිබේ. වාමාංශික නොවන පක්ෂයක් එවැනි දෙයක් කියූ පළවෙනි අවස්ථාව ලෙස එය සඳහන් කළ හැක. ”දෙමළ ජනතාවට ප්‍රශ්න ඇති බවත්, එම ප්‍රශ්න නොවිසඳුණු නිසා දෙමළ ජනතාව බෙදුම්වාදයට තල්ලු වී ඇති බවත් පිළිගන්නා එජාපය බලයට පත් වූ විට වටමේස සාකච්ඡාවක් කැඳවා එම ප්‍රශ්නයට විසඳුමක් ඉදිරිපත් කරන බව” ඒ මැතිවරණ ප්‍රකාශනයෙන් ඔවුන් කියා සිටියේ ය. එහෙත් 6/5ක බලයක් ලබා ගත් පසු වට මේසෙත් නැත. සාකච්ඡාවක් කළේ ද නැත. 72 සමගි පෙරමුණ කෙරුවා වගේ 78 දි එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ ව්‍යවස්ථාව ජනතාව මත පැටවූයේ ය.
අද ව්‍යවස්ථාව හදන වෙලාවේ කිසියම් වාසිදායක තත්ත්වයක් ද තිබේ. අද කිසිම පක්ෂයකට 3/2තියා සරළ බහුතරයක්වත් පාර්ලිමේන්තුවේ නැත. එජාපයට ඇත්තේ ආසන 106කි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට තිබෙන්නේ 90 ගණනකි. නමුත් ආණ්ඩුවට සහය ඇති පක්ෂ සමග ගතහොත් පසුගිය අයවැය ලේඛනයේ දී පෙනුනු පරිදි 163කින් එය සම්මත විය. එතන 3/2ටත් වඩා 13ක් වැඩියෙන් තිබේ. ඒ අනුව ඉතාම හොඳ ඉඩකඩක් තිබෙනවා පටවන්නේ නැතිව සියලු දෙනාටම එකගවිය හැකි ව්‍යවස්ථාවක් අනුමත කරගන්නට. ඒ එකගත්වයකින් හදන ව්‍යවස්ථාව පිළිබඳව ප්‍රශ්නත් මතුවන බව පිළිගත යුතු ය. එහෙනම් මොන වගේ ව්‍යවස්ථාවක් ද අපි හදන්නේ. නිකම්ම අලුත් ව්‍යවස්ථාවක් හදනවා ද? එකග වූවත් නැතත් අපේ පරමාර්තය විය යුත්තේ හොඳම ව්‍යවස්ථාව සඳහා ය. හොඳම ව්‍යවස්ථාව හදන්නට හැකි ද නැති ද යන්න අපි බලමු. නමුත් හොඳම ව්‍යවස්ථාව සඳහා අපි පෙනී සිටිය යුතු ය. ව්‍යවස්ථා නොයෙකුත් ආකාරයට හැදිය හැක. අනාගතය දිහා බලලා නිකං ව්‍යවස්ථාවක් හැදිය හැක. අනාගතය දිහා බැලීමයි අනාගත ඉදිරි දැක්මක් ඇතිව බැලීමයි දෙකකි. අද අවශ්‍ය වෙන්නේ ඉදිරිදැක්මක් ඇති ව්‍යවස්ථාවකි. අපිට කොපමණ දුරකට ඒක සාර්ථක කරගන්නට හැකිවේ ද යන්න මම දන්නේ නැත. මේ සැරේ ව්‍යවථාව හදන විට රාජ්‍ය මත පදනම් වූ ව්‍යවස්ථාවක් නොසෑදිය යුතු ය. 72 සහ 78 අපි හැදුවේ රාජ්‍ය මත පදනම් වූ ව්‍යවස්ථාවන් ය. ඒකෙන් කියන්නේ ජාතික රාජ්‍ය සභාව එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුව තමයි උත්තරීතර වන්නේ කියන එක ය. රාජ්‍ය බලය පිළිබඳ ආයතනය ගැන තමයි එයින් කියන්නේ. අපි අද උත්සාහ කරන්නට අවශ්‍යයි ජනතාවගේ අයිතිවාසිකම් මත පදනම් වූ ව්‍යවස්ථාවක් හදාගන්නට. රාජ්‍ය යේ සීමාවන් පිළිබඳව පැහැදිළිව ඇතුලත්කර අයිතිවාසිකම් පිළිබඳව පැහැදිළිව ඇතුලත්කර තමයි අපි කටයුතු කළ යුත්තේ.
විධායක ජනාධිපති ක්‍රමය පිලිබඳව තව තවත් කියන්නට මා කැමති නැත. වමේ කාටත් ඒ පිළිබඳව විශාල විවේචනයක් තිබේ. ඒ නිසා ඒක අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. විධායක ජනාධිපති ක්‍රමය එක්තරා ආකාරයකට 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් දුර්වල විය. ඊ ළගට 17වෙනි සංශෝධනයෙන් ද එය තවත් දුර්වල විය. නමුත් 17වෙනි සංශෝධනයේ ලබාගත් සියලු ජයග්‍රහණයන් 18වෙනි සංශෝධනයෙන් මහින්ද රාජපක්ෂ ආපස්සට හැරවීය. මගේ දැණිම හැටියට නම් එයින් ලෝකයේ තිබෙන ශක්තිමත්ම ජනාධිපති ආණ්ඩුක්‍රමය තමයි ලංකාවට හිමිවූයේ. වාසනාවකට වගේ අපි සියලු දෙනාගේ දායකත්වය ඇතිව වෙනස් කරන්නට නොහැකි යැයි කියූ හා හිතන ලද ජනාධිපතිවරයා හා ආණ්ඩුව පෙරාලා දමා 19වෙනි සංශෝධනයෙන් සීමා සහිතව උනත් විධායක ජනාධිපති ක්‍රමයේ බලතල ඉවත් කරන්නට හැකි විය. දැන් අවශ්‍ය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *