|

ආණ්ඩුවේ ආර් ථික ප්‍රතිපත්ති විපක්ෂයත් පිළිගන්නවා – මහාචාර් ය අමින්ද මෙත්සිල පෙරේරා

 

 

ශ්‍රී ලංකාව ණය අර්බුදයකට මුහුණ දීමට හේතුව මැදි ආදායම් රටක් වීම බව සමහරු පවසති. ඒ අනුව දුප්පත් රටක් ලෙස තත්ත්වය පහළ දමා ගැනීම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී වාසිදායක බව ඔවුන්ගේ අදහස වී තිබේ. මේ තත්ත්වය පිළිබඳ සහ අනෙකුත් ආර්ථික ගැටලු සම්බන්ධයෙන් වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා සමඟ කළ කතාබහකි මේ.

– ජගත් ආයතනවල සහාය ආණ්ඩුවට ලැබෙනවා
– වෙළෙඳපොළ රකින්න නම් සල්ලි අච්චු ගහන්න ඕනෑ
– සමාජ සාධාරණ බද්ද සහන වැඩපිළිවෙළට යෙදවිය හැකියි

ණය තිරසරභාවය සඳහා ආණ්ඩුව ගෙන යන වැඩසටහනේ සාර්ථකත්වය කොහොමද?

ණය ප්‍රතිව්‍යුහගත කරන්නෙ නැතිව ආර් ථික තිරසරභාවයක් ඇති කරන්න බැහැ. ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා රජය වෙනුවෙන් කටයුතු කරන්න ඒ පිළිබඳ ප්‍රවීණත්වයක් ඇති නීති උපදේශකවරු සහ මූල්‍ය උපදේශකවරු පත්කර තිබෙනවා. ඔවුන් අපට ණය දුන් රාජ්‍යයන් සමඟ ශ්‍රී ලංකාවේ ණය තිරසරත්වය ගැන සාකච්ඡා කරමින් සිටිනවා. එම සාකච්ඡාවේදි අප රටට ණය දුන් සියලු ආයතන හා රජ්‍යයන් සමඟ පොදු කොන්දේසි මත එකඟතාවක් ඇතිකර ගැනීමට අදහස් කරනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පැවැත්වෙන මේ සාකච්ඡාවලදී ප්‍රධාන වශයෙන් අප කරුණු කිහිපයක් යෝජනා කර තිබෙනවා. ප්‍රධාන වශයෙන් අප මේ රටවලින් ගෙන ඇති ණය ප්‍රමාණයෙන් යම් අගයක් කපා හරින ලෙස අප ඉල්ලා තිබෙනවා. එහෙම නැත්නම් ණය වාරිකවල පොලිය අඩුකරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. නැත්නම් ණය පරිණතවන කාලය වැඩි කරන්න ලෙස අප ඉල්ලා තිබෙනවා. ඒ ගැන එකඟතාවකට එන්න පුළුවන් වුණොත් අපට තිරසාරභාවයකට යන්න පුළුවන්.

අපේ ණයවලින් විශාල ප්‍රමාණයක් චීනයෙන් ගෙන තිබෙන නිසා පැරිස් සම්මේලනයට අතිරේකව ඔවුන් සමඟත් වෙනම කතා කරන්න වෙනවා. ඒ වෙනුවෙන් අපට උදව් කරන්න ජපානය ඉදිරිපත්ව සිටිනවා. එම සාකච්ඡාව ඉක්මනින් අවසන් කරගන්න පුළුවන් වුණොත් දෙසැම්බර් මාසය වන විට අයිඑම්එෆ් ණය ගන්න පුළුවන්.

අපේ ඉතා හොඳ මිත්‍ර රාජ්‍යයක් හා ‍තෙවැනියට වැඩියෙන්ම ණය ආධාර දී ඇති රට වන ජපානය අප වෙනුවෙන් ඉදිරිපත්ව සිටිනවා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඔවුන් වැටි සිටි අවස්ථාවේ නැඟී සිටින්න අපි ඔවුන්ට උදව් කළා. අපේ ගැටලුවට උපකාර කරන්න ඔවුන් ඉදිරිපත් වෙන්න ඇත්තේ ඒ හේතුව මත විය යුතුයි. මේ කටයුත්තට විශාල වියදමක් දරන්න සිදුවෙනවා. අප වෙනුවෙන් අනෙකුත් රටවල් සමඟත් කතා කරන්න ජපානය ඉදිරිපත්වීම අපේ රටට විශාල ශක්තියක්.

ශ්‍රී ලංකාව ණය අර්බුදයකට මුහුණ දීමට හේතුව මැදි ආදායම් රටක් වීම නිසා බව සමහරු පවසනවා. දුප්පත් රටක් ලෙස තත්ත්වය පහළ දමා ගැනීම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී වාසිදායක වන්නේය යන අදහස ගැන ඔබේ මතය කුමක්ද?

යම් යම් සහන කොන්දේසි මත දුප්පත් රටවලට ණය දෙන බව ඇත්තයි. යම් රටක් මැදි ආදායම් රටක් වූ පසු ඒ සමහර සහන නැති වෙනවා. ඒ වගේම යුරෝපා සංගමය අපට දුන් සමහර සහන ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක් වූ පසු ඉවත් කළා. මේ සත්‍යය තිබුණා වුණත් අප මුහුණ දෙන ණය අර්බුදය මැදි ආදායම් රටක් වීම නිසා ඇති වූ එකක් නෙමෙයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 120ක් පමණ වන විට ජපානයේ එම ප්‍රමාණය සියයට 253ක් පමණ වෙනවා.

අමෙරිකාවේ විදේශ ණය ප්‍රමාණය ද.ජා.නි ප්‍රතිශතයක් විදියට ගත් විට සියයට 116ක් පමණ වෙනවා. එහෙම නම් ජපානය, අමෙරිකාව වගේ රාජ්‍ය කඩා වැටිය යුතුයි. අපේ රටේ ප්‍රශ්නය ණය නෙමෙයි, ණය ගෙවන්න මුදල් නැතිකමයි. අපේ රටේ සමස්ත ආදායමෙන් සියයට 74ක් පමණ ණය පොලී හැටියට ගෙවනවා. ජපානය ණය පොලී හැටියට ගෙවන්නේ ඒ රටේ සමස්ත අදායමෙන් සියයට 8ක් පමණයි. ඒ නිසා අපට තියෙන්නේ ණය ආයෝජනය කිරීම පිළිබඳ ගැටලුවක්. ඒ ණය මුදල නිවැරදි ලෙස ආයෝජනය කළා නම් ණය සේවාකරණය අපහසු නැහැ.

මෙතන ගැටලුව අපි මැදි කාලීන රටක්වීම නිසා වැඩි පොලියට ණය ගන්න වුණා කියන කතාව නෙමෙයි. අපි ගත්ත ණය ඵලදායී විදියට ආයෝජනය නොකිරීමයි. දෙවැනි කාරණය ගත්ත ණය සාධාරණ කොන්දේසි යටතේ නොගැනීමයි. උදාහණයක් විදියට මොනෝ රේල්ලු මාර්ගය හදන්න ජයිකා සංවිධානය අපට දීමට අදහස් කළ ණය මුදල ගන්න පුළුවන්. ඒ මුදල ඔවුන් දෙන්න හැදුවේ සියයට 0.5ක අඩු පොලියට අවුරුදු 40ක කාලයකින් ගෙවන්නයි. අපි ඒක ප්‍රතික්ෂේප කළා. පසුව වෙළෙඳපොළෙන් සියයට 6.5 ගණනේ ණය ගත්තා. මේවාට අපි ණය ගැනීමේදී කොන්දේසි ගැන සැලකිලිමත් වුණේ නැහැ.

ජාතික ආණ්ඩුවක් ඇතිකර ගැනීමට අසමත්වීම ආර්ථික අර්බුදයට බලපාන කරුණක්ද?

මම හිතන ආකාරයට මේ රටේ තියෙන්නෙ දේශපාලන අර්බුදයක් නෙමෙයි, ආර්ථික අර්බුදයක්. පසුගිය කාලේ එක අවස්ථාවක කැබිනට්ටුවක් තිබුණෙ නැහැ. ‍එහෙම වුණයි කියලා ආර්ථිකය කඩා වැටුණෙ නැහැ. ඒ නිසා දේශපාලන ගැටලුවට විසඳුම සෙවීම කියන කාරණය මට නම් වැදගත් නැහැ. මේ රටේ ප්‍රශ්නය ජනාධිපති නැත්නම් අගමැති කවුද යන්න නෙමෙයි. බලයේ සිටින තැනැත්තා රටේ ආර්ථිකය කොතරම් දුරට සාර්ථකව කළමනාකරණය කරන්නේද යන්නයි.

පවතින ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් ද නැත්නම් තනි පක්ෂයක ආණ්ඩුවක් ද යන්න එතරම් වැදගත් නැහැ. වැදගත් වෙන්නේ ආර්ථික ගැටලුව විසඳීමට බලයේ සිටින ආණ්ඩුව අනුගමනය කරන දැක්මයි.

ආර්ථික අර්බුදය ජය ගැනීමට බරපතළ ප්‍රතිසංස්කරණ කළ යුතුයි. පක්ෂ අතර ඒ ගැන සම්මුතියක් නැති විට ප්‍රතිරෝධයක් මතු වෙන්න පුළුවන් නේද?

මේ වතාවේ ජනාධිපතිවරයා අය – වැය ඉදිරිපත් කළ අවස්ථාවේ ධනාත්මක ලක්ෂණයක් දකින්න ලැබුණා. වෙනදාට හැමදාම ප්‍රධාන විරුද්ධ පක්ෂය ආණ්ඩුවේ යෝජනාවට විරුද්ධව ඡන්දය දෙනවා. මේ වතාවේ ඔවුන් ඡන්දය දීමෙන් වැළකී සිට ආණ්ඩුව ඉදිරිපත් කළ අය – වැයට සහාය දුන්නා.

ඒ වගේම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති අනුමත කරමින් කතා කළා. පැවැති ආණ්ඩුවට මේ ප්‍රතිපත්ති ගෙන ගියේ ජනාධිපතිවරයායි. ඒ නිසා ඔහු ගන්නා ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ප්‍රධාන විපක්ෂයෙන් අභියෝගයක් එල්ල වෙයි කියලා මම හිතන්නෙ නැහැ. එයාර් ලංකා පෞද්ගලීකරණය කිරීම වෙන්න පුළුවන්. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම වෙන්න පුළුවන්. මේ වගේ කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව හා ප්‍රධාන විපක්ෂය ඉන්නෙ එක මතයක. ඒ නිසා මේ ගැන ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් ආණ්ඩුවට තියෙනවා.

ජනතාවගෙන් යම් කොටසක් ආහාර ගැටලුවකට මුහුණ දී සිටිනවා. මෙය විසඳීමට කුමක් කළ යුතුද?

අන්තර් ජාතික ආයතනවල සහාය ගන්න ආණ්ඩුව සමත්වීම නිසා ලබන වසරේ සිට වෙලාවට පොහොර ‍ටික දෙන්න පුළුවන්. එහෙම වුණොත් අපට අවශ්‍ය සහල්, එළවළු වගා කිරීම ගැටලුවක් නෙමෙයි. එතෙක් ආහාර අවශ්‍යතාව කළමනාකරණය කළ යුතුයි. සමාජයේ දුප්පත් පවුල්වල කොටස් හා දරුවන් ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඔවුන්ට යම් ආකාරයකින් රජය උදව් කළ යුතුයි. සමෘද්ධි දීමනාවක් ගැන නෙමෙයි මම කියන්නෙ.

ගිය මාසේ අපේ උද්ධමනය සියයට 69.8ක්. ඒ වගේම ආහාර උද්ධමනය සියයට 90ක් පමණ වෙනවා. ඉන් කියවෙන්නේ පසුගිය මාසයට වඩා දෙගුණයක් ඉපැයිය යුතු බවයි. එහෙත් ඒ ආකාරයට මිනිස්සුන්ගෙ ආදායම වැඩි වෙන්නෙ නැහැ. ඒ නිසා හඳුනාගත් පවුල්වලට යම් ආකාරය සහනයක් රජය දිය යුතු වෙනවා.

රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 3/4කට ආසන්න පවුල් ප්‍රමාණයක් රජය යෝජනා කරන සහන වැඩසටහනට ඇතුළු කිරීම සමහරු දේශපාලන පදනමකින් කරන දෙයක් කියලා විවේචනය කරනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

රටේ ජනතාවගෙන් සියයට 25කට පමණ සමෘද්ධි සහනය දෙනවා. ඉතිරි පිරිස අතර වුණත් ආදායම අඩු විශාල පිරිසක් සිටිනවා. ඒ අය අතර රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරන පිරිසක් ද සිටිනවා. පසුගිය කාලයෙදි මේ අංශවල සේවය කරන සාමාන්‍ය සේවකයකුගෙ වැටුප සුළු මුදලකින් හෝ ඉහළ ගියා යැයි හිතන්න අමාරුයි. සමස්ත වියදම දෙගුණව ඇති තත්ත්වයක් තුළ ඔවුන්ට සහනයක් දිය යුතුයි. මේ සහන දීමේදී දේශපාලන පදනමකින් තොරව කරනවා නම් හොඳයි.

එවැනි වැඩසටහනකට යෑමට ආණ්ඩුවට මුදල් තියෙනවාද? ඒ අමතර මුදල සොයන්නේ කොහොමද?

නූතන මුදල් න්‍යායේ වැදගත්කම එන්නෙ මෙතැනදියි. මුදල් මුද්‍රණය කිරීම බොහෝ දෙනකුගෙ විවේචනයට ලක්කළ න්‍යායක්. එහෙත් මේ වෙලාවෙ වෙළෙඳපොළ ආරක්ෂා කරගන්න නම් මුදල් මුද්‍රණය කරන ක්‍රමයකට යායුතුයි.

ආර්ථික අර්බුදයට බලපෑ හේතුවක් ලෙස අධික ලෙස මුදල් මුද්‍රණය කිරීම හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම නැවත මුදල් මුද්‍රණය කරන ක්‍රමයකට යොමු නොවන බවට මහ බැංකු අධිපතිවරයා සහතිකව තිබෙනවා. මේ තත්ත්වයක් තුළ මුදල් සැපයුම ඉහළ නැංවීම ප්‍රායෝගිකද?

මුදල් සැපයුම වැඩිවීම ගැටලුවක් නිසා මුදල් මුද්‍රණය කිරීමට යොමු නොවන බව ආණ්ඩුව කිව්වා තමයි. එහෙත් මුදල් මුද්‍රණය නොකළත් අපි සෑම මාසයකම වගේ මිලියන ගණනක බැඳුම්කර නිකුත් කළා. ඒ නිකුත් කරන ඒවායින් කොටසක් මහ බැංකුව මිලදී ගන්නවා. ඒක මුදල් මුද්‍රණය කිරීමක් තමයි.

මුදල් මුද්‍රණය නොකර යා හැකි නම් හොඳයි. දැන් එක පැත්තකින් බදු වැඩිකර තිබෙනවා. පසුගිය 1දා සිට ක්‍රියාත්මක කළ සමාජ ආරක්ෂණ බද්දෙන් ආණ්ඩුව මිලියන 120ක් පමණ බලාපොරොත්තු වෙනවා. ඉන් යම් මුදලක් සහනවලට කැප කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම කළොත් මුදල් මුද්‍රණය කරන්න වුවමනා වෙන එකක් නැහැ.

මේ වෙලාවෙ මිනිස්සු විශාල දුෂ්කරතාවකට මුහුණ දී සිටිනවා. ළමා මන්දපෝෂණය පරම්පරා කිහිපයකට බලපාන ප්‍රශ්නයක්. එවැනි තත්ත්වයක් තුළ අපි උද්ධමනය අඩු කරනවාද, එහෙම නැත්නම් ජනතාව මුහුණදී සිටින ආර්ථික ගැටලුවෙන් රැක ගන්නවා ද යන්න කල්පනා කළ යුතුයි.

භාණ්ඩ මිල පිමි ආකාරයෙන් ඉහළ යන බවක් පෙනෙන්නට තිබෙනවා. මෙය පාලනය කිරීම ආණ්ඩුව මැදිහත් විය යුත්තේ කෙසේද?

මේ රටේ තියෙන බරපතළම ගැටලුව උද්ධමනයයි. උද්ධමනය මෙයට වසර කිහිපයකට පෙර තිබුණෙ සියයට 5 – 6 අතර අගයක. එහෙත් එය වර්තමානය වන විට සියයට 90ක මට්ටමට ගිහින් තිබෙනවා. එවැනි තත්ත්වයක් අප හඳුන් වන්නේ තීව්‍ර උද්ධමනයක් විදියටයි. ඇත්තටම බැලුවොත් දැන් අපේ රටේ තිබෙන්නේ තීව්‍රඋද්ධමනයක් නෙමෙයි. එක තැන පල්වෙන ආර්ථිකයක්.

සාමාන්‍යයෙන් උද්ධමන තත්ත්වයකදි භාණ්ඩවල ඉල්ලුම ඉහළ යනවා. ඒ සමඟ මිල මට්ටම් ඉහළ යනවා. අප මේ තත්ත්වය අවුරුදු කාලවලදී අත්දැක තිබෙනවා. ඒ සමඟ ආර්ථිකයත් ඉහළ යනවා. එහෙත් දැන් වෙන්නේ ආර්ථිකය පහළ වැටී තිබෙන අතර මිල මට්ටම් ඉහළ යනවා. ලැඟ සිටින තත්ත්වයක් ආර්ථික න්‍යායන්ගෙන් පැහැදිලි කරන්න බැහැ.

මහ බැංකුව අවධානය යොමු කරන්නෙ න්‍යායන්වලට අනුවයි. උද්ධමනයක් පාලනය කරන්න පුළුවන් හොඳ ආකාරය පොලී අනුපාත නිසා ඔවුන් පොලී අනුපාතය ඉහළ නැංවූවා. පොලී වැඩි කළ විට මිනිස්සු මුදල් වියදම් නොකර බැංකුවල තැන්පත් කරන බව ඔවුන් සැලකිල්ලට ගත්තා. එහෙත් අද තියෙන තත්ත්වය යටතේ පොලිය වැඩි කළයි කියලා කිසිම යහපතක් අපට වුණේ නැහැ.

මිනිස්සු කල්පනා කරන්නේ උද්ධමනය සියයට 90ක් තියෙන තත්ත්වයක් තුළ මුදල් ඉතිරි කිරීම අපරාධයක් කියලා. ඒ නිසා ඔවුන් ඉතිරි කරන්නෙ නැහැ. අවසානයේ පොලිය වැඩි නිසා ව්‍යාපාර ආරම්භ කරන්න ණයක් ගන්න විදියක් නැහැ. ගෙයක් හදන්න විදියක් නැහැ. ඒ නිසා පොලිය වැඩි කිරීම හරහා මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබුණේ නැහැ.

ලැඟ සිටින ආර්ථිකයකදි මිල මට්ටම් ඉහළ යන අතර ආර්ථිකය කඩා වැටෙනවා. මේ පරතරය අඩු කරන්න බැහැ. ආර්ථික වර්ධන වේගය ඍණ 8.4යි. උද්ධමනය සියයට 90ක් පමණ වෙනවා. මේ පරතරය අඩු කරන්න නම් එක පැත්තකින් උද්ධමනය අඩු කළ යුතුයි. ඒක කරන්න පුළුවන් වෙළෙඳපොළ සැපයුම ශක්තිමත් කළ යුතුයි. වෙළෙඳපොළ සැපයුම ශක්තිමත් කිරීමට පොලී අනුපාත අඩු කළ යුතුයි. අනෙක් පැත්තෙන් ආර්ථිකය ඉහළට ගන්න පුළුවන් ක්‍රමය ගැන ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුයි. එහෙම කළොත් පරතරය අඩු වෙනවා. සාම්ප්‍රදායික අර්ථික න්‍යායන්ගෙන් අලුත් ප්‍රශ්නවලට විසඳුම් සොයන්න බැහැ.

මහාචාර් ය අමින්ද මෙත්සිල පෙරේරා

පීඨාධිපති, ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨය, වයඹ විශ්වවිද්‍යාලය

දිනමිණ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *