|

මහජන පීඩාව අපරාධමය වරදක් – ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු

 

ජනහිතකාමී පොලිස් සේවාවක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සිදු කළ යුතු වෙනස්කම් මොනවාදැයි රජයට නිර්දේශ කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව මඟින් ජාතික කතිකාවක් ආරම්භකර තිබේ. මේ කතිකාව, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, පොලිසියේ උසස් නිලධාරීන් සහ උගත් බුද්ධිමත් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ. මේ පිළිබඳ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති සහ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා දිනමිණ සමඟ කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකි මේ. මේ එම සාකච්ඡාවේ හඬයි.

 ජාතික පොලිස් කොමිෂන් සභාව ආරම්භ කිරීමේ පරමාර්ථ සහ එහි ඇති ව්‍යවස්ථානුකූල බලතල පිළිබඳ කතා කළොත් ..?

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනයේ තමයි ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ව්‍යවස්ථානුකූලව බලය ලැබීමක් හිමිවී තිබෙන්නේ. පොලිස් නිලධාරියෙකුට හෝ පොලිස් බළකායට එරෙහිව රටේ සාමාන්‍ය පුරවැසියකුගෙන් හෝ පොලිසියේ සේවය ලබා ගැනීමට යෑමේදී යම් අතෘප්තියට පත් තැනැත්තෙක්ගෙන් හෝ ඔවුන්ට එරෙහිව ලැබෙන පැමිණිලි භාරගැනීම අප කොමිසමේ වගකීමයි. ඒ පිළිබඳව විමර්ශනය කිරීම, පාර්ලිමේන්තුවේ පනවා ඇති නීත්‍යානුකූල විධිවිධානවලට අනුකූලව එම මහජන පැමිණිලිවලට සහන සැලසීම කොමිසමේ අරමුණයි.

පොලිසියේ සේවය ලබා ගැනීමට යෑමේදී සාමාන්‍ය පුරවැසියකුට යම් අකටයුත්තක්, අගතියක් සිදු වුණොත් ඒ පිළිබඳ පැමිණිලි කිරීමට තිබෙන ආයතනය ජාතික පොලිස් කොමිසමයි. මෙයට ලැබෙන පැමිණිලිවලට සහනදායී පිළිතුරක් පුරවැසියන්ට ලබා ගැනීමට හැකිවිය යුතුයි නේද?

කිසිම තර්කයක් නැහැ. අනිවාර්යෙන්ම පුරවැසියන්ට සහනයක් සැලසිය යුතුමයි.

කොමිසමට ලැබෙන මහජන පැමිණිලි විමර්ශනය කිරීමට නීතිමය ක්ෂේත්‍රය පිළිබඳ ඉහළ දැනුමක් විමර්ශන නිලධාරීන්ට තිබිය යුතුයි. එසේ තිබෙන නිලධාරීන් සිටියත් වැඩි පිරිසක් එවන් හැකියාවක් නොමැති බවටයි සමාජයේ මතය තිබෙන්නේ. මෙය ජය ගැනීමට ඔබ කොමිසම කටයුතු කරන්නේ කෙසේද?

කොමිසමට ලැබෙන මහජන පැමිණිලි සම්බන්ධයෙන් අත්දැකීම් මූලික කර ගනිමින් අපි දිගුකලක් තිස්සේ අධ්‍යයනයක නිරත වුණා. පොලිස් සේවය සැපයීමේදී මූලික ඉලක්කය වන අපරාධ විමර්ශනයේදී සිදුවන අඩුලුහුඩුකම් නිසා මහජනතාව හා පොලිසිය අතර ඇති සුහදතාවය පලුදුවීමක් සිදුවෙනවා. ඒ සමඟම පොලිස් විමර්ශකයින් සම්බන්ධව මහජනතාවගේ පවත්නා අඳුරු ආකල්පය දුරු කිරීමක් සිදුකළ යුතුයි. පොලිස් නිලධාරීන්ට එරෙහිව විවිධ පැමිණිලි විමර්ශනයේදී අප දැනගත් එක්දෙයක් තමයි සුහදශීලි පොලිස් සේවයක් නිර්මාණය කිරීමට කාලය පැමිණ තිබෙන බවයි. මේ නිසාම තමයි පොලිසියේ නිලධාරීන් වෙත මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි විභාග කිරීමට යෑමේදී ඔවුන්ගේ නිපුණතාව ඉහළ නැංවීමට, දැනුම්වත් කිරීමේ වැඩසටහන් රාශියක් ආරම්භ කළේ. මේ වැඩසටහන්වලින් පොලිස් නිලධාරීන්ගේ නීතිය සම්බන්ධයෙන් දැනුම වගේම පොලිස් බලතල පිළිබඳ දැනුමත් වැඩිකිරීමට කොමිසම කටයුතු කරනවා. මහජනතාවට හිතකාමී පොලිස් සේවයක් බිහිකිරීම සඳහා නෛතික කරුණු සම්බන්ධව මනා දැනුමක්, අවබෝධයක් පොලිස් නිලධාරීන් සතුව තිබීම ඉතා වැදගත් බව අප හඳුනාගෙන තිබෙනවා.

මහජන පැමිණිලි විමර්ශනයේදී පොලිස් නිලධාරීන් සතුවිය යුතු අත්‍යවශ්‍ය සහ මූලික නීති සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?

සාමය ආරක්ෂා කිරීම සඳහා සහ යහපත් හැසිරීම සඳහා වූ ඇපය පිළිබඳ, විශේෂයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 81වැනි වගන්තියෙන් දක්වා ඇති මෙම නෛතික ප්‍රතිපාදනය පොලිස් නිලධාරීන් විසින් අවභාවිතයට ලක් කරන බවට වැඩි වශයෙන් වාර්තා වෙනවා. ඒ අනුව අප කොමිෂන් සභාව විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 81වෙනි වගන්තිය ප්‍රකාරව යමෙකුට ඇප දීමේ නීතිය පිළිබඳව වැඩි අවධානයක් යොමුකොට ඒ ගැන නිලධාරීන්ට කියා දීමට කටයුතු කළා. මෙහිදී අපරාධ වැළැක්වීමේ යුක්තිය අනුව අනාගත විෂමාචාර පිළිබඳ සැක කිරීමට හැකි පුද්ගලයන් සම්බන්ධව යම් බැඳීමකට යටත් කර, ඔවුන් හොඳ හැසිරීමේ ගමන් මාර්ගයට ප්‍රවිශ්ඨ කරවීම මඟින් සමාජයේ සිදු විය හැකි අපරාධමය වැරැදි වළක්වා ගත හැකි බව පොලිස් නිලධාරීන්ට පැහැදිලිව දැනුම්වත් කර තිබෙනවා.

යම් අයකු තමන්ට සිදු වූ අසාධාරණයක් පිළිබඳ පොලිසියට පැමිණිලි කළ විට විත්තිකරුවන් පොලිස් ඇප මත නිදහස් කිරීම පැමිණිලිකරුට අගතියක් විය හැකියි. එවැනි දේ වැළැක්වීමට කටයුතු නොකළ බවට තමයි ගොඩක් චෝදනා නැගෙන්නේ. ඒ නිසාද ඇප ලබාදීමේ නීතිමය කටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට ක්‍රියා කළේ?

ඔව්. එය අප ඉතා තදින් අවධානයට යොමුකළ කටයුත්තක්. ඇප ලබාදීමේ වගන්ති 81, 82, 83, 84, 87 යනාදී සම්බන්ධයෙන් අප දැඩිව අපේ නිලධාරීන්ට කියා දී තිබෙනවා.

රට තුළ පවතින විවිධ විරෝධතා උද්ඝෝෂණවලට සහභාගි වන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී මහජනතාව පීඩාවට පත් වන බවට චෝදනාවක් තිබෙනවා. එය වැළැක්වීමට ජාතික පොලිස් කොමිසම අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවාද?

මහජන පීඩාවන් සිදු වන බවට පොලිස් ස්ථාන වෙත හා අප කොමිසමට පැමිණිලි විටින් විට ලැබෙනවා. මෙහිදී අප තේරුම් ගත් එක් කරුණක් තමයි දැනට ශ්‍රී ලංකාවේ පවතින මහජන පීඩාව වැළැක්වීමේ නීතිය සම්බන්ධයෙන් පුළුල් විග්‍රහයක් හෝ කතිකාවක් පොලිස් නිලධාරීන් විසින් සිදුකර නැති බව. ඒ වගේම පොලිසිය සතු කාර්ය බාරය පිළිබඳ දැනට පවතින නීති රීති පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රමාණවත් තරම් දැනුමක් ලබා නැතැයි චෝදනාවක් නැගෙනවා. ඒ නිසාම අප මහජන පීඩාවක් යන්න කුමක්ද? මහජන පීඩා වර්ග මොනවාද? යනාදිය ගැන පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැඩි වශයෙන් කරුණු කියා දී තිබෙනවා.

ඒ පිළිබඳ තව දුරටත් විග්‍රහයක් කළ හැකිද?

පීඩා වර්ග රාශියක් තිබෙනවා. නීතිමය වර්ගීකරණයට අනුව පීඩාව කොටස් තුනකට බෙදා දැක්විය හැකියි. පුද්ගලික පීඩා, මහජන පීඩාව සහ ව්‍යවස්ථාපිත පීඩාව එම කොටස් තුනයි. පුද්ගලික පීඩාවක් සිදු වූ විට ඊට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග ගැන සඳහන් වන්නේ සිවිල් නීතියේයි. පුද්ගලික පීඩාවකට එරෙහිව දිසා අධිකරණයේ නඩු පැවරිය හැකියි. පීඩාව නතර කිරීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීමට අමතරව වන්දි මුදලක් ඉල්ලා සිටිය හැකියි. මේ සඳහා අදාළ වන්නේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ සහ අධිකරණ සංවිධාන පනතේ දක්වා ඇති ප්‍රතිපාදනයි. මේවා පිළිබඳ අපි නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

ඒ වගේම මහජන පීඩාව අපරාධමය වරදක්. ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ දක්වා ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ සහ දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදනයි. මේවා ගැනත් අප නිලධාරීන් දැනුම්වත් කර තිබෙනවා.

තුන්වැන්න ව්‍යවස්ථාපිත පීඩාවයි. ව්‍යවස්ථාපිත පීඩාව ද අපරාධමය වරදක්. මෙයින් අදහස් වන්නේ කිසියම් ව්‍යවස්ථාවක් මඟින් හඳුන්වාදී ඇති වරදක් ගැනයි. නිදසුනක් ලෙස ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 261වැනි වගන්තිය මඟින් මහජන පීඩාව දණ්ඩනීය වරදක් ලෙස දක්වා තිබෙනවා. ඒ අනුව මහජන පීඩාවක් ලෙස අර්ථදක්වා ඇති වරද ව්‍යවස්ථාපිත පීඩාවක් වෙනවා. මිනිසුන්ට අමතරව සතුන්ට සිදුවන පීඩාව වැළැක්වීම සඳහා පරිසරය ආරක්ෂා කිරීම සඳහා ද අතීතයේ පටන් විවිධ අණ පනත් සම්මත වී තිබෙනවා. මේවා ක්‍රියාත්මක කිරීමේ බලතල පළාත් පාලන ආයතන සතුයි. මේ ආකාරයේ පීඩා සිදුවන්නේ නම් ඉන් මිදීමට සහනයක් ඉල්ලා මහජනතාව කටයුතු කළ යුත්තේ කෙසේ දැයි අප කොමිසම විවිධ සම්මන්ත්‍රණ, වැඩමුළු පවත්වමින් ජනතාව දැනුම්වත් කර තිබෙනවා. ඉදිරියටත් සිදු කරනවා. ඒ වගේම පොලිස් නිලධාරිනුත් හැකි තරම් මේවා සිදු නොකොට කටයුතු කළ යුතු බවට අප දැනුම්වත් කර තිබෙනවා.

මහජන පැමිණිලි අඩු සුහදශීලි පොලිස් සේවයක් ඇති කිරීමට පොලිස් නිලධාරීන් නීතිය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට ඔබ කටයුතු කරනවා. එම ක්ෂේත්‍ර පිළිබඳ පැහැදිලි කරන්න පුළුවන්ද?

අප මහජන පැමිණිලි ලැබෙන අංශ අඩු කිරීමට කටයුතු කරනවා. එහිදී 1988 අංක72 දරණ සමත මණ්ඩල පනත, ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාර හා දේවාලගම් නීතිය, පොලිස් ස්ථාන වෙත වැඩිහිටියන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සහ වැඩිහිටියන්ට එරෙහිව වැරැදි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ නීතිය පිළිබඳ නිලධාරීන් දැනුම්වත් කර තිබෙනවා. මේවා පිළිබඳ ඉහළ දැනුමක් පවතින විට සහ නිලධාරීන් ඒවා පිළිබඳ දැනුම්වත් වී සිටින විට පොලිසිය පිළිබඳ මහජනතාව වෛරයකින් නොබලා සාධාරණ සේවයක් ලබා දෙන ආයතනයක් ලෙස බැලීමට හුරු වෙනවා. එවැනි තත්ත්වයක් ගොඩනැඟීමට අප ගන්නා දැනුම්වත් කිරීමේ වැඩසටහන් මඟින් විශාල පහසුවක් සැලසෙනවා.

මේ සියලු දේ සිදුකරන්නේ කුමන අරමුණකින්ද?

අප එසේ කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ලොව සංවර්ධිත සහ දියුණු රටවල මෙන් උසස් වෘත්තීයවේදී සේවාවක් සැපයෙන ආයතනයක් බවට පත් කිරීමේ උදාර අරමුණ ඇතිවයි. මෙහිදී අප තවත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. පොලිසියේ කළයුතු වෙනස්කම් සම්බන්ධව රජයට කරුණු දැක්වීමට ඉහළ පෙළේ කතිකාවක් ආරම්භ කළා.

එම කතිකාවේ අරමුණ කුමක්ද?

අප මේ කරන්න යන කාර්යය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ සුවිශේෂ සංධිස්ථානයක් සනිටුහන් කරන්නක්. වසර 150කට අධික ප්‍රෞඪ ඉතිහාසයක් තිබෙන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, වසර 22ක ඉතිහාසයක් තිබෙන ජාතික පොලිස් කොමිෂන් සභා ඉතිහාසයේ පෙර කවරදාකවත් සිදු නොවූ ආකාරයේ ප්‍රශස්ත වෙනසකට මුලපිරීමක් සඳහා වූ යෝජනා මේ කතිකාව මඟින් අප රටට, සමාජයට ඉදිරිපත් කිරීමට සූදානම්. එවැනි වෙනස්කම් කිරීමේදී, ඒවා යෝජනා කිරීමේදී විශාල අභියෝගවලට අපට මුහුණදීමට සිදු වෙනවා.

වෙනස්කම් ඇතිකිරීම අභියෝගාත්මකයි. කෙතරම් අභියෝගාත්මක වුවත් මහජන මිත්‍රශීලි කාර්යක්ෂම පොලිස් සේවාවක් ඇති කිරීම, වෘත්තීමය මට්ටමට පොලිස් සේවාව උසස් කිරීම සඳහා අප පියවර ගත යුතුයි නේද?

ජාතික පොලිස් කොමිසමේ වසර 1 ½ ක් තිස්සේ දිගු අධ්‍යයනයක නියැලී සිටියා. ශ්‍රී ලංකා පොලිසිය සහ එහි නිලධාරීන්ගේ උපරිම සේවා ලබා ගනිමින් මහජනතාවට මිත්‍රශීලි සේවාවක් ලබා ගැනීම සඳහා කළ යුතු වෙනස්කම් මොනවාදැයි අප අධ්‍යයනය කළා. පොලිසියට එරෙහිව මහජනතාවගෙන් අප කොමිසම වෙත ඉදිරිපත් වන විවිධ පැමිණිලි පිළිබඳ අප සොයා බැලුවා. ඒ අනුව දක්නට ලැබුණු ප්‍රධානම කාරණයක් තමයි පොලිස් සේවයට බඳවා ගැනීමේදී දැනට වඩා තරමක් ඉහළ අවධානමක් එහි මූලික සුදුසුකම් සම්බන්ධයෙන් දැක්විය යුතුය යන්න. ඒ අනුවයි මූලික වශයෙන් උප පොලිස් පරීක්ෂකවරුන් බඳවා ගැනීමේදී අධ්‍යාපන සුදුසුකම්, කායික සුදුසුකම්, වයස, බාහිර සුදුසුකම් සහ සාමාන්‍ය දැනුම සහ අවබෝධය මැන බැලෙන මූලික විභාගයක් පැවැත්වීම යනාදියේ සිදු කළයුතු වෙනස්කම් මොනවාදැයි අද පවතින තත්ත්වය හා ගළපාගනිමින් සාධාරණ ලෙස, යුක්තිසහගත ලෙස නිර්දේශ ඉදිරිපත් කිරීම මේ කතිකාවේ අරමුණයි.

උප පොලිස් පරීක්ෂකවරු බඳවා ගැනීමේදී සිදුකළ යුතු තවත් වෙනස්කම් තිබේදැයි ඔබ විශ්වාස කරනවාද?

ඒ සම්බන්ධයෙන් තමයි මේ කතිකාව මුලින්ම පටන් ගත්තේ. මෙහිදී විශේෂයෙන් උප පොලිස් පරීක්ෂකවරුන් බඳවා ගැනීමේදී ඔවුන්ගේ මානසික සුවතාව මැන බලා ගැනීමට, නීතිය හා සාමය ආරක්ෂාකර ගැනීම පිළිබඳ මූලික අවබෝධය තිබේදැයි මැන බැලීම සඳහා දැනටත් වඩා පරිබාහිරව සුදුසුකම් පරීක්ෂාවක් කළ යුතුද? නැතිද? යන්න පිළිබඳ අප සොයා බලනවා. ඒ සඳහා සහභාගිවන විද්වත් පිරිස අතරට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධනපාල විජේසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනූෂා එදිරිසිංහ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයින් වන එස්.එල්. ලියනගම, ඒ.එස්.පී.එස්.පී. සංජීව, එන්.එස්.එම්. සම්සුදීන්, එම්.පී. ප්‍රේමසිරි, ගුණපාල වික්‍රමගේ, ආර්.පී. පරමේෂ්වරන්, ජාතික පොලිස් කොමිසමේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ අයි.එම්. කරුණාරත්න, එල්.ඒ.පී. ගුණසේකර, ජාතික පොලිස් කොමිසමේ ලේකම් තමරා ඩී. පෙරේරා, මහජන පැමිණිලි අංශබාර අධ්‍යක්ෂ තනූජා එන්.ප්‍රනාන්දු, නියෝජ්‍ය පොලිස්පති එන්.එල්.සී. සම්පත් කුමාර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත චන්ද්‍ර‍සේකර, එන්.ජී.ඩබ්ලිව්.එල්.ආර්. සපරමාදු, අපරාධ විද්‍යාඥ චමින්ද මිල්ලවිතාන, පර්යේෂණ නිලධාරී රංජිත් විල්වලආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටිනවා. ඔවුන්ගේ දායකත්වයෙන් ඉතා සාධාරණ සහ යුක්තිසහගත අයුරින් පොලිස් සේවයට බඳවා ගැනීමේ සුදුසුකම් සම්බන්ධයෙන් කළ යුතු වෙනස්කම් අප හඳුනා ගන්නවා. ඒවා අවසානයේ රටට ඉදිරිපත් කරනවා. එවැනි ඉහළ සුදුසුකම් ඇති නිලධාරීන් බඳවා ගැනීමක් මඟින් මහජන මිත්‍රශීලී පොලිස් සේවාවක් ඇති කිරීමට හැකි බවට දැඩි විශ්වාසයක් අපට තිබෙනවා.

 

ජයසිරි මුණසිංහ

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *