ජන සභාව රටේ ප්‍රශ්න විසඳන්න හොඳම තැනක් – ආචාර් ය විශාඛා සූරියබණ්ඩාර

 

ජනතා සහභාගීත්වය තියෙන්නෙඡන්දය දෙනකොට විතරයි

ජනතාව ඍජුව ආණ්ඩුකරණයට සහභාගී කරගන්න ඕනෑ

මෙය ඉන්දියාවේ පංචායත් සංකල්පයට සමානයි

ජන සභා ක්‍රමයේ දේශපාලන භාවිතය අවම වෙන්න ඕනෑ

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනතාව හා නියෝජිතයන් අතර ඇත්තේ සීමිත සම්බන්ධයකි. මහජන ඡන්දයෙන් පත්වූ නියෝජිතයන් කරන කියන දේ සම්බන්ධයෙන් ජනතාවට බලපෑම් කළ හැකි වන්නේ නැවත මැතිවරණයකදී පමණී. මෙම දුරස්ථ සම්බන්ධය වෙනුවට ජනතාවට ඍජුවම පාලනයට හවුල් විය හැකි සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ගැන ආණ්ඩුවේ අවධානය යොමුව ඇත. ජන සභා නම් මෙම සංකල්පය ගැන හා ලෝකයේ වෙනත් රටවල් මෙම සංකල්පය ප්‍රජාතන්ත්‍රවාදය අර්ථවත් කිරීමට භාවිත කරන ආකාරය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ අංශ ප්‍රධානී, ආචාර්ය විශාඛා සූරියබණ්ඩාර දැක්වූ අදහස් මෙසේය.

 

l නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යටතේ මෙහෙයවන ආයතන ක්‍රමයක් දැනටමත් රට තුළ දකින්න ලැබෙනවා. ඒ පසුබිම තුළ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ක්‍රියාත්මක වන නව ආයතන ව්‍යුහයක් අවශ්‍ය වෙන්නේ ඇයි?

පාර්ලිමේන්තුව, පළාත් සභා හා පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑමේ අරමුණ ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමයි. මේ ආයතන තුළ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය දකින්න තිබුණා වුණත්, ජනතා පරමාධිපත්‍ය නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා ද යන්න ගැටලුවක්. මේ ව්‍යුහ තුළ ජනතාවට ඉඩක් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. එහෙත් සැබෑ ලෙසම ජනතාවට ඒවායේ ඉඩක් තිබෙනවාද යන්න ගැටලුවක්. ජන සභා පිළිබඳ අදහස එන්නෙ ඒ රික්තකය පිරවීම සඳහායි.

මේ ව්‍යුහ තුළ ජනතා සහභාගීත්වය ක්‍රියාත්මක වන්නේ ඡන්දය දීමේදි පමණයි. එතැනින් එහාට ආණ්ඩුවේ හෝ රාජ්‍යයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පුරවැසියාට දායකත්වයක් දීමට හැකියාවක් නැහැ. මැතිවරණයකින් පසු ඡන්දදායකයා හා නියෝජිතයන් අතර පවතින්නෙ දුරස්ථ සම්බන්ධයක්. මේ දුරස්ථභාවය යම් තරමකට නැති කර, සමාජයේ පරිධියේ සිටින කොටස් පාලන ව්‍යුහයට එක්කර ගැනීම ‘ජන සභා’ සංකල්පයෙන් උත්සාහ කර තිබෙනවා.

 

l ඒ අනුව ‘ජන සභා’ අදහස සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ලෙස සලකන්න පුළුවන්ද?

මේ සංකල්පය වරින්වර සාකච්ඡාවට ලක්ව තිබුණා වුණත්, ජන සභා අදහස මෝදු වීමට බලපෑ ආසන්න සිදුවීම වන්නේ අරගලයයි. එතැනදී නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශ්න කිරීමකට ලක් වුණා. ජනතාව විසින් නියෝජිතයන්ට පවරනු ලැබූ පරමාධිපත්‍ය බලය ඔවුන් අපේක්ෂා කෙරෙන ආකාරයෙන් ක්‍රියාත්මක කෙරෙන්නේ ද යන්න ප්‍රශ්න කෙරුණා. ජනතාව ඍජුව ආණ්ඩුකරණයට සහභාගී කරගත යුතු බවට ජන අරගලයේදී කියැවුණා.

‘ජන සභා’ අදහස, අපේ සමාජයේ අතීතයේ ක්‍රියාත්මක වූ ‘ගම් සභා’ සංකල්පයට සමානයි. “අතීතය නැවත සිදුවිය හැකිය” යනුවෙන් කාල් මාක්ස් පවසා තිබෙනවා. ජන සභා අදහස මා දකින්නේ අතීතය නැවත ක්‍රියාත්මක වීමක් විදියටයි.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ජනතාව තුළ තිබෙන ආකල්පය, වර්තමානයේ ඒ සම්බන්ධයෙන් දක්නට ලැබෙන වැකුම් තත්ත්වය, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ජනතා සහභාගීත්වය ලබා ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් සලකා බලන විට ‘ජන සභා’ සංකල්පය හොඳ විසඳුමක්. මේ සංකල්පය ඉන්දියාවේ ක්‍රියාත්මක වන පංචායත් රාජ්‍ය සභා සංකල්පයට සමානයි.

පංචායත් රාජ්‍ය ක්‍රමය යටතේ අකුරු කියැවීමේ හැකියාව නැති, දුප්පත් ගැමියන් පවා පාලනයට සම්බන්ධ කර ගැනීමට ඉන්දියාව සමත්ව තිබෙනවා. පංචායත් ක්‍රමය යටතේ ගැමි කාන්තා නායකත්වයක් බිහි කර ගැනීමට ඔවුන් සමත්ව තිබෙනවා.

ග්‍රාමීය අවශ්‍යතා ගැන මධ්‍යම ආණ්ඩුවට දන්වන ක්‍රමයක් හැටියට ඔවුන් පංචායත් ක්‍රමය භාවිතයට ගන්නවා. පර්ෂද 5ක් යටතේ, ධූරාවලි ක්‍රමයකට මේ ක්‍රමය ක්‍රියාත්මක කෙරනවා. මේ ක්‍රමය අපේ රටේ තිබුණ ගම් සභා ක්‍රමයට බොහෝ දුරට සමානයි.

ගමේ තිබෙන ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් එහි ජීවත් වෙන මිනිස්සුන්ට තිබෙනවා. පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ නියෝජිතයා හා පුරවැසියා අතර ගොඩනැඟෙන විශාල අවකාශය අඩු කිරීම මෙමඟින් සිදු වෙනවා.

පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25%ක් දක්වා සහතික කිරීමට හඳුන්වා දුන් කෝටා ක්‍රමය බොහෝ දුරට අකර්මණ්‍යව තිබෙනවා. ඒ වගේම තරුණයන්ට දුන් කෝටාව කපා දමා තිබෙනවා. රටේ දේශපාලන අනන්‍යතාව සම්බන්ධයෙන් සලකා බැලීමේදී මේ කොටස් දෙක ඉතාම වැදගත්. ඔවුන් බැහැර කර සමාජයක අනන්‍යතාව ගොඩනඟන්න බැහැ. ජන සභා සංකල්පයේ මේ කොටස් දෙක සම්බන්ධයෙන් විශාල අවධානයක් දක්වා තිබෙනවා.

ජන සභා සංකල්පය දේශපාලනයෙන් තොරව ප්‍රායෝගික තලයට ගෙන එන්න පුළුවන් වුණොත් එය ඉදිරිගාමී පියවරක් විදියට සලකන්න පුළුවන්.

 

l ජන සභා සංකල්පය තුළ පක්ෂ දේශපාලනයට ඉඩක් නැහැ. එහෙත් අපේ සමාජයේ සෑම තැනකම පක්ෂ දේශපාලනය දකින්න ලැබෙනවා. එවැනි තත්ත්වයක් තුළ මේ යෝජනාව යථාර්ථයක් කළ හැකි ද?

මිනිසා දේශපාලනික සත්ත්වයෙක්. ඒ ගැන විවාදයක් නැහැ. එහෙත් දේශපාලනික මිනිසා නිවැරැදි මාර්ගයට ගැනීමටත්, ඔවුන් නිවැරැදි ආකාරයට දේශපාලනය කිරීමට යොමු කිරීමත් කළ යුතුයි. ඒ සඳහා කොතැනකින් හෝ ආරම්භයක් ගත යුතුයි. ඒ ආරම්භය ගත හැකි හොඳම තැන තමයි සමාජයේ කුඩාම තැනින් ආරම්භ කිරීම. මේ වැඩපිළිවෙළ න්‍යෂ්ටිය කේන්ද්‍ර කරගත් වැඩ පිළිවෙළක් වෙනුවට පරිධියට යොමු වූ එකක්. ඒ නිසා ජන සභා ක්‍රමය අපේ රටට ගැළපෙන හොඳ සංකල්පයක්.

මෙතැනදි තව කාරණයක් අවධාරණය කළ යුතුයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පද්ධති නියාමනය මේ ආදී සෑම තැනකම ඉතා හොඳ අංග දකින්න ලැබෙනවා. එහෙත් මෙම හොඳ දේවල් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ගැටලුව මතු වෙනවා. දුර්වල තැන්, රිංගා යා හැකි තැන් දක්නට ලැබෙනවා. ජන සභා සම්බන්ධයෙන් ද මට එවැනි ප්‍රශ්නයක් තිබෙනවා.

කාන්තාවන්ට සියයට 25ක කෝටාව දීමේදීත් මේ තත්ත්වය දකින්න ලැබුණා. එහිදි ඉදිරිපත් කළ යුතු නියෝජිතයින් නම් කිරීමේ අවස්ථාව තිබුණේ අදාළ පක්ෂයේ සංවිධායක අතේ. අපි හැමදාම වෙනස් කරන්න උත්සාහ කරන පියාගෙන් පුතාට අවස්ථාව ලැබෙන මැකොටිසම් සිස්ටම් එක තවදුරටත් ශක්තිමත් කිරීමක් ඒ යෝජනාවෙන් වුණා. මේ සංකල්ප ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන වෙනම සාකච්ඡාවක් ඇති විය යුතුයි.

ජන සභා මණ්ඩපය දේශපාලන භාවිතය අවම තැනක බවට පත් කරන්න පුළුවන් නම් වැඩි ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. එවිට සුදුසු ප්‍රාදේශීය නියෝජිතයන් පත් වීමට, ජනතා ගැටලු ඉහළට දැන්වීමට ජන සභා ක්‍රමයෙන් විශාල ඉඩක් ලැබෙනවා.

පළාත් පාලන ආයතන, පළාත් සභා වැනි ව්‍යුහ ගොඩනඟනු ලැබුවේ ක්‍රමයේ තිබෙන අඩුපාඩු වසා ගැනීම සඳහායි. අපට තවත් ව්‍යුහයන්ට ගමන් කිරීමට සිදුව තිබෙන්නේ ඒවා යම්තාක් දුරට නිශේධව තිබීම නිසායි. තව තවත් අලුත් ආයතන ඇති කිරීමේ තේරුම මෙහි විශාල දුර්වලතාවක් ඇතිව තිබීමයි. එවැනි තත්ත්වයක් තුළ දී සමහර දුර්වල ආයතන ඉවත් කිරීමට යොමුවන ගමන්ම, ගම මූලික කර ගත් මෙවැනි නව ආයතන ගොඩනඟන ක්‍රමයක් ගැන හිතන්න සිදු වෙනවා. ඒ සඳහා ජනතා සහභාගීත්වය ලැබෙන ප්‍රායෝගික ආයතන ව්‍යුහයක් සකස් කර ගන්න පුළුවන් නම් එය වැදගත් උත්සාහයක් විදියට මා දකිනවා.

 

l ග්‍රාමීය ජන සභා සඳහා නියෝජිතයන් තෝරා ගැනීම කෙරෙන්නෙ ලොතරැයි ක්‍රමයක් වැනි අහඹු ආකාරයකටයි. ඊළඟට ඔවුන්ට පැවරී තිබෙන්නෙ ජූරියක කාර්යභාරයයි. මෙය ගැටලු සහගත නැද්ද?

ජන සභා කෙටුම්පතේ මහා සභාවක් හා කාරක සභාවක් යෝජනා කර තිබෙනවා. ඒ වගේම අවු: 16ට වැඩි සියලුම පුරවැසියන් මෙයට සම්බන්ධ කරගැනීමට යෝජනා කර තිබෙනවා. එය ඉතා හොඳ යෝජනාවක්.

ගමට බලපාන තීරණ නැත්නම් අනුනීති සකස් කිරීමේ බලයක් මේ යෝජනාවෙන් ග්‍රාමීය ජන සභාවට දී තිබෙනවා. මම හිතන්නෙ මේ වචනය ගැටලු සහගතයි.

නීති හැදීමේ හැකියාව ඇත්තේ පාර්ලිමේන්තුවට නිසා එයට පිටින් තිබෙන ආයතනයකට නීති හදන්න බැහැ. වෙනත් ආයතනයකට හදන්න පුළුවන් රීති පමණයි.

ජන සභාවේ සංයුතිය ගත් විට නිල බලයෙන් පත් වෙන රාජ්‍ය නිලධාරීන් හා තේරී පත්වන පුරවැසියන් යන දෙපිරිසම නියෝජනය වෙනවා. ග්‍රාම නිලධාරි, වසමේ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් ප්‍රදේශීය ලේකම්ගේ අනුමැතිය ඇතිව නිල බලයෙන් පත් වෙනවා. 15-25 අතර, ප්‍රමාණයක් කාරක සභාවක් විදියට පත් වෙන අතර ඔවුන්ගෙන් සභාපතිවරයකු පත්කර ගන්නවා.

 

l පවතින ව්‍යස්ථාව තුළ පාර්ලිමේන්තුවට සමාන්තර වෙනත් බල ව්‍යුහයක් ගොඩනැංවිය නොහැකි බවට ආණ්ඩුවේ සමහර පාර්ශ්ව අදහස් දක්වා තිබෙනවා. ඒ මතයට පදනමක් තිබෙනවා ද?

අපට ආසන්න රටක් වන ඉන්දියාවේ මෙන්ම, අමෙරිකාවේ ද මේ වගේ බල ව්‍යුහ ක්‍රියාත්මක වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගැනීමට ජන සහභාගීත්වය හැකිතාක් යොදා ගැනීමට උත්සාහ කළ යුතුයි. අපේ රටේ හැම තැනකම බල ව්‍යුහයක්ම පාහේ සකස්ව තිබෙන්නේ ඒකාධිකාරයක් ගොඩනැඟෙන ආකාරයටයි. ජනතා පරමාධිපත්‍ය රැකෙන ආකාරයේ විධිවිධාන ප්‍රමාණවත් ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා කියලා කියන්න බැහැ. සෑම විධිවිධානයක්ම පාහේ අවසානයට ගත් විට සකස් කර තිබෙන්නෙ පාලිතයා වෙනුවෙන්. එය ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුවක්. ඒ නිසා ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය සොයාගෙන යන්න සිදුව තිබෙනවා. එවැනි අවස්ථාවක මේ වගේ හොඳ යෝජනාවලට විරුද්ධ වීම මම දකින්නෙ බල ඒකාධිකාරය තහවුරු කර ගැනීමට ගන්නා උත්සාහයක් විදියටයි.

ජාතික ජන සභාවට පාර්ලිමේන්තු කටයුතුවලට සම්බන්ධ වෙන්න පුළුවන් නිරීක්ෂණ මට්ටමින් පමණයි. ග්‍රාමීය ප්‍රදේශවල පවතින අඩුපාඩු ගැන කතා කරන්න පෞද්ගලික යෝජනා මඟින් මන්ත්‍රීන්ට ඉඩ සලසා තිබුණත්, ඒවා භාවිත කරන බවක් පෙනෙන්න නැහැ. ජනතාවගේ දැවෙන ප්‍රශ්න මේ සභාව තුළ කතා කෙරෙන බවක් පෙනෙන්න නැහැ. ජන සභා යෝජනාවට විරුද්ධ වෙන අය නම් පාර්ලිමේන්තුවේ ව්‍යුහය මෙයට වඩා වෙනස් කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ජනතා පරමාධිපත්‍ය තහවුරු වන ආකාරයේ ක්‍රියාවලියක් සෑදිය යුතුයි. ජනතාව අලුත් ව්‍යුහ ඉල්ලා සිටින්නේ තිබෙන ව්‍යුහය විශ්වාස නොකළ නිසයි. ජන සභා ඉල්ලීම මතු වෙන්නේ ඒ සඳහායි. ජනතාවගේ ගැටලු ගම්මට්ටමින් විසඳා ගැනීමට ලැබෙන අවස්ථාවක්. 22 වැනි සංශෝධනය ඒ සඳහා ගන්නා තවත් හොඳ උත්සාහයක්. සභාපතිවරයා පත් කිරීමේදී අප වඩාත් සැලකිලිමත් විය යුතුයි. එතැනදි දේශපාලනය මැදිහත්වීමට ඉඩ නොදිය යුතුයි.

තෝරා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ මේ යෝජනාවේ නිශ්චිත පිළිතුරක් නැහැ. ඒකට අපට පංචායත් ක්‍රමයෙන් උත්තරයක් සොයාගන්න පුළුවන්. පංචායත් සභාව රැස් වෙලා ඔවුන් වඩාත් පිළිගන්නා තැනැත්තා හෝ තැනැත්තිය නියෝජිත විදියට පත්කර ගන්නවා. එතැනදි ඔවුන් වැඩි වශයෙන් සලකා බලන්නේ ගම පිළිබඳ වැඩි වශයෙන් හඳුනාගත්, මුහුකුරා ගිය දැනුමක් ඇති නැනැත්තකු පත්කර ගැනීමටයි.

අනෙකුත් යෝජනා සමඟ සාපේක්ෂව බැලූ විට කාන්තාවක් හෝ තරුණයකු සභාපති තනතුරට පත් කිරීම දිරිමත් කළ යුතුය කියන යෝජනාව මම සියයට 100ක් පිළිගන්නවා. එහෙත් ඒක වෙන විදිය ගැන ප්‍රශ්න තිබෙනවා. තෝරා පත්කර ගන්නා ක්‍රමය පිළිබඳ විනිවිද පෙනෙන තත්ත්වයක් නොතිබුණොත් මේ යෝජනාවත් පළාත් සභා වගේම සුදු අලියෙක් වෙන්න පුළුවන්. එහෙත් මේ යෝජනාවේ වැදගත්ම අංගය සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමයි.

 

l සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස සාකච්ඡාවට යළි මතු වීමට බලපෑ හේතුව කුමක්ද?

සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සාකච්ඡා ඇවිත් තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේදී ගැටලු තිබෙන නිසයි. සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය නැතුව ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කරන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ජනතා සහභාගීත්වය ලැබිය යුතුයි. ජන සහභාගීත්ව නැති පාලනයක් දේශපාලන විද්‍යාවේ හඳුන්වන්නේ ඒකාධිපති තත්ත්වයක් විදියටයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයෙදී මිනිස්සු ඒ සමඟ ගැටිය යුතුයි. ඔවුන් ඒ සමඟ සංවාද කළ යුතුයි. එහෙම නැතිව ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින්න බැහැ.

පාර්ලිමේන්තුවට බැහැරින් මේ වගේ ආයතනයක් ඇති කිරීම මඟින් තැන් දෙකක බලතල ව්‍යුහ දෙකක් ගොඩනැඟෙන බවට කවුරුන් හෝ කියනවා නම් ඒක සාවද්‍ය අදහසක්.

පාර්ලිමේන්තුව එහි කාර්යභාරය තේරුම්ගත යුතුයි. ජන සභාවට නීති හදන්න බැහැ. ඔවුන්ට පාර්ලිමේන්තුව යම් යම් දේ ගැන දැනුම් දීම් කරන්න පුළුවන්. ජනතාව පාරට එන්නේ ඒ පෙලැඹවීම කරන්න ඔවුන්ට වෙනත් තැනක් නැති නිසයි. ජන සභා වගේ තැනක් තිබුණා නම් ඒ හඬ ඔවුන්ට එතැනදි නඟන්න පුළුවන්. ජන සභා අදහස පිළි නොගන්නවා නම් මිනිස්සුන්ගේ අදහස්, යෝජනා ප්‍රකාශ කරන්න තැනක් සකස් කළ යුතුයි. එහෙම නැත්නම් ජනතාවට මේ සාකච්ඡාව ගෙනියන්න තැනක් නැති වෙනවා. මම දකින ආකාරයට ජන සභා කියන්නේ මිනිස්සුන්ගෙ අදහස් ප්‍රකාශ වෙන ඒ ආකාරයේ වේදිකාවක්. ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහෙමින් තිබෙන අවස්ථාවක, එය තහවුරු කිරීම සඳහා ලැබුණු අවස්ථාවක්.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ අංශාධිපති,

ආචාර් ය  විශාඛා සූරියබණ්ඩාර

 

චන්දන ජයවීර

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *