ජනපතිගේ ජපන් – පිලිපීන සංචාරයෙන් නපුරු හීනයේ බිය නිමා විය – සුසන්ති ප්‍රදීපිකා

අසිය පළමු සංචාරය ලෙස බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජනගේ අවමංගල්‍යයට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඊළඟ විදෙස් සංචාරය වූයේ ජපාන – පිලිපීන සංචාරයයි.

එකී සංචාරය ඇත මුන් හාස්‍යයට ලක් කළේ රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදී ඇති පසුබිමේ ජනාධිපති අවමංගල්‍යය උත්සවවලට යන බව පවසමිනි.

එහෙත් ඒ ප්‍රකාශ මේ වන විට හාස්‍යයට ලක්වෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා ඔස්සේ ලැබෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ පවතින ණය අර්බුදයට ජපානය පාර්ශ්වයෙන් සහාය දීමට සූදානම් බව එරට මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකිගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව ජපාන මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ වාර්ෂික සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මේ අදහස් දැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිදු කිරීම ද විශේෂත්වයකි.

විදෙස් මාධ්‍ය වාර්තාවල තවදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පහසුකමක් දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව පළ කර ඇති බවත්, මෙම ණය අර්බුදය විසඳීමට මිත්‍ර රාජ්‍ය සමඟ පැවැත් වූ සාකච්ඡා වටයක ප්‍රතිඵලයක් ලෙස ජපානයේ සහයෝගය ලබා ගැනීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමත්ව ඇති බවත්ය.

කෙසේ වෙතත්, චීනය, ඉන්දියාව ඇතුළු අනෙකුත් ණය හිමි රාජ්‍යවල සහාය ද මේ සඳහා හිමි විය යුතු බව ජපාන මුදල් අමත්‍යවරයා අවධාරණය කර ඇත.

මතුව ඇති ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ ගැනීමට ජනාධිපතිවරයාට පැහැදිලි වැඩපිළිවෙළක් තිබේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු එතුමා පියවරෙන් පියවර ඉටු කරමින් සිටී. ප්‍රශ්නය ඇතමුන් මේ ගැන නොදැන සිටීමය. නැත්නම් ඇත්ත සැඟවීමට දරන අසාර්ථක ප්‍රයත්නයයි.

ලෝක නායකයන් යන පාර

මෙම ආර්ථික ගැටලු විසඳා ගැනීමේ දී විදෙස් මිත්‍ර රාජ්‍යවල සහයෝගය ලබා ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂාව බව පැහැදිලිය. ඒ සඳහා විදෙස් රාජ්‍ය නායකයන් ඇතුළු නියෝජිතයන් සමඟ ජනාධිපතිවරයා මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටී.

එමෙන්ම අද ලෝක ප්‍රවණතාව ලෙස නිරීක්ෂණය වන්නේ එක රටක් වෙත යන නිල සංචාර නොව රාජ්‍ය නායකයන්, ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික උත්සව සහ සමුළු ආදිය හරහා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තහවුරු කර ගැනීමය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ද අද අනුගමනය කරමින් සිටින්නේ එම පිළිවෙතයි.

අවිශ්වාසය වෙනුවට විශ්වාසය ඇති කරමින් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලින් ඔබ්බට ගොස් සිය මිත්‍රශීලි සබඳතා ඉවහල් කර ගනිමින් ඒ සියලු දෙනාගේ ශක්තිය සහ දායකත්වය අද මෙරටට ආයෝජනය කර ගනිමින් සිටින බව මේ තුළ තහවුරු වෙයි.

ඒ අනුව ජනාධිපතිවරයා ලෝක මළ ගෙවල් සවාරියක නිරත වන බව කවුරුන් කෙසේ පෙන්වා දීමට උත්සාහ කළ ද ජනාධිපතිවරයාගේ අරමුණ කුමක්දැයි සිහි බුද්ධියෙන් සිතන සියලු දෙනාට අවබෝධ කරගත හැකිය.

අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලැබෙන සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගනිමින් සිටී. ඒ රට වෙනුවෙන්ය. රට පත්ව ඇති අවසනාවන්ත තත්ත්වයෙන් මුදාගෙන මතු පරපුර වෙනුවෙන් දියුණු රටක් ගොඩනඟා දීමටය.

පසුගිය දා සිදු කෙරුණ ජනාධිපතිවරයාගේ ජපාන සහ පිලපීන නිල සංචාරය ද එවැන්නක් මිස අනෙකක් නොවේ.

කොළඹින් ජපානයට

ජනාධිපතිවරයා පසුගිය 26 වැනි දා අලුයම ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගියේය.

ඒ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගි වීමට පමණක්ම නොවේ. ජපාන අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා මෙන්ම මුදල් අමත්‍යවරයා ද හමු වී සාකච්ඡා කිරීමටය. ශ්‍රී ලංකාවට සහාය වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමටය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා අතර සාකච්ඡා 27දා පෙරවරුවේ ටෝකියෝ නුවරදී පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමඟ කරන සාකච්ඡාවලදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට තම රජය සූදානම් බව ජපාන විදේශ අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

ජපානය පුනර්ජනනීය බලශක්තිය සඳහා වැඩි නැඹුරුවක් දක්වමින් ශ්‍රී ලංකාවේ අනාගත ආයෝජන අවස්ථා සලකා බැලීමට කැමැත්තෙන් සිටින බවද ජපාන විදේශ අමාත්‍යවරයා කීවේය.

සිංගප්පූරු අගමැති හමුව

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුං අතර හමුවක් එදිනම සිදු කෙරිණි. සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී පැවසීය. එසේම ජනාධිපති කාර්යාලයේ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කරන බවද ජනාධිපතිවරයා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සමඟ පැවසූ අතර, සිංගප්පූරුව යළිත් වරක් ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා සූදානමින් සිටින බව ලී සියෙන් ලුං සඳහන් කළේය.

ෂින්සෝ අබේ මිතුරාට සමුදීම

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 27 දා ටෝකියෝ නුවර නිපොන් බුඩොකාන්හි දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම වස්ථාවට සහභාගි වුණේ තමා අග්‍රාමාත්‍යවරයාව කටයුතු කළ අවස්ථාවලදී ෂින්සෝ අබේ ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලාංකික දියුණුව වෙනුවෙන් දුන් සහායට කෘතගුණ දක්වමිනි.

ජාතික අවාසනාවක්

එහිදී සිහිපත් කළ යුතු වැදගත් කරුණක් වන්නේ අවාසනාවන්ත තීන්දුවක් හරහා මෙරට අහිමි කරගත් සැහැල්ලු දුම්රිය සේවය ලැබුණේ ෂින්සෝ අබේගේ පාලන සමයේ ඇති කර ගත් එකඟතාව අනුව බවයි.

ජයිකා ( japan International co- operation Agency – JICA) සමාගම මේ සඳහා මූල්‍ය ආධාර සැපයූ අතර, පොලිය සියයට දශම (0.1%) සහනදායී ණයක් ලෙස දී තිබිණි. ණය ආපසු ගෙවීමට වසර 40ක කාලයක් දුන්නේය. එමෙන්ම ණය ගෙවීම පිණිස වසර දහයක අනුග්‍රහ කාලයක් දීමට ද එම ආයතනය එකඟ වී තිබිණි .

1860 දී බ්‍රිතාන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයක් ඇරඹීමෙන් පසුව මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදු වීමට තිබූ ප්‍රධනතම පෙරළිය එය වන බව රහසක් නොවේ.

රටේත් ජනතාවගේත් අවාසනාවට මේ මොහොතේ එය අහිමිව ඇතත්, මේ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස නුදුරේදීම එය යළිත් ලැබෙනු ඇති බව දේශපාලන විචාරකයෝ විශ්වාසය පළ කරති.

ඉහළ පෙළේ ජපාන රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුව

ඒ සුබ ප්‍රාර්ථනාව සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අතර හමුව 28 දා පෙරවරුවේ පැවැත්වුණු අතර, දෙරටේ සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑම පිළිබඳ එහිදී නායක දෙපළ දිර්ඝ ලෙස සාකච්ඡා කළහ .

මේ අතර ටෝකියෝ නුවර ඉම්පීරියල් මන්දිරය වෙත ගිය ජනාධිපතිවරයා ජපාන අධිරාජයා වන නරුහිතෝ අධිරාජයා බැහැ දැක සාකච්ඡාවක නිරත විය.

ජපානයෙන් පිලිපීනයට

සිය දෙදින ජපාන නිල සංචාරය සාර්ථකව නිමවා ආසියනු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වැනි වාර්ෂික රැස්වීමේ මුලසුන දැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ 28දා පිලිපීනයේ මැනිලා නුවරට ළඟා විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් – කනිෂ්ඨ අතර නිල හමුව 29 දා පෙරවරුවේ මැනිලා නුවරදී පැවැත්වුණු අතර ආසියානු කලාපීය සහයෝගිතාව වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සහ පිලිපිනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බව වික්‍රමසිංහ මහතා පැවසීය.

ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මේ වාර්ෂික රැස්වීමේ ප්‍රධාන සැසිය සැප්තැම්බර් 29දා මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේදී පැවැත්විණි.

පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් – කනිෂ්ඨ (Ferdinand R.Marcos, Jr.) සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවාගේ (Masatsugu Asakawa) සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමට සාමාජික රටවල මහ බැංකු අධිපතිවරු එක්ව සිටියහ.

එහි මූලාසන දේශනය සිදු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ ගෝලීය දේශපාලන ප්‍රවණතා ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇති බවයි.

ලංකාවේ අර්බුදයට ජාත්‍යන්තර සහාය

කොවිඩ් වසංගතය මෙන්ම යුක්රේන යුද්ධය හේතුවෙන් නිර්මාණය කළ ගෝලීය ආර්ථික අස්ථාවරත්වයේ අහිතකර ප්‍රතිවිපාක වන ආහාර, ඉන්ධන සහ පොහොර මිල අධික ලෙස ඉහළ නැඟීම දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය කළ බවත් ජනාධිපතිවරයා එහිදී පැහැදිලි කළේය.

කලාපයේ හඬ

විශාල ආර්ථික පීඩනයක් මධ්‍යයේ, ශ්‍රී ලංකාව රටේ ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පෙර නොවූ විරූ මූල්‍ය ප්‍රයත්නයක් දරන බවත්, ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මෙම ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ ණය හිමියන් සහ සියලු පාර්ශ්වකරුවන් සහාය දක්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා කීවේය.

ලෝක බලවතුන්ගේ ගැටුම් අපේ කලාපයේ රටවල අර්බුදය උග්‍ර කරවන ආකාරයත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී අනාවරණය කර සිටියේ, ලෝකයේම අවධානය ලබා ගනිමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී සිදු කළ කතාව ඇතැම් විචාරකයන් විශ්ලේෂණය කර තිබුණේ කලාපයේ හඬ ලෙසය.

ADB සභාපති හමුව සහ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය !

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආසියනු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා අතර හමුව 30 වැනි දා මැනිලා නුවරදී පැවැත්විණි.

එහිදී ආසියනු සංවර්ධන බැංකු සභාපතිවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩවම සහයෝගයෙන් කටයුතු කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ කටයුතු පිළිබඳ මෙහිදී ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා දැනුවත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ලෝකයේ ඕනෑම රටක සිසුන්ට අධ්‍යයන කටයුතුවල නිරතවීමට හැකි වන අයුරින් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ද යෝජනා කළේය.

මේ වන විට ලැබී ඇති තවත් සුබ පණිවිඩයක් නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඒ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල යෝජනාව නුදුරේදීම යථාර්ථයක් වීමට යන බවය.

ඒ අනුව කවුරු මොනවා කීවත්, ඉතිහාසය සාක්ෂි දරන ආකාරයට, රට ආර්ථික වශයෙන් කඩා වැටුණු සෑම අවස්ථාවකම යළි ආර්ථිකය ගොඩනඟා රටේ අනාගතය සුරක්ෂිත කළ රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ලෙස යළිත් ඒ සහතිකය දී ඇත. අද ගැන හිතන්නත් බයෙන් සිටි ජනතාවට දැන් හෙට ගැනත් සුබ සිහිනයක් දැකීමට අවස්ථාව හිමිව ඇත. දැන් ඇත්තේ, ඒ සිහිනය වෙනුවෙන් වැඩ කිරීමය. පාට පක්ෂ භේද මෙතනට තවදුරටත් මොකටද ?

සුසන්ති ප්‍රදීපිකා

දිනමිණ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *