පත්තර නොකියන තමන්ගේ ඇත්ත – දිවන්ත යාලේගම 

 

කොවිඩ් වසංගත සමයේ නිරෝධායන ඇදිරි නිතිය හේතුවෙන් කඩා වැටීම ආරම්භ වූ ශ්‍රී ලංකාවේ පුවත්පත් කර්මාන්තය, යළි හිස එසවීමට නොහැකි මට්ටමට පත්ව ඇතැයි වාර්තාවේ. ඇතිවී තිබෙන ආර්ථික අවපාතය හමුවේ, කඩදාසි මිළ සිඝ්‍රයෙන් ඉහළ යෑම, ඒ හේතුවෙන් පුවත්පතක මිළ ජනතාව වෙත දරා ගත නොහැකි තත්ත්වයකට පත්වීම, දැන්වීම් ලබාදිය නොහැකි මට්ටමකට ප්‍රධාන වාණිජ ආයතන සහ බැංකු ආදියේ ආදායම අවම වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම පුවත්පත් මේ වන විට වැසි යෑමේ තර්ජනයක් කරා යොමුවී ඇතැයි මුල්‍ය අංශ පවසා සිටියි.

විශේෂයෙන්ම රූපවාහිනියෙන් පුවත්පත් කියවීම සහ අන්තර්ජාලයෙන් ඉ-පේපර් ලෙස නොමිලේ පුවත්පත් ලබා ගැනීමට ඇති හැකියාව නිසා, මුද්‍රිත පිටපත් සදහා ඇති ඉල්ලුම අවම වීම හේතුවෙන් තව දුරටත් පුවත්පත් කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි බව මේ පිළිබදව අදහස් දක්වන ලද පාර්ශ්ව කිහිපයක් තහවුරු කළේය.

මේ වන විට පුවත්පත් පත්ව ඇති තත්ත්වය සාරාංශ ගත කළහොත්, තවමත් අංක එක යන ස්ථානයේ රැදී සිටින මාධ්‍ය ආයතනය වන්නේ විජය පුවත්පත් සමාගමය. එහි සිරිකත පුවත්පත හැර අනෙකුත් සියලුම පුවත්පත් අදාළ අංශයේ ප්‍රමුඛයාය.

කර්තෘ මණ්ඩලය කෙරෙහි, හිමිකරුගේ අතපෙවීම අවම තත්ත්වයක පවතින මෙම පුවත්පත් සමුහය, කළමනාකරණය වනුයේ, රංජිත් විජයවර්ධන සහ ඔහුගේ පුත් සුජාන් විජේවර්ධන අතිනි. විජය පුවත්පත් ආයතනයේ සභාපති රංජිත් සුජීව විජයවර්ධන, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති අතර ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමෙන් පසු, විජය පුවත්පත් ආයතන ආරම්භ කරමින්, ශ්‍රී ලංකාවේ අංක එකේ පුවත්පත් සමුහය බවට එය පත් කරන තරම් ව්‍යවසාය ගුණයෙන් හෙබි චරිතයක් විය.  විජය පුවත්පත් සමුහයේ අනුප්‍රාප්තිකයා වන්නේ, පරාක්‍රම සුජාන් විජයවර්ධනය. ඔහු බ්‍රිතාන්‍යයේ ලෙයිස්ටර් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්වේ. රංජිත්ගේ පුත් රුවන් විජයවර්ධන දේශපාලනයේ නිරත වන අතර ඔහුගේ සහෝදරියගේ පුත් රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයා වුව ද සිය පවුලේ දේශපාලනය සදහා විජය පුවත්පත් සමුහය ලබාදෙන්නේ අවම දායකත්වයකි.

බෙදාහැරිම, මුද්‍රණය, දැන්වීම්  සහ තාක්ෂණය භාවිතය යන අංශ සියල්ලෙන්ම ශ්‍රී ලංකාවේ අංක එකේ මට්ටම පිලිබිබු වන මෙම පුවත්පත් සමුහයේ ඉරිදා ලංකාදීප පුවත්පත ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන පුවත්පත වන අතර පුරා වසර  15කට වැඩි කාලයක් එම වාර්තාව නොබිදී තබා ගැනීම සදහා ඉරිදා ලංකාදීපය සමත්විය. වෘත්තිමය ප්‍රධාන කතෘන් මෙහි සංස්කරණ භාරකාරීත්වය දරයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උපාධිධාරියෙකු සහ ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතේ ප්‍රධාන උප කර්තෘ ලෙස සේවය කරන ලද සිරි රණසිංහ, දැනට සිටින ජේෂ්ඨ සහ අග්‍රගණ්‍ය කර්තෘවරයෙකි. ඔහු දිනපතා ලංකාදීප කර්තෘ මෙන්ම කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ද වේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ කරන ලද සහ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු සිට පියවර ගණනාවක් ඔස්සේ ඉදිරියට පැමිණ ඇති ආරියනන්ද දොබගහවත්ත, විදේශීය පුහුණුව පවා ලත් කෘතහස්ත කර්තෘවරයෙක් පමණක් නොව ග්‍රන්ථ ගණනාවක කර්තෘවරයෙකි. ඔහු ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘවේ. කර්තෘ මණ්ඩලයේ සැකසුම, මාධ්‍ය ආයතනයක වෘත්තිමය කාර්ය මණ්ඩලයක් බව කිව හැකිය. ඉන්ද්‍රානි පිරිස්, ලයනල් පෙරේරා, චන්ද්‍රිකා විජේසුන්දර, පී.බී.ඉලංගසිංහ, අජන්ත කුමාර අගලකඩ, ගාමිණි කන්දෙපොළ, සුගත් රබෙල්, චමින්ද මුණසිංහ, නිරෝෂන් ගොඩැල්ලගේ, රංජන් කස්තුරි ආදී දිනපතා ලංකාදීප කර්තෘ මණ්ඩලයේ ද ප්‍රේමකීර්ති රණතුංග, ප්‍රසන්න සංජිව තෙන්නකෝන්, සදුන් ගමගේ, ආදී ජේෂ්ඨ මාධ්‍යවේදීන්ගෙන් ඉරිදා ලංකාදීප සමන්විත වන අතර විජය පුවත්පත් සමාගමේ අද පුවත්පත, තවත් දක්ෂ තරුණ කර්තෘවරයෙක් වන කාංචන දසනායක සහ දේශයේ පුවත්පතේ කර්තෘ පදවිය හොඹවනු ලබන්නේ සම්මානලාභී ජේෂ්ඨ මාධ්‍යවේදියෙක් වන රන්ජිත් ආනන්ද ජයසිංහ විසිනි. මේ සියලු දෙනාම පාහේ උපාධිධාරීන් වන අතර විදෙස් පුහුණුව ලත් මාධ්‍යවේදීහු වෙති.

පිටපත් 140 000 ක් වූ දිනපතා ලංකාදීප පුවත්පතේ අලෙවිය අනු දාහක් දක්වා පහළට ඇද වැටුණේ කොවිඩ් සමය සහ කඩදාසි හිගය හේතුවෙනි. දිනපතා පුවත්පතක් ශ්‍රී ලංකාව වැනි රටක යා හැකි ඉහළම අගය ලෙස මෙම අලෙවිය වාර්තා විය. එසේම ඉරිදා ලංකාදීප සිය අලෙවිය ලක්ෂ පහේ සිට තුන් ලක්ෂ පනස්දාහ දක්වා අගයකට සීමා වුවද, අනෙක් සති අන්ත පුවත්පත් හා සසදන විට එය නොසැලකිය යුතු පහළ යෑමකි.

විජය පුවත්පත් සමුහයේ විශේෂත්වය වනුයේ එහි ඇති අතිශය සැලසුම් සහගත කළමනාකරණ ක්‍රියාවලියය. සියලු ස්ථාන සදහා පත්ව ඇති ප්‍රධානින් සහ සේවකයන් බොහොමයක් එම වෘත්තිය සදහා විශේෂඥභාවයක් සහිත පිරිස්ය. ඒ වැනි ගණයේ පිරිසක් සහිත ශ්‍රී ලංකාවේ එකම පුවත්පත් ආයතනය වන්නේ විජය පුවත්පත් සමාගම පමණය. වසර 15ක් පුරා අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පුවත්පත් සන්නාමය බවට ලංකාදීපය, ස්ලිම් නෙල්සන් සම්මානයට පාත්‍රවන්නේ මේ නිසාය. එසේම මෑත සමයේ සිදු කරන ලද සමීක්ෂණයක් අනුව වයස දහ අටට අඩු පරපුර අතර ජනප්‍රියම පුවත්පත වන්නේ ද ලංකාදීපයය.

පුවත් හි විශ්වාසිදායිභාවය, පරිපාලනය විසින් පුවත් සදහා සහ කර්තෘ මණ්ඩලය සදහා මැදිහත් නොවීම, කර්තෘ මණ්ඩලය සහ අනෙකුත් දෙපාර්තමේන්තු සදහා සිය වෘත්තිමයභාවය අනුව කටයුතු කිරීමට අවකාශ සලසාදීම, ප්‍රධාන කර්තෘ තනතුර සහ අනෙකුත් තනතුරු අඛණ්ඩව වසර ගණනාවක් එකම පුද්ගලයෙකු යටතේ පවත්වාගෙන යෑම මගින්, එම තනතුර සදහා සමාජයේ සහ අභ්‍යන්තර විශ්වසනීයත්වය තහවුරු කිරීම, පුවත්පත වෙනුවෙන් බාහිර සම්බන්ධතා පැවැත්වීම ඒ ඒ අංශ මගින් පමණක් සිදු කිරීම යන කරුණු මෙහි සාර්ථකත්වය සදහා හේතුන්ය. උදාහරණයක් ලෙස සභාපති රංජිත් විජයවර්ධනගේ ඥාති සම්බන්ධයක් සහිත කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන විධයකයෙකු වන අමිත ගුණරත්න සමග දැන්වීම් අංශයේ සහ ව්‍යාපාරික කර්තෘවරු සම්බන්ධතා පවත්වනු ලැබුවද, ඒ සදහා සභාපතිවරයා මැදිහත් නොවීම, දැක්විය හැකිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සභාපතිවරයා සමීප ඥාතීහු වෙන නමුත්, ජනාධිපතිවරයාගේ පුවත් සම්බන්ධයෙන් කර්තෘ මණ්ඩලයේ ජනාධිපති ආවරණ කටයතු සිදු කරන මාධ්‍යවේදියා සහ ප්‍රධාන කර්තෘ පමණක් සම්බන්ධතා පැවැත්වීම දැක්විය හැකිය. ජනාධිපතිවරයා වෙත ලංකාදීපයේ යම් පුවතක් පළ කර ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා හිමිකරු අමතා පලක් නොවන අතර එවැනි පුවතක් පළ කිරීමේ පුර්ණ බලය ඇත්තේ කර්තෘ මණ්ඩලයට පමණි.

හිමිකරු සිය සිවිල් බලය යොදවා තනතුරු නොගැනීම, විජය පුවත්පත් සමාගමේ කැපී පෙනෙන ගුණයකි. ඔහුගේ පුත් රුවන් විජයවර්ධන එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු වුවද ඒ සම්බන්ධයෙන් පුවත්පත බරපතල තැකීමක් සිදු කරන්නේ නැත.

සංවිධානාත්මක සහ පළපුරුදු දැන්වීම් සහ බෙදාහැරීම් අංශ හේතුවෙන් ලංකාදීපය රටේ ව්‍යාපාරික ප්‍රජාව අතර භාවිතාවන එකම පුවත්පත බවට පත්ව තිබේ. දැන්වීම් අංශ ප්‍රධානි සමන්ත වීරරත්න වෙත ඇති තීන්දු ගැනීමේ බලය සහ ඔහු වෙත කළමනාකාරිත්වය දක්වන අනුකුලභාවය නිසා, අන් සියලු පුවත්පත් එකට එකතු කළ ද ලැබෙන දැන්වීම් ප්‍රමාණයට වඩා දොළොස්  ගුණයක දැන්වීම් ලංකාදීපය සතුවේ.

කාර්යක්ෂම මුද්‍රණ හැකියාව සහ නවීන මුද්‍රණාල යන කරුණු අනුව, අවසන් මුද්‍රණය රාත්‍රී එක වන තෙක් පවතියි. තමන්ගේම වූ බෙදාහැරීම් යාන්ත්‍රණයක් සහ අනු බෙදාහැරීම් සිදු කරන කොන්ත්‍රාත් ප්‍රවාහනකරුවන් සදහා නියමිත පරිදි මුදල් ගෙවීම යන කාරණා හේතුවෙන්, උණුසුම් පුවත් සහිත සහ නිවැරදි මාධ්‍යවේදය සතු ලංකාවේ එකම පුවත්පත බවට ලංකාදීප පත්ව තිබේ. ලංකාවේ සියලුම පුවත්පත් මාධ්‍ය සතු හිමිකාරිත්වය එක් පරම්පරාවකින් අවසන් වන බව පෙනී යන්නේ පුහුණු සහ වයස් පරතරය පියවිය හැකි මට්ටමේ අනුප්‍රාප්තිකයන් නොමැති හෙයිනි, එසේ වුවත් විජය පුවත්පත් සමාගම සදහා සාර්ථක අනුප්‍රාප්තිකයෙකු සිටින හෙයින්, එය තව වසර ගණනාවක් කිසිදු තර්ජනයකින් තොරව සිය අංක එක ස්ථානය රැකගනිමින් සිටින බව පෙනේ.

ප්‍රධාන කර්තෘ තනතුර සදහා රුපියල් මිලියනයකට අධික වැටුපක් ලබා දෙන අතර ආධුනික මාධ්‍යවේදියෙක් සදහා ආරම්භක වැටුප රුපියල් හැටදාහක් වන විජය පුවත්පත් සමාගම, සේවක තෘප්තිය අතින් අන් කිසිදු, මාධ්‍ය නොවන ආයතනයකට පවා, දෙවැනි නොවේ. ආයතනය පිරිනමන රක්ෂණාවරණ සියලු සේවකයන්ට ඇති අතර, එය සේවකයන්ගේ පවුල් සදහා ද වලංගු වේ. විජය පුවත්පත් සමාගම  ශ්‍රී ලංකාවේ ලාභ ලබන එකම පුවත්පත් සමාගම හෙයින් ඒ සදහා බාහිර මුල්‍ය සහය අවශ්‍ය නැත. එසේ වුවත් එහි ආරම්භයේ සිටම ඇමරිකානු ආධාර ඒජන්සිය, වාර්ෂිකව ඩොලර් මිලියනක ප්‍රදානයක් ලබාදෙන බව නිරීක්ෂණය වි තිබේ. ද හින්දු පුවත්පතේ කාර්තෘ සහ හිමිකරු එන්.රාම්ගේ මැදිහත් වීම මත 2000 වසරේ සිට ඉන්දීය සංස්කෘතික පර්ෂදය නම් රෝ ඔත්තු සේවයේ මෙහෙයවීම සහිත ආයතනයක් ද මෙම ආයතනය සදහා මුල්‍ය ප්‍රදාන ලබාදෙන බව නිරීක්ෂණය වි තිබේ.

මේ හේතුවෙන් වත්මනේ ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානම වෘත්තිය පුවත්පත වන්නේ ලංකාදීපය බව පෙනේ.

ලංකාදීපයෙන් පසු වැඩිම අලෙවියක් සහිත පුවත්පත වන්නේ අරුණ පුවත්පතය. ලිබර්ට් නිව්ස් පේපර් ආයතනය ප්‍රකාශයට පත් කරන එහි හිමිකාරිත්වය දරන්නේ දිලිත් ජයවීර විසිනි. දෙරණ මාධ්‍ය ජාලයේ සවිබලය සහ ට්‍රයි ඇඩ් ආයතනයේ පිටු බලය හේතුවෙන් සිය වයසට වඩා ඉක්මනින්, මුහුකුරා යෑමේ හැකියාවක් අරුණ පුවත්පත ප්‍රදර්ශනය කළේය. දිලිත් ජයවීර, තිරය පිටුපස දේශපාලනයේ බල කණුවක් වුවද එම පුවත්පත ඒ සදහා භාවිතා නොකරන බව පෙනේ. විශේෂයෙන්ම මහින්ද ඉලේපෙරුම, ඉන්ද්‍රජිත් සුබසිංහ, මිහිරි ෆොන්සේකා, වරුණ අබේසේකර, සුන්දර නිහතමානී ද මැල්, උදයජිව ඒකනායක, ඉෂාර රත්නකාර, චමින්ද සේනාරත්න, නිලන්ත මදුරාවල, තිස්ස රවින්ද්‍ර, සාලිය කුමාර ගුණසේකර, හසිත කුරුප්පු, ලක්මාල් බෝගහවත්ත, වැනි ප්‍රමාණික මාධ්‍යවේදීන් රැසක් මෙහි සේවය කරති. මෙයින් ස්වල්ප දෙනෙකු උපාධි සහ පශ්චාත් උපාධිලාභී හු වෙති. සමහර දෙනා පිළිගත් විදෙස් පුහුණුව ලැබුවෝ වෙති.

දිනපතා අරුණ පුවත්පත සාර්ථකභාවයක් නොපෙන්වයි. එහි ප්‍රධාන කර්තෘ කුල ශ්‍රී කාරියවසම් විද්‍යුත් මාධ්‍යයේ ප්‍රවෘත්ති සංස්කාරවරයෙකු ලෙස සේවයේ නියුතුව සිටි සමයේ පවා සාර්ථක මාධ්‍යවේදයක නියැලුණු අයෙක් නොවීය. ඔහුගේ මාධ්‍ය නොහැකියාව දිනපතා අරුණ පුවත්පත සදහා බලපා තිබේ. ප්‍රධාන සිරස්තලය තෝරා ගැනීමේ දෝෂ, අසාර්ථක විශේෂාංග, වැදගත් ප්‍රවෘත්ති  මගහැරීම,ප්‍රදේශිය වාර්තාකරණයේ දුර්වලතා, ආදී දෝෂ බොහොමයක් හේතුවෙන් දිනපතා අරුණ පුවත් පත පවතින්නේ අතිශය දුර්වල තත්ත්වයකය. සති අග අරුණ පුවත්පත සාර්තකවිමෙහි ලා, එහි ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුමගේ ශක්‍යතාව බලපා ඇති පරිදිම, දිනපතා අරුණ පුවත්පත අසාර්ථක වීම කෙරෙහි කුල ශ්‍රී කාරියවසම්ගේ නොහැකියාව බලපා තිබේ.

අරුණ පුවත්පතේ හිමිකාරිත්වය දරණ දිලිත් ජයවීර, අධ්‍යාපන පසුබිම අනුව කොළඹ විශ්වවිද්‍යාලයයෙන් නීති උපාධිය ලබා තිබේ. ඔහු අතිශය ඉලක්ක සහගත දැන්වීම් නිර්මාණ සදහා වන මෙහෙයුම්කරුවෙකි. ඔහුගේ “අපි වෙනුවෙන් අපි” නම් දැන්වීම් පෙරළිය, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය අවසන් කිරීම සදහා වන යුද්ධයේදී සාමාන්‍ය ජනතා මතය හමුදාවන් වෙත නැඹුරු කිරීමට සමත්විය. පුවත්පත සදහා නායකත්වය ලබාදෙනවා හැර, දිලිත් ජයවීර එහි කර්තෘ මණ්ඩලය වෙත බලපෑම් නොකරන තත්ත්වයක සිටියි. රට තුළ විවිධ ස්ථරහි ඔහු ජනප්‍රිය පෞරුෂයක් බැවින්, ඔහුගේ බලපෑම පුවත්පතට නොවීම ප්‍රශංසා කළ යුත්තකි. ඔහුගේ සම්බන්ධතා අනුව පුවත්පත මෙහෙයවීමට ගියේ නම්, එම මාධ්‍ය ජාලයම ආසාර්ථක වනවා ඇත. ඔහු සතු මාධ්‍ය ජාලය, විද්‍යුත්, මුද්‍රිත සහ දැන්වීම් යන ආකාර තුනට අමතරව, ශ්‍රී ලංකාවේ අන්තර්ජාල මාධ්‍ය සදහා, ඔහුගේ ඇති ව්‍යාපාරික මැදිහත්භාවය, හේතුවෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය කිරුළ, විජයවර්ධන පරපුරෙන් ගිලිහි ජයවීරගේ හිස මත පැලෑදී තිබේ. පුවත්පත මගින් අයිතිකරු වෙත හිමි වන සිවිල් වටිනාකම හේතුවෙන් බොහෝ හිමිකරුවන් නොමග යෑම සිදුවේ. මේ නිසා පුවත්පතේ සදාචාරාත්මක ගුණය පළමුවද දෙවැනුව එහි ව්‍යාපාරික ස්වභාවය ද බිද වැටේ. මෙවැනි අත්දැකීම් ලෝකයේ බොහෝ තිබේ. දිලිත් ජයවීරගේ මුලිකත්වයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය සදහා තරග කළ අතර, එම කාලයේදී ගෝඨාභය උදෙසා මුළුමනින්ම අරුණ පුවත්පත සේවයේ යෙදුණේය. පසුව දිලිත් ජයවීර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නොනිල උපදේශකයෙක් ලෙස ක්‍රියා කළේය. එම රජයේ රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙකු ලෙස, වරප්‍රසාද අවම මුත් තනතුරක් බාර ගැනීම හේතුවෙන් අරුණ පුවත්පතේ මාධ්‍ය හිමිකාරිත්වය අවගුණයට ලක්විය.

වැටුප්, දීමනා සහ අනෙකුත් පහසුකම් අතින් බලන විට සේවක තෘප්තිය වැඩිම පුවත්පත් ආයතනය වන්නේ ලිබර්ටි නිව්ස්පේපර් ආයතනයයි. මේ සදහා වන ආර්ථික ස්ථායිභාවය දිලිත් ජයවීරගේ වෙනත් ව්‍යපාර සහ ට්‍රයි ඇඩ් දැන්වීම් ආයතනය ඔස්සේ ලැබේ.

පුවත්පතේ මුද්‍රණය ගුණාත්මකවේ. නවීන යන්ත්‍රානුසාරයෙන් පත්තරය මුද්‍රණය වන අතර, අවසන් සංස්කරණය රාත්‍රී දොළහටද අවශ්‍ය අවස්ථාවකදී එය පාන්දර තුන දක්වා, නගර මුද්‍රණයක් ලෙස එළි දැක්වීමේ හැකියාව ද තිබේ. දිනපතා අරුණ පුවත්පත පිටපත් විසි පන්දාහක් පමණ සහ සති අග අරුණ පුවත්පත පිටපත් ලක්ෂ එකහමාරක් පමණ අලෙවි වේ.

මව්බිම පුවත්පත ජනප්‍රිය වී ඇත්තේ, සමාජයේ අධ්‍යාපනය අඩු ත්‍රි රෝද රථ රියදුරන්, බාබර් සාප්පු හිමියන් වැනි ස්ථර අතරේය. එය ජනාමාධ්‍ය ආයතනයක් ලෙස සැලකිය නොහැකිය. හිමිකාරිත්වය විසින් පමණක් මෙහෙයවන පුවත්පතකි. මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු පමණක් වෘත්තිය මට්ටමේ සිටියි. බෙනට් රූපසිංහ, තිස්ස කොරතොට, උදේනි සමන් කුමාර, බිගුන් මේනක ගමගේ, අනුරාධා හේරත්,සජිත් ලියනගේ,ජේ.ටී.ද සිල්වා, විනිතා එම්.ගමගේ, සමන් ප්‍රියංකර නම්මුනිගේ, ආදී පිරිස සිටියද ඔවුන් අතර උසස් අධ්‍යාපනයක් ලැබූ සහ විදෙස් පුහුණුව ලැබූ පිරිස අවමය. එවැනි ගණයේ මාධ්‍යවේදීන් සියලු දෙනාම පාහේ ආයතනයෙන් නික්ම ගොස් තිබේ.

පිටපත් තුන්දාහක් දිනපතා ද පිටපත් පහළොස්දාහක් ඉරිදා ද ලෙස මව්බිම අලෙවිවේ.මව්බිම පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධුරය දරණු ලබන්නේ තිවංක බෙනරගම නම් පුවත්පත් පිටු සැලසුම් ප්‍රධානියෙකි. මෙම පත්වීම වෘත්තිය පුවත්පත් කලාවට නොගැලපේ. මිට පෙර මව්බිම පුවත්පතේ එක් කර්තෘ මණ්ඩලය ප්‍රධාන එක් කණ්ඩායමක් වෙන්ව ගිය අවස්ථාවේ, පුවත්පත සදහා ලබාදුන් දායකත්වය සැලකිල්ලට ගෙන සහ එහි හිමිකරුට අවශ්‍ය ආකාරයට, මුළුමනින්ම පුවත්පත, සංස්කරණය කිරීම සදහා බෙනරගම වැනි ලේඛකයෙකු නොවන රූකඩ කර්තෘවරයෙකු පත් කර ගත් බව පෙනේ. සිලෝන් නිව්ස් පේපර් ආයතනයේ හිමිකරු වන ටිරාන් අලස්, කළු සල්ලි හිමි ව්‍යාපාරිකයෙක් වන අතර, ඔහු ජාවරම්කරයෙකු ලෙස ද සැලකිය හැක. එල්ටීටීඊ ඩයස්පෝරාව, ඉන්දීය බුද්ධි අංශ විසින් මෙම ආයතනය සදහා මුල්‍ය බරපැන මුළුමනින්ම දරණ අතර කලක් කැපිටල් මහරාජා ආයතනයේ කොටස් අයිතියක් තිබුණි. වර්තමානය වන ඒබීසී මාධ්‍ය ජාලය හෙවත් හිරු නාලිකා අයත් ආයතනයට කොටස් අයිතියක් තිබේ.

සේවක වැටුප් අවම අතර, සේවක හිමිකම් නොමැත, තමන්ගේ මුද්‍රණාලයක් නොමැත. බෙදාහැරීම කොන්ත්‍රාත් පදනම මත සිදුවෙන අතර එහි ගාස්තු ගෙවීම් ආදිය සිදු නොවීම හේතුවෙන් බෙදාහැරීම් ජාලය කඩා වැටීමකට ලක්ව ඇත. ආයතනය සපුරා පාඩු ලබන මුත්, පුවත්පත මාර්ගයෙන් හිමිකරු වෙත ලැබෙන සමාජ තත්ත්වය සහ ව්‍යාපාරකරණය පවත්වා ගැනීමට පුවත්පත පවත්වාගෙන යයි. හිමිකරු උසස් අධ්‍යාපනයක් රහිත අයෙකි. මුල්‍ය සහ ව්‍යාපාරික දැනුමෙන් තොර අතර, ඔහුගේ දේශපාලන අභිලාෂය සදහා පුවත්පත සපුරා ඉලක්ක ගතව ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී, ඇමති ආදී තනතුර සදහා ඔහු පුවත්පත උපයෝගී කර ගනියි. පුවත් පතේ වෘත්තියභාවය කෙතරම් ගිලිහි ඇතිදැයි කිවහොත්, ප්‍රධාන පුවත පවා, හිමිකරුට මුදල් ලබාදී පළ කර ගත හැකිය. විශේෂාංග ආදිය පළ කරනු ලබන්නේ හිමිකරු වෙත ඍජුව ලැබෙන මුදල් සලකා හෙයින්, එය විශ්වාසනීයත්වයෙන් අවම ස්ථානයක සිටියි. දැන්වීම් නොමැති හෙයින් පුවත් ආදිය, අතයට විකුණා දැනට සුළු ආදායමක් උපාය ගනියි. මාධ්‍ය ආචාරධර්ම නොතකා සිය පුද්ගලික සහ දේශපාලන විරුද්ධවාදීන්ට පහරදීම හේතුවෙන් අපහාස නඩු ගණනාවකට මුහුණ දී ඇති අතර, එයින් නඩු කිහිපයක් පැරදීමට නියමිත තත්ත්වයක ඇති බව නීති අංශ පවසයි.

මුද්‍රණාලයක් තමනට හිමි නැති අතර බාහිර ආයතනයක් තම කොටස් ගෙවා තබා ගනිමින් පුවත්පත මුද්‍රණය කරයි. මෙම පුවත්පත අලෙවි කිරීම සදහා කිහිපවරක්ම උත්සාහ කළ මුත් ඒ සදහා වෙළද පොළ වටිනාකමක් නොමැති හෙයින් කිසිවෙකු ලංසු තැබීමෙන් වැලකි සිටියේය. නුදුරු දිනයකම ආයතනය වැසි යනු ඇති බවට අනාවැකි පළ කළ හැකිය. දැනටමත් සිය මිළදී ගැනීම් සහ බාහිර සේවා පාර්ශව වෙත මුදල් ගෙවා නොමැති අතර, එසේ ගතවෙන සය වෙනි මාසය මෙය වේ.

ලංකාවේ අලෙවියෙන් මෙන්ම පෙරළිකාරිත්වයෙන් අංක එකේ සිටි දිවයින පුවත්පත වර්තමානය වන විට ඇත්තේ වසා දමන ලද තත්ත්වයකය. දිවයින දිනපාතා සහ ඉරිදා යන දෙකම කොළඹ දිස්ත්‍රික්කයට පමණක් සිමා වි තිබේ. වසර හයක පටන් බංකොලොත් ආයතනයකි. දිනපතා දිවයින පුවත්පතේ අලෙවිය පිටපත් දාහක් වන අතර එය සිඝ්‍රයෙන් පහළ යෑමට පටන්ගෙන තිබේ. ඉරිදා දිවයින පුවත්පත පිටපත් අටදාහකට සීමාවී තිබේ. හිමිකාරිත්වය නීතියෙන් ඇත්තේ ලක්මිණි විජයවර්ධනට වුවත් දැනට පරිපාලන කටයුතු සිදු කරන්නේ, නිමල් වෙල්ගමය. ඔහු පාසල් අධ්‍යාපනය පමණක් ලද පුද්ගලයෙක් වේ. මාධ්‍ය පිළිබදව කිසිදු හැදෑරීමක් නැත. පාසල් අධ්‍යාපනය පමණක් ලද ඔහුගේ දියණිය ආයතනයේ පරිපාලනයට හවුල් වුවද ඒ සදහා කිසිදු පරිචයක් නොමැත. සියලු ආකාරයෙන් මව්බිම පුවත්පතේ හිමිකාරිත්වයට සමානය. ආයතනයේ සියලු අංශ වෘත්තිය භාවයෙන් තොරය. එම සියලු අංශ කඩා වැටී තිබේ. සේවක පිරිස දිනෙන් දින ඉල්ලා අස්වෙමින් සිටියි.

සේවක වැටුප් පවතින්නේ අසුව දශකයේ පරිදිය. මුලික සේවක හිමිකම් පවා අහිමි තත්ත්වයකි. ප්‍රධාන කර්තෘ ලෙස සේවය කරනු ලබන්නේ නිමල් වෙල්ගමය. ඔහුගේ අණ ක්‍රියාත්මක කිරීම සදහා දිනපතා සහ ඉරිදා පුවත්පතට දෙදෙනෙකු පත් කර තිබේ. විධායක කතෘ ලෙස දිනපතා දිවයින සදහා අත්දැකීම් බහුල මාධ්‍යවේදියෙකු වන නාරද නිශ්සංක පත් කර ඇත. බුලිත ප්‍රදීප් කුමාර, ශ්‍යාම් නුවන් ගනේවත්ත, ජනිත සෙනෙවිරත්න, මනෝජ් අබයදීර, චතුර පමුණුව, හේමන්ත රන්දුණු, උපාලි ද සේරම්, වසන්ත ලියනගේ, කිර්ති වර්ණකුලසූරිය, ඒමන්ති මාරබේ, ජූඩ් ඩෙන්සිල් පතිරාජ, නිශාන්.එස්.ප්‍රියන්ත, දිනේෂ් විතාන, සමන් ගමගේ, ජගත් කණහැරආරච්චි, තරංග රතනවිර, කුෂාන් සුබසිංහ, රනිල් ධර්මසේන, ඒ.ජේ.අබේනායක, යන උපාධි සහ පශ්චාත් උපාධිලාභින් කර්තෘ මණ්ඩලයේ සේවය කරන අතර, ඔවුන්ගෙන් බහුතරයක් විදෙස් පුහුණුව ලැබූ මාධ්‍යවේදීහුය.

කීර්තිමත් ඉතිහාසයක් ඇති ඉරිදා දිවයින සදහා ප්‍රධාන කර්තෘවරයෙකු නොමැති අතර, එහි පිටු සැකසුම් සහ සංස්කරණ කටයුතු සදහා සුරේෂ් ගමගේ පත් කර තිබේ. කර්තෘ මණ්ඩලයේ සිටින බහුතරය මාධ්‍ය පිළිබදව කිසිදු හැදෑරීමක් නොමැති හිමිකරුගේ ගම් ප්‍රදේශයේ පදිංචි සහ පුද්ගලික හිතවත් කම් මත බදවාගත් පිරිස්ය. ඔවුන් සතුව කිසිදු මාධ්‍ය සාක්ෂරතාවයක් නොමැති වුවත්, ආයතනයේ ප්‍රධාන තනතුරු රාශියක් සදහා එම පිරිස් පත් කර තිබේ. වැටුප් ලබාදිය නොහැකි තත්ත්වයක් කරා ආයතනය යොමුව ඇති හෙයින් මාසික වැටුප් ලබාදීමක් නැත. බෙදාහැරීම් ආදී අනෙකුත් සේවා සදහා ද ගෙවීම් වසර දෙකක් තිස්සේ විධිමත් නැත. අලෙවි නියෝජිත ජාලය කඩා වැටී තිබේ. එය කොළඹට පමණක් සීමාවී ඇත. තාක්ෂණය අතින් සිටින්නේ සිය ආරම්භක අවදියේය. අසුව දශකයට අයත් මුද්‍රණාලය දැන් අබලන්ව තිබේ. පුවත්පත සවස හත වන විට වැඩ කටයුතු අවසන් කරයි. එම හේතුව නිසා පිළුණු පුවත් පිරී තිබේ. ආයතනික රටාව පිරිහී ඇති හෙයින් සහ වැටුප් ප්‍රමාදය හේතුවෙන් අභ්‍යන්තර සොරකම් බහුලය.

උපාලි පුවත්පත් ආයතනයයේ සහෝදර සමාගමක් වන සිලෝන් චොකලට් ආයතනය මාර්ගයෙන් පුවත්පත වෙත මුදල් ලබාදුන්නද, සිලෝන් චොකලට් ආයතනයේ ලාභය අවමවීම තුළ එය ද නතර වි තිබේ. ගෝලීය දෙමළ සංසදය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, යුඑස් ඒඩ් ආයතනය, නොරාඩ් පදනම මෙහි හිමිකරු වෙත වරින්වර මුදල් ලබාදී තිබේ. ඉන්දීය තානාපති කාර්යාලයේ සම්බන්ධයක් මත මුදල් ලැබීමක් පවතින බව රාජ්‍ය බුද්ධි සේවය ආනාවරණය කරගෙන ඇත. ශ්‍රීලනිප – එජාප පාලන සමයේදී, මලික් සමරවික්‍රම විසින් මෛත්‍රීපාල පාර්ශ්වය වෙත පහරදීම සදහා වෙල්ගම වෙත මුදල් ලබාදෙන ලදී.

කොටස් වෙළද පොලේ බහුල ක්‍රියාකාරකම් සහිත ව්‍යාපාරික කණ්ඩායමක් සමග පුවත්පත් ආයතනය ප්‍රතිව්‍යුහගත කර, එහි කොටස් හිමිකම් විකිණීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවතියද, එය ද අසාර්ථක විය. ලබන වසර මුල වන විට ආයතනය සම්පුර්ණයෙන් බුන්නත් වී වසා දමනු ඇතැයි අපේක්ෂා කරයි. දැන්වීම් නොමැති හෙයින් පුවත් අවකාශය අත යටින් විකුණමින් මුදල් උපාය ගනියි. ප්‍රධාන පරිපාලක මෙයින් ලැබෙන සිවිල් තත්ත්වය උපයෝගී කර ගනිමින්, ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික, මුල්‍ය මණ්ඩල සාමාජික, ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති වැනි තනතුරු දරණු ලැබුහ. නිමල් වෙල්ගමගේ සහෝදරයාගේ දේශපාලන ඉලක්කය සදහා පුවත්පත ප්‍රධාන වශයෙන් අපහරණය කර තිබේ.

පරිවර්තන ලිපියක් වන මෙහි මුල් ලිපිය සැකසී ඇත්තේ ඉංග්‍රීසි බසිනි. සියලු දත්ත ඔක්තෝම්බර් මස මුල් සතියේ ලබාගත් ඒවාය. සමීක්ෂණය සදහා භාජනය කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පුද්ගලික පුවත්පත් ආයතන පමණි. රාජ්‍ය ආයතනයක් සේ සලකා ලේක්හවුස් ආයතනය මෙහිදී අතහැර තිබේ. සිංහල මාධ්‍ය පුවත්පත් සදහා පමණක් ද මෙය සීමාවී තිබේ.                                                                                                                                         

දිවන්ත යාලේගම 

(අනවර්ථ නාමයකි. රාජ්‍ය බුද්ධි කොට්ඨාශයේ ජේෂ්ඨ නිලධාරියෙකු ලෙස සේවය කළ මෙම නිලධාරියා, එහි ජාත්‍යන්තර සහ දේශීය තොරතුරු හුවමාරු අංශයේ ප්‍රධාන කර්තව්‍යක් ඉටු කළේය. දැනට ජාත්‍යන්තර බුද්ධි අංශ කිහිපයක් සමග ශ්‍රී ලංකාව පිළිබද තොරතුරු හුවමාරු කර ගන්නා ආයතනයක, සේවය කරනු ලබයි.)

( අන්තර්ජාලයෙන් ලැබුණු ලිපියකි )

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *