කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර හමුවෙයි

බම්බලපිටිය කොතලාවල පාරේ දී පසුගිය 21 වැනිදා රාත්‍රී පැහැර ගැනීමකට ලක් වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සායිඩ් සුලේමාන් මහතාගේ මළ සිරුර ඊයේ (24) රාත්‍රියේ මාවනැල්ල ප්‍රදේශයේ දී පොලිසිය විසින් සොයාගෙන ඇත.

එම මළ සිරුර ඒ මහතාගේ බවට පවුලේ ඥාතීන් විසින් හඳුනාගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් දිනමිණ ට පැවැසීය. ඊයේ (24) රාත්‍රී 7.00ට පමණ මාවනැල්ල, බඹරකන්ද ප්‍රදේශයේ හඳුනාගත නොහැකි මළසිරුරක් තිබෙන බවට මාවනැල්ල පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

මාවනැල්ල පොලිසිය ඒ සම්බන්ධයෙන් වහාම පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා දැනුවත් කර එම ස්ථානයට ගොස් තිබේ. ඒ අතර එම මළසිරුර ඉහත කෝටිපති ව්‍යාපාරිකයාගේ දැයි හඳුනා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පිරිසක් සමඟ ඒ මහතාගේ ඥාතීන් මාවනැල්ල බලා වහාම පිටත්ව ගොස් තිබිණි.

රාත්‍රී 10.00 ට පමණ මෙම ස්ථානය වෙත ගිය පොලිසිය සහ ඥාතීන් මළසිරුර පරීක්ෂා කර බලා එය මොහොමඩ් සායිඩ් මහතාගේ බව හඳුනාගෙන තිබිණි. මළසිරුර මාවනැල්ල රෝහල වෙත ගෙන යාමට ද ඊයේ රාත්‍රියේම පොලිසිය පියවර ගත්තේය.

දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ඇඟලුම් නිෂ්පාදනයේ ඉහළම තැනක සිටි එම ව්‍යාපාරිකයා සම්බන්ධ වූ මූල්‍ය ගනුදෙනු විශාල ප්‍රමාණයක් තිබුණ ද මෙම ඝාතනය එවැන්නක් මත නොව වෙනත් වෛරයක්, පළිගැනීමක් මත සිදුකර ඇතැයි පොලිසිය සැකකරයි.

මෙම අපරාධය සිදුකළ ඝාතකයන් කොටුකර ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 7ක් තවදුරටත් මෙහෙයුම් සිදුකරයි.

 විජයානි එදිරිසිංහ, මහින්ද අලුත්ගෙදර – දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *