මා නූගතකු වූ හැටි හා අධ්‍යාපනයේ නිදහසට පක්ෂ වූ හැටි – අජිත් පැරකුම් ජයසිංහ

 

මා නූගතෙකි. මගේ නූගත්කම ගැන ඇති තරම් සහතික මෙම බ්ලොගයේ ලියැවී තිබේ. ඒවා ලියූ බොහෝ දෙනෙක් උපාධි, පශ්චාත් උපාධි ඇති අය නිසා ඒ අය දෙන සහතික වැදගත් ය.

එහෙත් මා අධ්‍යාපනයේ නිදහසට පක්ෂ ඇයි ද යන්න පැහැදිලි කිරීමට මා නූගතෙකු වූ ආකාරය යොදා ගත හැකි ය.

මා සම්ප්‍රදායික අධ්‍යාපනයෙන් සමත් වී තිබෙන්නේ පහේ ශිෂ්‍යත්වය හා සාමාන්‍ය පෙළ විභාගය පමණි. උසස් පෙළ කරන සමයේ මම රස්තියාදුවටත්, පසුව දේශපාලනයටත් යොමු වූ නිසා මුල් වර උසස් ‍ පෙළ විභාගයට පෙනී නො සිටියෙමි. එහෙත්,  විද්‍යා විෂයයන් ඉගෙනගෙන තිබුණු නිසා පාසලෙන් පිට වන්නට පෙර ම මා මෝටර් යාන්ත්‍රික ඉංජිනේරු විශේෂ ආධුනිකයෙකු ලෙස වෝකර් පුත්‍ර සමාගමට තෝරා ගන්නා ලදී. වසර හතරක පාඨමාලාව දෙවසරක් කර තිබියදී ජවිපෙ දේශපාලනය නිසා 1985දී මා අත්අඩංගුවට ගන්නා ලදී. ඒ වන විට මගේ වයස අවුරුදු 20කි. මාස තුනක් සිර ගෙදර සිට නිදහස්ව ආ මා කෙළින් ම ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයට ගියෙමි. එතැන් සිට බ්ලා බ්ලා බ්ලා ය. මම නූගතෙක් වුණෙමි.

මට නැවත උසස් පෙළ ලියන්නට සිතුණේ 1991දී මා වීරවිල රැඳවුම් කඳවුරේ සිටියදී ය. අප්‍රේල් මාසයේ විභාගයට අයදුම් කළ මම දේශපාලන විද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, නාට්‍ය හා රංග කලාව යන විෂයයන් හතරේ පොත් ගෙන්වාගෙන කියවා මාස හතරකට පසු අගෝස්තු මාසයේ විභාගයට පෙනී සිටියෙමි. විභාගයට පෙනී සිටීමට මා පැලවත්ත කඳවුරට ගෙන යන ලදී. එහි තිබුණේ දැඩි මර්දනකාරී වාතාවරණයකි. හමුදාකාරයෝ මගේ රැවුල පවා බලෙන් කැප්පවූ හ. අවසාන සතියකට වැඩි කාලයක් මා කිසිදු පොතක්, පතක් කියෙව්වේ නැත. පොතක් පතක් කියවන්නට හේත්තු වන්නට බිත්තියක්වත් එහි නො තිබිණි. මේ මුළු අධ්‍යාපනය ම මා කළේ පුටුවක, මේසයක කිසි විටෙක හිඳ ගන්නේ නැතිව ය. ලංකාවේ හිර ගෙවල්වල ඇඳ, පුටු, මේස නැති බව නො දන්නා අයගේ දැනගැනීම සඳහා ලියමි. පැලවත්තේදී මා සිටියේ ශාලාවක මැද ය. රෙද්දක් බිම එළා නිදා ගත්තෙමි. එවැනි වාතාවරණයක් තුළ පාඩම් කරන්නට හැකියාවක් නැත. එහෙත්, කිසිදු ගුරුවරයකුගෙන් ඉගෙන නො ගත් මට විශ්වවිද්‍යාලයට තෝරා ගන්නා ලකුණු මට්ටමට ලකුණු තුනක්, හතරක් අඩුවෙන් ලකුණු ඇතිව විභාගය සමත් වන්නට හැකි විය. ඒක කියන්නේ මගේ විශේෂ දක්ෂකමක් ගැන කියන්නට නො වේ. ඔය උසස් පෙළ කලා විෂයයන්ගෙන් සමත් වීම මාාාාර දක්ෂකමකැයි සිතන අයට ඒක ඒ හැටි මගුලක් නො වන බව කියන්නට ය.

මා නූගතකු වන්නට තවත් හේතුවක් වන්නේ ලේසියෙන් සමත් විය හැකි බෞද්ධ ශිෂ්ටාචාරය වැනි විෂයක් නො කර ඉංග්‍රීසි සාහිත්‍යය, නාට්‍ය හා රංග කලාව වැනි අභියෝගාත්මක විෂයන් තනිව ඉගෙන ගන්නට ගිය නිසා ය. එහෙම නැතිනම් මටත් රජය විසින් පමණක්, නොමිළේ පමණක් දෙන නිදහස් අධ්‍යාපනය යයි කියන දෙය මහජන මුදලින් ලබා ගන්නට අවස්ථාව ලැබෙන්නට තිබිණි. එහෙත්, දැන් එසේ අධ්‍යාපනය ලැබූ අය අපට කියන්නේ අදක්ෂයන් කියා ය. අප නූගතුන් වී තිබෙන්නේ ඒ අදක්ෂකම නිසා ය.

අසූ නමයේදී අප හිරේ යද්දී රටින් පළා ගොස් ප්‍රංශයේ එංගලන්තයේ දේශපාලන රැකවරණ ලැබ ජීවත් වී, උපාධි ලැබ මෙහි පැමිණ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරමින්, වෙනත් කිසිවක් නො කර, වාමාංශිකයන්ට ඉඳහිට කීයක් හරි අතමිට මෙළවීමෙන් පමණක් විප්ලවවාදියකු වී සිටින එක් පුද්ගලයෙක් මෙම බ්ලොගයට පැමිණ මගේ ඉංග්‍රීසි හොඳ නැති බව කියන්නට විශේෂ මහන්සියක් ගනියි. ඔහු මා මනින මිනුම් දණ්ඩ දක්ෂිණ එංගලන්තයේ මධ්‍යම පංතික ඉංග්‍රීසි උප භාෂාවයි. එංගලන්තයට කිසි කලෙක ගොස් නැති, අඩු තරමේ කොළඹ වැසියකු හෝ නොවන මා වැනි අයගේ ඉංගිරිසියට දකුණු එංගලන්තයේ ප්‍රමිතිය අදාළ නැත. ලංකාවේ ඉන්නේ මා වැනි බහුතරයක් මිස, දේශපාලන රැකවරණ පිහිටෙන් එංගලන්තයේ සිට මෙහි පැමිණි කළු සුද්දෝ නොවේ. ඉංග්‍රීසි පිළිබඳ මගේ අදහස ම ඔවුන්ට ප්‍රතිපක්ෂ ය. මා කියන්නේ අප ජාත්‍යන්තරය දිනිය හැකි අපේ ඉංගිරිසියක් ගොඩනගා ගත යුතු බවයි.

නූගතකු වුවත්, පොත පත කියවා හා වීරවිල කඳවුරේදී සෙසු රැඳවියන්ට දන්නා තරමින් ඉංග්‍රීසි උගන්වා ලැබ තිබූ පරිචය නිසා තරග විභාගයක් ඉහළින් සමත් වූ මට 1994දී ශ්‍රී ලංකා රජය ඉංග්‍රීසි ගුරු පත්වීමක් දුන්නේ ය. කෙටි කාලීන පූර්ව සේවා පුහුණුවකින් පසු මම ඈත දුෂ්කර පදවියේ මායිම් ගම්මානයක ළමයින්ට ඉංග්‍රීසි උගන්වන්නට ගියෙමි. අවුරුදු ගණනාවක් ම මා එහිදී ඇසුරු කළේ ළමයින්ට උගන්වන මට්ටමේ අවම ඉංග්‍රීසියකි. හැදෑරීමට වඩා පණ බේරා ගැනීමට ප්‍රමුඛතාව දෙන්නට සිදු විය. මා නූගතකු වන්නට එය දැඩි ලෙස බලපෑවේ ය.

එහෙත්, මේ කාලයේ මම මගේ ම කවි පොතක් හා කෙටි කතා පොතක් ද පළ කළෙමි. මා නූගතකු වුව ද මගේ කෙටි කතා පොත පළ කරන්නට තෝරාගෙන එයට මුදල් ගෙව්වේ ශ්‍රී ලංකා රජයේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයයි.

පදවියේ ඉන්න කාලේ මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව ඩිප්ලෝමාවට අයදුම් කළෙමි. එහෙත්, මහාචාර්ය තිස්ස කාරියවසම් මා එයට තෝරා ගත්තේ නැත. පදවියේ සිට එය හදාරන්නට බැරි බව ඔහු සම්මුඛ සාකච්ඡාවේදී කෙළින් ම කීවේ ය. ඔහුගේ මහ ලොකු පාඨමාලාව කළ කීදෙනෙක් ලේඛකයන් වුණාදැයි මම නො දනිමි. නමුත්, මම නම් වෘත්තීය ලේඛකයෙක්මි.

එහෙත් ඔහුගේ කතාවෙහි ඇත්තක් ද තිබිණි. පදවියේ සිට මුර කපොලු හයක හතක බසිමින් ඒ දිනවල මගේ නිවසට යන්නට පැය දොළහක් ගත විය. නිතිපතා කොළඹ එන්නට යන්නට තරම් වැටුපක් ද නො ලැබුණු බැවින් මම මට ලැබුණු පදවියට වී සිටියෙමි.

මේ අතරවාරයේ කැලනිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියකට ලියාපදිංචි වූ මම එක් මාසයක් පමණක් සිංහල විෂයට මහාචාර්ය කුලතිලක කුමාරසිංහගේ හා ජනසන්නිවේදනයට ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගේ ටියුෂන් පංතියකට ගියෙමි. සිංහල පන්තිය පටන් ගත් වේලාවේ සිට ඉවර වෙනකල් ම සටහනක් කියවන ලදී. ළමයි ලියා ගත් හ. ඒ දිනවල ජයතිස්ස හා රොසලින් නවකතාව ගැන සටහනක් දෙමින් තිබිණි. එහි ජයතිස්ස හා රොසලින් පොතේ පිටු ගණන් ලියවන ලදී. ඒවා ලියා ගත් විට නැවත පොත කියවන්නට ඕනෑ නැත. අවශ්‍ය කෑලි සමග උත්තර ලිවිය හැකි ය. කුලතිලක කුමාරසිංහගේ අධ්‍යාපන ක්‍රමවේදය නිසා මගේ උපාධි පංතිය ඒ මාසයෙන් අවසන් වූ අතර එතැන් සිට මම මුළු උපාධිය ම ලිව්වේ තනියෙන් පොත් කියවා ය. මා කළ අනෙක් විෂය වන ඉංග්‍රීසි සාහිත්‍යයට නම් පන්ති තිබුණ තැනක්වත් මා දන්නේ නැත.

ඇත්තම කියනවා නම් මට ඒ උපාධිය ලබා ගන්නට බැරි වුණේ අවසන් වසරේ විභාගයෙන් ඉංග්‍රීසි විෂයට ඌන සාමාර්ථයක් තිබුණ නිසා ය. ජන සන්නිවේදනයට හා සිංහලවලට මට වසර තුනේ ම විභාගවලින් උසස් සාමාර්ථ තිබිණි. ඒ කාලයේ කැලනි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශය භාරව සිටි මැනික් ගුණසේකර, මෛත්‍රී වික්‍රමසිංහ වැනි අර කියන ජාතියේ දකුණු එංගලන්ත ප්‍රමිතියේ රදළ ආචාර්ය මහාචාර්යවරු එහි අප වැනි පීඩිතයන්ට ඉංග්‍රීසි විෂය බාහිරව සමත් විය හැකි තත්වයක් ඉතිරි කළේ නැත. මා උපාධියක් නැති නූගතකු වූයේ ඒ නිසා ය.

එහෙත්, මේකත් කිව යුතු ය. ඔය මහ ලොකු උපාධිවල තිබෙන සිංහල හා ජනසන්නිවේදනය යන විෂයයන් දෙක නූගතකු වන මා උසස් ලෙස සමත් වූයේ කිසිදු ගුරුවරයකුගෙන් ඉගෙන ගන්නේ නැතිව තනිව පොත් කියවා ය. එයින් මා පෙන්නන්නට හදන්නේ මගේ ලොකුකමක් නොව, ඔය මහ ලොකු කලා උපාධිවල තිබෙන පොඩිකම ය.

මහරගම ගුරු විද්‍යාලයේ සිටි 1998, 99 වසර දෙක වෙනුවෙන් අත්සන් කර තිබුණු ගිවිසුම අනුව බාහිර උපාධිවලට පෙනී සිටින්නට තහනම් විය. එසේ පෙනී සිට සමත් වූවත් උපාධි වැටුපක් දෙන්නේ නැත. ඒ නිසා ඒ කාලයේ මම මගේ උපාධිය කල් දැමුවෙමි.

2001 සමයේදී මම නැවත හිරු කණ්ඩායම සමග දේශපාලනයට පිවිසුණෙමි. බොහෝ කාලයක් කොළඹ රස්තියාදු ගැසූමුත්, ඌන සාමාර්ථය තිබූ විෂය සමත් කරගෙන උපාධිය ගන්නට මට උවමනාවක් තිබුණේ නැත. හිරු කණ්ඩායම දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්නට තීරණය කළ වෙලාවේ මම රැකියාව ද අතහැර දමන්නට තීරණය කර සිටියමි. ඒ වන විට මට වයස අවුරුදු 40ත් ඉක්මවා තිබිණි.

දැන් ඒ හිරු කණ්ඩායමේ අය මෙහි පැමිණ මා නූගතකු යයි කියති. ඒ මට උපාධියක් නැති නිසා ය.

විශ්වවිද්‍යාලයට යන්නට ලකුණු කීපයක් මදි වූ, අප වැනි අයට රැකියා කරන ගමන් උපාධියක් ලබා ගන්නට පහසු ක්‍රම ලංකාවේ නැත. මා දන්නා බොහෝ පුහුණු ගුරුවරු උපාධියක් ලබා ගැනීම සඳහා අනන්ත දුක් වින්ද හ. ගුරුවරුන්ට අධ්‍යාපනවේදී උපාධි ලබා දෙන ජාතික අධ්‍යාපන ආයතනය ඉතා බාල ආයතනයකි. ඉස්කෝල වැනි මෙවැනි ආයතනවලට උපාධි දෙන්නට තිබෙන සුදුසුකම කවුරුවත් ප්‍රශ්න කරන්නේ නැත. විවෘත විශ්වවිද්‍යාලය ඔය කියන තරම් විවෘත නැත. විශ්වවිද්‍යාල බාහිර උපාධි යනු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ටියුෂන් ගරානාවකි. ඒවායේ විභාග පවත්වන්නේ එපා වාහෙට හොදි බෙදනවා වගේ ය.

මහජන මුදලින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ, ශිෂ්‍යත්ව ලැබූ, විදේශ අධ්‍යාපනය සඳහා අවස්ථා ලැබූ, පොතපත හැදෑරීමට මහජන මුදලින් කාලය හා නිදහස ලබා දී තිබෙන, හොඳ පුස්තකාලවලට ප්‍රවේශය ඇති, බුද්ධිමය සමාජයන්හි ජීවත් වන්නන් බ්ලොග් එකකට පැමිණ මාධ්‍යකරුවන් වන අපට නූගතුන් යයි අවමන් කරන තත්වයක් නිර්මානය වීම කෙතරම් බුද්ධිමය පරිහාණියක්දැයි බුද්ධිමත්තු ම කල්පනා කරත්වා!

විශේෂත්වය වන්නේ මේ පණ්ඩිතයන් රොත්ත පිටින් ම අධ්‍යාපනයේ නිදහසට විරුද්ධ වෙමින්, අධ්‍යාපනය රජය විසින්, මහජන මුදලින්, නොමිළේ පමණක් දිය යුතු එකකි ය, රජයේ විශ්වවිද්‍යාලවලට නො තේරෙන සිසුන්ට ඉගෙන ගැනීමට අවස්ථාව නො දිය යුතු ය යන මතය ප්‍රවර්ධනය කරන්නන් වීමයි.

මුල් උපාධියක් නැතිකම ඇත්තට ම වෘත්තිකයකුගේ ඉදිරි ගමනට බරපතල බාධාවකි. කුසලතා සහිත බුද්ධිමය කම්කරුවකු නිසා, උපාධියක් නැතත්, ජීවත් වන්නට ගැටලුවක් නැති වුවත්, මා වැනි අය ජීවත් වන්නට සෑහෙන්න වැඩ කළ යුතු ය. මට නම් එහි ගැටලුවක් නැත. එහෙත්, උපාධිධාරී වැඩ බැරි දාසලා බොස්ලා වී පාට් දමන විට අනේ අපොයි කියා සිතෙන එක වළක්වා ගන්නට බැරි ය.

උන්නතිකාමී අරමුණකින් තොරව, හුදෙක් ම විධිමත් අධ්‍යාපනයක් ලැබීමේ ආශාව නිසා ම මම නැවත උපාධියක් සඳහා ඉගෙන ගැනීම පිළිබඳ සොයා බලා තිබේ. එහෙත්, අප වැනි අයට වැඩ කරමින් අප කැමති විෂයන් හදාරා උපාධියක් ලබා ගන්නට පහසුකම් ලංකාවේ නැත. විදේශ රටකින් එවැනි උපාධියක් වෙනුවෙන් අති විශාල ධනස්කන්ධයක් වැය කළ යුතු ය.

මට කවුරුවත් නොමිළේ ඉගැන්විය යුතු නැත. ඒ වෙනුවෙන් වියදම් කරන්නට මට මුදල් ඇත. එසේම, රජය විසින් නොමිළේ ලබා දෙනවා ය කියන නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් බදු ගෙවන්නට ද මගේ කිසිම මැලිකමක් නැත. එයත් තිබිය යුතු ය. මා වැනි අයටත් ඉගෙන ගන්නට තැනක් අවශ්‍ය ය.

මා අධ්‍යාපනයේ නිදහසට පක්ෂ මා වෙනුවෙනි. මා වැනි වෙනත් මිනිසුන් වෙනුවෙනි. අපට වූ දේ වීමට ඉඩ තිබෙන අපේ දරුවන් වෙනුවෙනි. අධ්‍යාපන ක්‍රමයේ ගැටලු හා සීමිත අවස්ථා නිසා අදක්ෂයන් ලෙසත්, පසුව නූගතුන් ලෙසත් ලේබල් කරනු ලබන මා වැනි පීඩිතයන් වෙනුවෙනි.

w3lanka

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *