චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීම එරට නව පාලනය පත්වීමෙන් පසුව

මේ මස මැද භාගයේ දී පැවැත්වෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනයේ දී එරට පාලනයේ ප්‍රධාන තනතුරුවල සිදුවන වෙනස්කම් වලින් පසුව එරට සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉහළ මට්ටමේ සාකච්ඡා ආරම්භ කළ හැකිවනු ඇතැයි රජය අපේක්ෂා කරන බව තතු දත් ආරංචි මාර් ග කියයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මැදිහත් කරුවකු වීම සම්බන්ධයෙන් ජපානය සමග කළ සාකච්ඡාවලදී මෙම අදහස ප්‍රකාශ වී ඇති බව ද කියති.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනය මෙම මස 16 දා සිට බෙයිජිං නුවර දී පැවැත්වීමට නියමිතය. පක්ෂයේ නව නායකත්වය පත් කිරීම එම සමුළුවේ දී සිදු කිරීමට නියමිත ය.

චීන ජනාධිපති ලෙස පත්වන්නේ පක්ෂයේ ප්‍රධාන ලේහම් ලෙස පත්වන තැනැත්තාය. පසුගිය කාලයේ එම තනතුර වාර දෙකකට සීමා කොට තිබිණි. වත්මන් ජනාධිපති ෂි ජින් පින් ගේ වාර දෙක අවසන්ව ඇති නමුත් ඇතැම් නිරීක්ෂකයින් කියන්නේ ඔහුට තවත් වාරයක් ලබා දීමට ඉඩ ඇති බව යි. එය එසේ නොවුවහොත් නව ජනාධිපතිවරයකු පත්විය යුතු වෙයි.

අගමැති තනතුර දරන ලී කේ චාන්ගේ තනතුරෙහි වෙනසක් වනු ඇතැයි ද අපේක්ෂා කෙරෙයි.

පක්ෂයේ නායක මණ්ඩලය වන දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කාරක සභාවේ හය දෙනාගෙන් තිදෙනකු ඉවත්ව යනු ඇති බවට ද තොරතුරු ලැබී තිබේ. ඒ අනුව එම තනතුරු සඳහා අලුතින් පත්කිරීම් කළ යුතු වෙයි.

චීන රාජ්‍යයේ වගකීම් ඊළඟට පැවරෙන්නේ එලෙස අලුතින් පත්වන නායකත්වයට ය.

එබැවින් ශ්‍රී ලංකාව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉහළ මට්ටමේ සාකච්ඡා එලෙස පත්වන නව පාලනය සමග ආරම්භ කිරීමට අපේක්ෂිත ය. කෙසේ වෙතත්, නිලධාරී මටටමේ සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *