|

22 න් කට්ටි පනින්න හේතු හොයන පක්ෂ

 

පසුගිය හත්වැනි දා, සිකුරාදා පාර් ලිමේන්තුවේ සම්මත කරන්නට නියමිතව තිබු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය පිලිබඳ විවාදය අවසන් මොහොතේ කල් දැමීමත්, ඒ වෙනුවට රටේ ආර්ථිකය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහන සහ තමන්ගේ විදේශ ගමනේ ජයග්‍රහණ ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයක් සිදුකොට විවාදයක් පැවැත්වීමත්, බොහෝ විවේචනයන්ට ලක් වූ සිදුවීමකි.

ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා ඍජු ලෙස ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කළේ අගමැති ලෙස ගෙනා සංශෝධනය ජනාධිපති වූ පසු යටපත් කරන්නට උප්පරවැට්ටි යොදන බවට ය. විපක්ෂයේ බොහෝ දෙනා  මීට සමාන අදහස් ප්‍රකාශ කළේය. විමල් වීරවංශ මහතා චෝදනා කළේ තමන් ජනාධිපති වන්නට බලා සිටින සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක දෙදෙනා ද මෙම සංශෝධනයට යටින් වළ කපන බවට ය.

අවසන් සතිය වන තෙක් මෙම සංශෝධනයට කිසිවෙකු ප්‍රසිද්ධියේ විරෝධය ප්‍රකාශ කොට නොතිබිණි. ප්‍රශ්නය මතු වුයේ විවාදයට පෙර සඳුදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේ දී ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංශෝධනයට විරුද්ධ බව ප්‍රකාශ කළේ එදින යි.

22 ට ඡන්දය නොදෙන බව සජබ කියයි

තත්ත්වය වඩාත් බරපතළ වුයේ සංශෝධනයට තමන් ද ඡන්දය නොදෙන බව සමගි ජන බලවේගය ප්‍රකාශ කිරීමත් සමග ය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මෙම ස්ථාවරය කතානායකතුමා වෙත දන්වා තිබිණි.

ඒ අනුව පැහැදිලි වුයේ සිකුරාදා ඡන්ද විමසුවේ නම් සංශෝධනය නියත වශයෙන් ම පරදින බව යි. ජනාධිපති සහ ආණ්ඩුව කළේ එය කල් දැමීමට ක්‍රියා කිරීම යි. එවිට අනෙක් අතට චෝදනා එල්ල වූයේ ජනාධිපති තමන්ගේ බලය සීමා වන 22 සංශෝධනය ඉවත දමන්නට උප්පරවැට්ටි යොදන බවට යි.

සංශෝධනයට ඡන්දය නොදෙන බව කී සමගි ජන බලවේගය ද පසුව කීවේ වෙනත් කතාවකි. එරාන් වික්‍රමරත්න මහතා මාධ්‍ය අමතා කීවේ සංශෝධනයට ඡන්දය දෙන්නට තමන් සුදානමින් සිටිය දී ආණ්ඩුව එය පස්සට ගත් බව යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 22 සංශෝධනයට තවත් සංශෝධන කිහිපයක් ඉල්ලයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට ඇති බලය වසර දෙකහමාරක සිට හතර හමාරක් දක්වා වැඩි කිරීම, දිවිත්ව පුරවැසියන්ට තහනම් පනවන වගන්තිය ඉවත් කිරීම එම සංශෝධන යි.

ඇමැති තනතුරු නොදීමේ විරසකය

කෙසේ වෙතත්, දේශපාලන අංශ කල්තබා වාර් තා කොට තිබු ආකාරයට මෙලෙස හදිසියේ ඇති වූ විරෝධයට මුල් වුයේ වෙනත් විරසකයකි. එනම් තමන් ඉදිරිපත් කළ නාම ලේඛනයේ කිහිප දෙනෙකුට කැබිනට් ඇමති ධුර ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟ නොවීම යි. ඒ අනුව මතුපිටින් කියන කතාව සහ අභ්‍යන්තර ප්‍රශ්නය එකක් නොව දෙකකි.

මේ අතර මේ සතියේ ආරම්භයත් සමග සමගි ජන බලවේගයේ ස්ථාවරය යලිත් වරක් වෙනස් වූ බවක් පෙනෙන්නට තිබිණි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ  කළේ  22 සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නට පෙර පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල සාකච්ඡාවක් අවශ්‍ය බව යි. එයට නීතිපතිවරයා ද සහභාගී විය යුතු බව කිරිඇල්ල මහතා ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේ, පාර්ලිමේන්තුවේ දී 22 සංශෝධනය දියාරු කිරීම වැලැක්වීම සඳහා කටයුතු කළ යුතු බව යි.

මේ අතර කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ කැබිනට් ඇමැතිවරුන් 22 සංශෝධනයට පක්ෂව ඡන්දය දෙනු ඇති බව යි.

ළමා හිංසනයේ දේශපාලනය

මේ අතර ඔක්තෝබර් නව වැනිදා ගොල්ෆෙස්හි පැවති සමරු උද්ඝෝෂණයක් පොලිසිය විසින් විසුරුවා හැරීමත්, එහි දී ළමයින් හිංසනයට ලක්වීමත් තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් වී ය. නව වැනිදා දිනය අරගලකරුවන්ට වැදගත් සමරු දිනයකි. අප්‍රේල් 9 දා ගෝඨාගෝගම අරගලය ආරම්භ වීම, මැයි 9 දා අගමැති මහින්ද ඉල්ලා අස්වීම, ජුනි 9 දා බැසිල් රාජපක්ෂ මහතා අස්වීම සහ ජුලි 9 දා ගෝඨාභය රාජපක්ෂ ඉවත් කිරීමේ මහා මෙහෙයුම ඔවුන්ගේ ජයග්‍රහණ වන බැවිණි. මෙවර එක පිරිසක් ගාලු මෝදර පිටියට පැමිණියේ අරගලය කාලයේ විවිධ හේතුන් නිසා මියගිය සගයන් සැමරීම සඳහා කෙරෙන වැඩ සටහනකට ය.

එම උද්ඝෝෂණය විසුරුවා හැරීමට ක්‍රියා කිරීම මානව හිමිකම් සංවිධාන විසින් ප්‍රශ්න කරනු ලැබූ අතර එහි දී ළමයින් පීඩාවට පත්වීම නැතහොත් පත්කිරීම දෙපාර්ශවයකින් එකිනෙකට පරස්පර ලෙස විවේචනයට ලක්වීය. පිරිසක් කීවේ මව්පියන් ළමයින් පලිහක් ලෙස භාවිත කිරීම ළමා අපයෝජනයක් බව යි. තවත් පිරිසක් චෝදනා කළේ පොලිසිය ළමයින්ට පීඩාකාරී ලෙස ක්‍රියා කළ බව යි. ළමයින් පීඩාවට පත්කිරීමේ ප්‍රශ්නය ද දේශපාලනීකරණය වී තිබෙන්නේ ඒ ආකාරයෙනි.

ඔක්තෝබර් 9 දා විවිධ ස්ථානවල අරගල සැමරීම් සිදු වූ අතර ඒ බොහොමයක සිදු වුයේ අරගලය ඉදිරියට ගෙනයාමට බාධා කිරීම ගැන වෙනත් කණ්ඩායම්වලට දොස් පැවරීම යි.

අරගලයට ජවිපෙ විවේචනය

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී තරුණ සංගමය ඔක්තෝබර් 9 දා නව නගර ශාලාවේ සංවිධානය කොට තිබුණේ චේ සමරු රැස්වීමකි. එහිදී ද බොහෝ කතාවල තේමාව වුයේ අරගලය සහ එහි අවසානය යි.

බිමල් රත්නායක මහතා කතා කරමින් කීවේ අරගලයේ ප්‍රධාන මධ්‍යස්ථාන අතර එකඟත්වයක් නොවීම නිසා එය ඉදිරියට නොගිය බව යි. මැතිවරණයක් අවශ්‍ය බවට තමන් කළ ඉල්ලීමට ගෝඨාගෝගමින් සහයක් නොලැබුණු බව ද ඒ මහතා කී ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔක්තෝබර් 9 දා යොදාගෙන තිබුණේ එක්ව නැගිටින වැඩ සටහන ආරම්භ කරන්නට ය. “එක්ව නැගිටිමු – කළුතරින් පටන්ගමු” ලෙස පළමු ප්‍රසිද්ධ ජන හමුව සංවිධානය කොට තිබුණේ රෝහිත අබේගුණවර්ධන මහතා විසිනි. මැයි 9 දා ගිනි තැබීමෙන් පසු නැවත ප්‍රතිසංස්කරණය කළ කාර්යාලයේ පැවති රැස්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී කතාවක් ද පැවැත්වීම බොහෝ දෙනාගේ අවධානය දිනාගත් කරුණක් වී ය.

කතාවේ දී මහින්ද රාජපක්ෂ මහතා මුලින් කීවේ ගෝඨාභය ජනාධිපතිතුමා ගෙනයන වැඩ පිළිවෙළට සහය දිය යුතු බව යි. ගෝඨාභය නොවේ රනිල් කියා එය නිවැරදි කළේ වේදිකාවේ සිටි වෙනත් අයෙකි. ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතා කීවේ “දැන් රනිල් ඉන්නේ අපිත් එක්ක නිසා එයාට බනින්න එපා” යනුවෙනි.

යහපාලනය වරද්දාගත් තැන රනිල් කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ විශේෂ රැස්වීමක් ඔක්තෝබර් 10 දා පැවතියේ කටුනායක වෙළෙඳ කලාපයේ ය. මෙරට තුළ ඖෂධ නිෂ්පාදනය සඳහා යාඩේන් ලැබරෝටරීස් සමාගමේ කර්මාන්ත ශාලාව විවෘත කිරීම සඳහා පැවති රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, එරාන් වික්‍රමරත්න, ඇතුළු දේශපාලඥයින් රැසක් එක්ව සිටීම කැපී පෙනෙන සිදුවීමක් වීය.

මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම යහපාලන රජයේ ක්‍රියාවක් බවත්, රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ අදහසට අනුව මෛත්‍රීපාල ජනාධිපති නායකත්වය දැරූ රජය එය අනුමත කළ බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය එය නොනවත්වා ක්‍රියාත්මක කළ බවත්, කී ජනාධිපතිතුමා කීවේ ආණ්ඩුවක් වෙනස් වන විට වෙනස් නොවන වැඩ පිළිවෙළක් රටට අවශ්‍ය බව එයින් පෙන්වා දෙන පාඩම බව යි.

යහපාලන ආණ්ඩුව මෙබඳු බොහෝ වැඩ කළත්, ඒවා ප්‍රචාරය නොකළ බව කී ජනාධිපතිතුමා ප්‍රචාරය වුයේ ගැටුම් පමණක් බව ද පැවසීය.

කල්තැබීමේ විවාදය

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගැන ජනාධිපතිතුමා සඳුදා කළ ප්‍රකාශයක් ද ඉමහත් ආන්දෝලනයකට හේතු වීය. ඔහු කීවේ වත්මන් මනාප ක්‍රමය නිසා ඇතැම් අපේක්ෂකයන්ට රුපියල් මිලියන 35 ක් 50 ක් වැනි විශාල වියදමක් දරන්නට සිදුවන බව යි. එම තත්ත්වය වෙනස් කොට කේවල ඡන්ද ක්‍රමයකට හෝ කේවල – සමානුපාත මිශ්‍ර ක්‍රමයකට හෝ යා යුතු බවත්, මැතිවරණ වියදම් සීමා කිරීමට නීති හඳුන්වා දිය යුතු බවත්, ජනාධිපතිවරයා කීය.

ඒ සඳහා පාර් ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව කී ජනාධිපති තුමා ලබන ජුනි ,ජුලි මාස වන විට පාර්ලිමේන්තුවේ එකඟත්වයක් ඇති කරගත නොහැකි වුවහොත් ජනමත විචාරණයක් කැඳවා තීරණයක් ගන්නා බවත්, ප්‍රකාශ කළේ මීට පෙර කළ ප්‍රකාශයක් යළි තහවුරු කරමිනි.

එමෙන් ම පළාත් පාලන ඡන්ද ක්‍රමය ද වෙනස් විය යුතු බවත්, දැනට සිටින 8000 කට වැඩි නියෝජිත සංඛ්‍යාව 4000 දක්වා අඩු කළ යුතු බවත්, ජනාධිපතිවරයා පැවැසීය. ඔහු කීවේ මීළඟ මැතිවරණයට පෙර මෙම වෙනස්කම් සිදුකළ යුතු බව යි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම ප්‍රකාශයත් සමග විපක්ෂය ප්‍රකාශ කළේ මෙය ඡන්ද කල් දැමීමේ උප්පරවැට්ටියක් බව යි. විපක්ෂයේ පක්ෂ සියල්ල ම පාහේ එයට විරෝධය ප්‍රකශ කළ අතර එහි නායකත්වය ගෙන ක්‍රියා කළේ ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු නිදහස ජනතා සභාව යි.

ඩලස්ගෙන් විපක්ෂ පෙරමුණක්

අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවක දී පළාත් පාලන ඡන්දය කල් දැමීමට සිය විරෝධය ප්‍රකාශ කළ නිදහස ජනතා සභාව අඟහරුවාදා උදේ මැතිවරණ කොමිසම ද හමු වී සාකච්ඡා කළේය. එදින සවස විපක්ෂයේ පක්ෂ 16 ක් එක් වී මැතිවරණ කල් දැමීමට එරෙහිව එක් පෙරමුණක් ලෙස කටයුතු කිරීමට තීරණය කළේය.

මෙහි දී කැපී පෙනෙන සිදුවීමක් වුයේ පාර් ලිමේන්තුව නියෝජනය කරන ජාතික ජන බලවේගය එම සාකච්ඡාවට සහභාගී නොවීම සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය එයට සම්බන්ධ වී සිටීම යි.

එමෙන් ම විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය වෙනුවට නිදහස ජනතා සභාව මෙහි නායකත්වය ගෙන ක්‍රියා කිරීම ද විශේෂත්වයකි.

මෙහි දී තවත් වැදගත් කරුණක් වන්නේ ජනධිපතිතුමා කියන පරිදි මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදු වීමේ අවශ්‍යතාවය මෙන් ම පළාත් පාලන සභික සංඛ්‍යා අඩු කිරීම යන කරුණු සම්බන්ධයෙන් විපක්ෂයේ විරුද්ධත්වයක් නොවීම යි. ඒ පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ ඇත්තේ පොදු පිළිගැනීමකි. එසේ වුව ද, ප්‍රශ්නය වන්නේ මැතිවරණ කල් දැමීම සඳහා එම වුවමනාව භාවිතා කිරීම සම්බන්ධයෙනි.

මැතිවරණ කොමිසම කී කතාව

පළාත් පාලන ඡන්දය කල් දමන බවට ප්‍රකාශයක් බදාදා වනතෙක් ආණ්ඩුවෙන් සිදු කොට නොතිබිණි. එම මැතිවරණය පැවැත්වීමට දින නියම කිරීමේ බලය පසුගිය සැප්තැම්බර් 20 දායින් පසුව මැතිවරණ කොමිසමට හිමිව ඇත. මැතිවරණ කොමිසම කියන්නේ ඡන්දය කල් දමන බවට කිසිදු දැනුම් දීමක් තමන්ට ලැබී නැති බව යි. කෙසේ වෙතත්, ඡන්දය කල් දැමීමේ වුවමනාවක් ආණ්ඩුවට ඇති බව විපක්ෂයේ විශ්වාසය වී තිබේ.

එමෙන් ම මැතිවරණ කොමිසමේ අදහස වී ඇත්තේ මැතිවරණය කල් දැමීමේ නීතිමය හැකියාවක් දැන් නැති බව සහ මාර්තු 20 දාට පෙර මැතිවරණය පැවැත්විය හැකි වන බව යි. මේ වන විට එම තීන්දුව ගැනීමේ බලය  ඇත්තේ මැතිවරණ කොමිසම සතුව ය.

පළාත් පාලන මැතිවරණ ප්‍රශ්නය එසේ තිබිය දී, ආණ්ඩුව වෙනත් වැඩකට කර ගසා තිබේ. එනම් පසුගිය දා සිදු වූ අරගලයෙන් මතු වූ ඉල්ලීමක් වන ජන සභා ක්‍රමයක් බිහි කිරීමේ ක්‍රියාවලිය යි. පළාත් පාලන සභික සංඛ්‍යා අඩු කළ යුතු බව ජනාධිපතිතුමා කියන විට එයට එක් හේතුවක් ලෙස ද කීවේ ජන සභා ක්‍රමයක් ඇතිකරන බව යි.

ජන සභා ක්‍රමයක් සඳහා යෝජනාව සැකසීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි සිදු කරන ලද්දේ හිටපු කතානායක කරු ජයසුරිය, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු කණ්ඩායමක් විසිනි. එම පිරිස මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් වන නිසා ඔවුන්ගේ සහය මේ සඳහා ලබා ගැනීමට ජනාධිපතිතුමා ක්‍රියා කොට තිබිණි.

මෙම සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් සකස් කරන ලද යෝජනාව අනුව ජන සභා සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීම සඳුදා කැබිනට් රැස්වීමට පෙර සිදුකරනු ලැබීය. කරු ජයසුරිය, වික්ටර් අයිවන් ඇතුළු කණ්ඩායම එයට සම්බන්ධ වී ඇමති මණ්ඩලයට කරුණු පැහැදිලි කර දුන්නේය.

ජන සභා ලේකම් කාර්යාලයක් පිහිටුවීම, එයට සුදුසු මෙහෙයුම් මණ්ඩලයක් පත්කිරීම, ආදිය සඳහා යෝජනා ද සඳුදා කැබිනට් මණ්ඩලයේ සම්මත කරනු ලැබී ය.

ඒ අනුව දිවයින පුරා ග්‍රාම නිලධාරී කොට්ටාස මට්ටමින් ජන සභා 14,022 ක් පිහිටුවීමට නියමිත අතර එම සභා සම්බන්ධීකරණය සඳහා දිස්ත්‍රික් සහ ජාතික ලේකම් කාර්යාල ආරම්භ කරනු ඇත. ජන සභා ක්‍රියාත්මක වන්නේ ස්වේච්ඡා සංවිධාන ජාලයක් වශයෙනි.

බැඳුම්කර නඩුවේ අධිකරණ තීන්දුව

සතිය තුළ සිදු වූ තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් නම් මහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාළ නඩුවේ ප්‍රධාන චෝදනාවක් යටතේ එම නඩුව පවත්වාගෙන යා නොහැකි බව මහාධිකරණ විනුසුරු මඩුල්ලේ බහුතර තීන්දුවකින් ප්‍රකාශයට පත්වීම යි. ඒ විත්ති පාර්ශවයේ මුලික විරෝධයක් අධිකරණය විසින් පිළිගැනීම නිසා ය. දැන් නීති අංශවල කතා බහට යොමු වී ඇත්තේ නඩුවක් ඒ ආකාරයෙන් පැවරීම සම්බන්ධයෙනි. බොහෝ දෙනාගේ ඇඟිල්ල දිගු වන්නේ විවාදාත්මක චරිතයක් වූ හිටපු නීතිපත්වරයා වෙතට ය. නීතිපති වීමට පෙර ඔහු බැඳුම්කර ප්‍රශ්නය විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි මෙහෙයවීමට සම්බන්ධ වූ අතර එම අවස්ථාවේ ඔහුගේ හැසිරීම් සම්බන්ධයෙන් කොමිසම විසින් ඔහුට අවවාද කිරීමක් ද සිදුවීය.

කෙසේ වෙතත්, නැවත ඔප්පු වී තිබෙන්නේ එජාප ප්‍රකට අනාවැකි කියන්නා බවට පත්ව සිටින එහි සභාපති වජිර අබේවර්ධන මහතා මේ සම්බන්ධයෙන් කලකට පෙර කී අනාවැකිය ද නිවැරදි බවයි. ඔහු එදා කීවේ මෙහි නඩුවක් නැති බව සහ මෙහෙම නඩු පවත්වාගෙන යා හැකි දැයි තමා නොදන්නා බව යි.

මෙහි දේශපාලන චෝදනාව එල්ල වූ රනිල් වික්‍රමසිංහ මහතා කීවේ “ මහ බැංකුවේ හොරකමක් වෙලත් නැහැ. පාඩුවක් වෙලත් නැහැ. හොයන්න තියෙන්නේ සදාචාරාත්මක වරදක් වෙලා තියෙනවාද ? කියා විතරයි” යනුවෙනි.

කෙසේ වෙතත්, ව්මර්ශනය කළ යුතු සැබෑ ප්‍රශ්නය අවසන් නැත. ඇත්තට ම වරදක් කළ උදවිය නීතියේ හිල් නිසා බේරෙනවා නම් වරදකි. වංචා නොකළ උදවියට බොරු චෝදන එල්ල වුයේ නම් එය ද බලවත් වරදකි.

අධිකරණයේ කුමක් සිදු වුවත් ජනතාවට සත්‍ය හෙළිදරව් කිරීම අවශ්‍ය වෙයි.

සී ජේ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *