සම්බන්ධන්ගේ මාතර ප්‍රකාශය හා රනිල්ගේ නො කෙරෙන වෙදකම – අජිත් පැරකුම් ජයසිංහ

ත්‍රිවිධ හමුදාවක් රටට අවශ්‍යයි. මුදල්, ආගමන හා විගමන, විදේශ වැනි කටයුතු මධ්‍යම රජය යටතේ තිබිය යුතුයි. රට බෙදීමට අපේ පක්ෂය කැමැති නැහැ. තව යුද්ධයකටත් අපි කැමති නැහැ. යුද්ධයේ ආදීනව අපි දන්නවා. යුද්ධයක් ඇතිවිය හැකි මාර්ග නැති කිරීමට අපි සූදානම්.– විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මාතරදී

ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ දෙමළ ජාතියේ නියෝජිතයන්ගේ නායකයා වන ආර්. සම්බන්ධන් මාතරදී කරන මේ ප්‍රකාශය දේශපාලනිකව ඉතා වැදගත්.

ජාතියක් ලෙස දැඩි අසාධාරණයන්ට ලක් වීමෙන් පසුව, බලය බෙදා ගැනීම ඔස්සේ සංහිඳියාවකට පැමිණෙන්නට බණ්ඩාරනායක-චෙල්වනායගම් හා ඩඩලි-චෙල්වනායගම් ගිවිසුම්වලින් දැරූ උත්සාහයන් අසාර්ථක වීමෙන් පසුව, වෙනම රාජ්‍යයක් වෙනුවෙන් කළ තිස් අවුරුදු යුද්ධයකින් පසුව, පරම්පරා ගණනාවක දෙමළ හා සිංහල රුධිර පතනයකින් පසුව, දෙමළ ජාතියේ නායකයෙකු කරන මේ රැඩිකල් ප්‍රකාශයෙන් පසුව දැන් සිංහල ඔබ කියන්නේ කුමක් ද?

විමල් වීරවංශ නම් කියනු ඇත්තේ මෙසේ ය: “ඔහොම කියයි. හැබැයි බලය බෙදා ගත්තට පස්සෙ එතන ඉඳලා ආපහු ඊලාම් සටන පටන් ගනියි.”

එවැනි අසුබවාදී කතා කියන එක ඉතා පහසු ය. එසේම, ඒවාට පිළිතුරු දෙන්නට කිසිවෙකුට හැකියාවක් නොමැත. මන්ද, අනාගතය ගැන කළ හැක්කේ අනුමාන පමණි. ඉහත ප්‍රකාශයේ තිබෙන්නේ ද අනුමානයක් පමණි. එය එසේ ම වනු ඇතැයි කිසිවකුට කිව නො හැකි ය. එහෙත්, එය ජාතිවාදයෙන් ඔද්දල් වූ සමාජයකට ගිල්වන එක ඉතා පහසු ය. දෙමළ සමාජය තුළ ද, සිංහලයා විශ්වාස කළ නො හැකි ය යන මතය ගිල්වන එක ඉතා පහසු ය.

දැන් ඉතින්, පන්දුව ඇත්තේ ආණ්ඩුව පැත්තේ ය. රනිල්, ඔබ කරන්නේ කුමක් ද? එට්කා සම්බන්ධයෙන් තීන්දු ගැනීමට ඔබට ගැඹුරු සාකච්ඡා නැත. එක්සත් වෘත්තික ව්‍යාපාරය පසුගිය සතියේ පදනම් ආයතනයේදී රැස්වීමක් පවත්වමින් ඉල්ලා සිටි ආකාරයට ආර්ථීක විශේෂඳයින් ඇතුළු අවශ්‍ය කරන සියලුම විෂයානුබද්ධ විද්වතුන් සහිත ජනාධිපති කොමිසමක් පත් කරලා, අවශ්‍ය කරන උපරිම කාලය ගෙන, රටේ ආර්ථීකය පිලිබඳව විධිමත් අධ්‍යයනයකින් පසුව, රටේ තිබෙන ආර්ථික ගැටලුව හඳුනාගෙන, ඉන් පසු ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධයෙන් නීතිමය රාමුවකුත් සකසා ගන්නා තෙක් ඉන්දියාව වැනි බලවත් රාජ්‍යයන් එක්ක ආර්ථික සහයෝගිතා ගිවිසුම් අත්සන් කරන්න එපාලු.

ඉන්දු ලංකා ආර්ථික සහයෝගිතාව සම්බන්ධයෙන් ඔබ මේ නො කෙරෙන වෙදකම පිළි ගන්නවා ද?

එහෙත්, ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් යෝජනා කිරීම සම්බන්ධයෙන් ඔබ කරමින් ඉන්නේ එය ම නො වේ ද? 2009න් පසු මහින්ද රාජපක්ෂත් කළේ ඔය ටික ම ය.

විවිධ කමිටු ආදිය පත් කරමින් කල් ගන්නට පුළුවන්. එහෙත්, අවංක ආධ්‍යාශයකින් යුක්ත නායකත්වයක් නැතිනම් කිසිවක් සිදු වන්නේ නැත. මන්ද, නපුරට නායකත්වය දීමට ඕනෑ තරම් පාදඩයන් දේශපාලනය තුළ සිටින බැවිනි.

W3Lanka

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *