සජබ යලි පස්ස ගහයි ; 22 ගැන අලුතින් සාකච්ඡාවක් ඉල්ලයි

 

22 සංශෝධනයට තම ඡන්දය දීම ගැන තීරණයක් ගැනීමට පෙර ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ සියලු පක්ෂ සමග තවත් සාකච්ඡාවක් පැවැත්වීම අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

මෙම සංශෝධනයට ඡන්දය දෙන බව මුලින් ප්‍රකාශ කොට තිබු සමගි ජන බලවේගය මෙලෙස විවිධ කොන්දේසි ඉදිරිපත් කිරීමට පටන් ගත්තේ මෙම සංශෝධනයට සහය නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කිරීමත් සමග ය.

කෙසේ වෙතත්, පොදුජන පෙරමුණේ බහුතරය සංශෝධනයට සහය දීමට සුදානමින් සිටින බවත්, එයට එරෙහි බැසිල් කණ්ඩායමට 22 සංශෝධනය පරාජය කිරීමට හැකි වන්නේ සමගි ජන බලවේගයේ සහය ලැබුනහොත් පමණක් බවත්, ආණ්ඩුවේ ප්‍රබලයෝ කියති.

22 සංශෝධනයට ඡන්දය නොදෙන බව  ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ගිය සතියේ ප්‍රකාශ කිරීමත් සමග එය විවාදයට ගැනීම කල් තැබීමට ආණ්ඩුව කටයුතු කළේය. නමුත් එරාන් වික්‍රමරත්න මහතා කීවේ 22 ට ඡන්දය දීමට තම පක්ෂය සුදානමින් සිටි බව යි.

දැන් කිරිඇල්ල මහතා කියන්නේ සහය දීම ගැන තීරණය කරන්නට පෙර තවත් සාකච්ඡාවක් අවශ්‍ය බවයි. ඒ මහතා මේ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත දන්වා තිබේ.

තම පක්ෂයෙන් ඉදිරිපත් කළ ලයිස්තුවේ පිරිසකට කැබිනට් ඇමැති තනතුරු ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු නොකිරීමට ප්‍රතික්‍රියා දක්වීමක් ලෙස 22 සංශෝධනය පරාජය කිරීමට පොහොට්ටුවේ ප්‍රබලයින් තීරණය කොට ඇති බව කියති. මේ වනවිට සමගි ජන බලවේගයේ ප්‍රබලයින් ද එයට සහය දෙමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමග විරසකය නිසා බව ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ මතය වී තිබේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *