අල්ලස් පනත මැති ඇමැති වරුන්ට අදාළ නැහැ – විමල් වීරවංශගේ නීතිඥයෝ අධිකරණයට කියති

 

අල්ලස් පනත මැති ඇමැතිවරුන්ට බල නොපාන බවත්, එබැවින් තම සේවා දායකයා ඇමැතිවරයෙකුව සිටිය දී කළ ක්‍රියා සම්බන්ධයෙන් අල්ලස් පනත යටතේ නඩුවක් පවත්වාගෙන යා නොහැකි බවත්, හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ නීතිඥයෝ අද අධිකරණය ඉදිරියේ මුලික විරෝධතාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් හා මුදල් උපයාගත්තේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරු විසින් අද (26) කොළඹ මහාධිකරණය හමුවේ මෙම මූලික විරෝධතාව මතුකළහ.

එහිදී විත්තිකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහිව මෙම නඩුව අල්ලස් පනත යටතේ ගොනුකර ඇති බව සඳහන් කළේය.

අල්ලස් පනත යටතේ මෙවැනි චෝදනාවක් ඉදිරිපත් කළ හැක්කේ රාජ්‍ය නිලධාරීන්ට පමණක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා අමාත්‍යවරුන්ට එම පනත අදාළ නොවන බවත් පෙන්වා දී තිබේ.

තම සේවාදායකයා “රාජ්‍ය නිලධාරියා” යන ඝනයට ඇතුළු නොවන හෙයින් ඔහුට එරෙහිව මෙම චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවත් එය ප්‍රතික්ෂේප කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම මුලික විරෝධතාවය ඉදිරිපත් කරනු ලැබීය.

මේ අවස්ථාවේ දී, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම මූලික විරෝධතාවලට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටියාය.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය, නඩුව නැවත නොවැම්බර් මස 28 වනදා කැඳවන ලෙසත් එදින අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙසත් පාර්ශ්වකරුවන්ට නියෝග කළේය.

2010 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් හා මුදල් අයථා ලෙස උපයාගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට විමල් වීරවංශ මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *