වෙළඳපොළ හොර ගුහාව සහ වැට් බද්ද – අජිත් පැරකුම් ජයසිංහ

වැට් බද්දට එරෙහිව උද්ඝෝෂණය කරන්නට ලංකාවේ වෙළඳ ප්‍රජාව එක් වීම සුවිශේෂ සිද්ධියකි. සාමාන්‍යයෙන් වෙළඳ ප්‍රජාව එක්සත් ජාතික පක්ෂයට හිතවත් යයි ජනප්‍රිය මතයක් ඇති මුත්, එය එසේ නොවන බවටත්, පසුගිය රාජපක්ෂ දශකය තුළ වෙළඳ ප්‍රජාව අතර පවා ප්‍රබල වෙනස්කම් සිදු වී තිබෙන බවටත් මෙම සිද්ධිය දෙස් දෙයි.

1987-89 ජවිපෙ කැරැල්ල සමයේ ජවිපෙ ද, කොටි සංවිධානය ද හර්තාල්වලදී වෙළඳසල් වැසීම කළ හ. යම්, යම් සිදුවීම් ආශ්‍රිතව කඩ වසා දමා හර්තාල් පැවැත්වීම සිදු වී තිබෙන මුත්, වෙළෙඳුන් මේ අන්දමින් ආණ්ඩුවට එරෙහිව සටනට පිවිසීම අලුත් තත්වයකි.

නව වැට් බදු සංශෝධන අනුව, රු. 33,333ක දෛනික ආදායමක් ඇති වෙළඳසල්වලට ද වැට් බද්ද ගෙවීමට සිදු වී තිබේ. මෙය ඉතා සංකීර්ණ තත්වයක් නිර්මානය කරන බව ඇත්ත ය. තමන් විකුණන භාණ්ඩයට බිල්පතක් නිකුත් කිරීමේ වගකීමක්වත් නැති කූට වෙළඳුන්ගෙන් පිරි ලංකාවේ වෙළඳපොළ තුළ මෙමගින් වැඩිපුර සිදු වීමට ඉඩ තිබෙන්නේ වෙළඳුන් වැඩියෙන් පාරිභෝගිකයන් සූරාකෑමට මෙය භාවිතා කිරීමයි. අවසානයේදී රජය අපේක්ෂා කරන ආදායම් ලැබෙන්නේත් නැතිව, සූරා කෑම වැඩි වීම නිසා ජනතාවගෙන් බැනුම් අසන්නට ද ආණ්ඩුවට සිදු වනු නියත ය.

වැට් බද්ද ගැන ආණ්ඩුව නැවත සිතා බැලිය යුතු ය. එහෙත්, වැට් බදු විරෝධයට නායකත්වය දුන් බව කියන වෙළඳුන් කිහිපදෙනෙකුගේ කඩ සීල් තැබීමට ක්‍රියා කිරීම ද එක්තරා ඇත්තක් වෙත මහජන අවධානය යොමු කළේ ය. අදාළ වෙළඳුන්ට තමන්ගේ භාණ්ඩ තොග ලබා ගත් ආකාරය පැහැදිලි කරන්නට බැරි වූ බැවින්, ඒවා නීති විරෝධීව ආනයනය කළ භාණ්ඩ ය යන චෝදනාව එල්ල කරන ලදී. ඇත්ත තත්වය වන්නේ ලංකාවේ වෙළඳාම පසුපස දැවැන්ත තීරු බදු වංචා, ආදායම් බදු වංචා, වෙනත් බදු වංචා පමණක් නොව, පාරිභෝගික නීති, කම්කරු නීති, පාරිසරික නීති ආදී උල්ලංඝනයන් අටෝරාශියක් තිබෙන බවයි. සරළව කියනවා නම්, ලංකාවේ වෙළඳපොළ යනු හොර ගුහාවකි. රජය ද, ආණ්ඩුව ද, දේශපාලකයින් ද, ජනතාව ද මේ කවුරුත් අඩු වැඩි වශයෙන් දූෂිත ය.

බදු ක්‍රමය වඩා සරළ වන්නට නම්, ලංකාවේ ආදායම් බදු ගෙවිය යුතු, ඉහළ ආදායම් තිබෙන, ආදායම් ඉපදවීම සඳහා පොදු ආර්ථික හා සමාජ යටිතල පහසුකම් පාවිච්චි කරන ධනවතුන් ආදායම් බදු ගෙවිය යුතුව තිබේ. එහෙත්, ජනතාව අවංකව බදු ගෙවන්නේත් නැත. රාජ්‍ය යාන්ත්‍රණයට නියමිත පරිදි බදු එකතු කර ගැනීමේ හැකියාව ද නැත.

ජනතාව නිසි පරිදි බදු ගෙවන්නට නො පෙළඹෙන එක් හේතුවක් වන්නේ දූෂණයයි. රජය එකතු කර ගන්නා ආදායම්, දේශපාලකයන්, රජයේ නිලධාරීන් හා රජය සමග කොන්ත්‍රාත් කරන පිරිස් විසින් සූරා කන බව ඉතා ප්‍රකට කරුණකි. අනෙක් පැත්තෙන්, රජය විසින් බදු ගෙවන ජනතාවට සාධාරණ සේවාවක් සපයන්නේ ද නැත. රාජ්‍ය සේවය අතිශය අකාර්යක්ෂම ය.

ලංකාවේ රජය යනු ජනතාව සූරාකන දැවැන්ත ම ධනපති සමාගමයි. එය මහජනතාවගෙන් එක්රැස් කරන බදු පමණක් නොව, අනාගත පරම්පරා ගණනාවක් උගසට තබා ගත් ණය ද භක්ෂණය කරමින් තමන් ලබන සියලු පාඩු ආපිට ජනතාව මත ම පටවන අතිශය අකාර්යක්ෂම සමාගමකි. රජයෙන් ලාභ ලබන්නේ කවුරුද යන්න හරිහැටි තේරුම් ගත යුතු ය. ධනපති පංතිය ජනතාව සූරාකනවා ය යන ජනප්‍රිය මාක්ස්වාදී ප්‍රවාදයට මුවා වී වසන් කරන ලද යථාර්ථය තුළ ඇත්තට ම සිදු වන්නේ කුමක් ද? බහුතර මහජනතාවට කාලකන්නිකම උරුම කර දී තිබෙන මේ දැවැන්ත රජය පවත්වාගෙන යන්නට උවමනා වන්නේ කාට ද? ඒ වනාහි, එයින් යැපෙන දේශපාලකයෝ, රාජ්‍ය නිලධාරීහු හා රජය සමග විවිධ කොන්ත්‍රාත් කරන්නෝ ය. රජයෙන් යැපෙන්නන් වන මුත්, රාජ්‍ය සේවකයන්ගේ පහළ ස්ථරයේ ජීවිත ද රජය නිසා කාලකන්නි වී තිබේ.

ලංකාවේ ආර්ථිකයේ තිබෙන ලොකුම ගැටලුව මේ දැවැන්ත, අකාර්යක්ෂම රාජ්‍යයයි. එය සුබසාධන රාජ්‍යයැයි අර්ථකථනය කරන අය තේරුම් ගත යුතු කාරණය වන්නේ සුබසාධනය මේ රාජ්‍යයේ අරමුණ නො වන බවයි. ඇත්තම කියනවා නම් සුබසාධනය යනු මේ රාජ්‍යය පවත්වාගෙන යාම සාධාරණීකරණය සඳහා දඩමීමා කරගෙන ඇති දෙයයි.

දඩමීමා යනු දඩයක්කාරයන් වනයේ දඩයමේ යන විට ගෙන යන මීහරකෙකි. දඩයක්කරුවා යන්නේ ඌට මුවා වෙලා ය. මීමා පමණක් දකින වන සත්තු බිය නො වී නිසලව සිටිති. දඩයක්කරුවා වෙඩි තබන්නේ මීමාට මුවා වෙලා ය. සුබසාධනය ද මෙම දඩමීමා වැනි ය. සුබසාධනය නඩත්තු කරන්නේ රජය පවත්වාගෙන යන්නට මිස, රජය තිබෙන්නේ සුබසාධනය වෙනුවෙන් නො වේ. මෙය ඕනෑ ම, රාජ්‍ය ව්‍යවසායක් ඇසුරෙන් පැහැදිලි කළ හැකි ය. පාර්ලිමේන්තුව තිබෙන්නේ නීති සම්පාදනයට ද, නැතිනම්, එයට තේරී පත්වන අයට වරප්‍රසාද භුක්ති විඳින්නට ද? එපරිද්දෙන් ම, රජයේ රෝහල් තිබෙන්නේ මහජනතාවට වෛද්‍ය පහසුකම් සපයන්නට ද, නැතිනම්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවකයන් මහජන මුදලින් වැටුප් ගැනීම සාධාරණීකරණය කරන්නට ද?

පවත්නා රාජ්‍යය සුබසාධන රාජ්‍යයකැයි නාමකරණය කරමින් එය ඒ අන්දමින් ම රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින, තමන් ඉතා මානව හිතවාදී යයි කියන බලවේග ඇත්තෙන් ම කරන්නේ මේ රාජ්‍ය සූරාකෑම පවත්වාගෙන යාම වෙනුවෙන් පෙනී සිටීමයි.

ඒ අතරවාරයේ ඔවුන් මේ ඊනියා සුබසාධන රාජ්‍යය පවත්වාගෙන යාමට බැරි තත්වයකුත් නිර්මානය කරනවා. එය කරන්නේ රජයේ බදු ආදායම් මාර්ගවලට විරුද්ධ වීමෙනුයි. ඒකාබද්ධ විපක්ෂය විවෘතව ම ආණ්ඩු විරෝධී පදනමකින් වැට් බද්දට විරුද්ධයි. විමල් වීරවංශ එයට එරෙහිව නඩු පවරා ජය ගත්තා. ඔවුන් තේරුම් ගන්නට පහසුයි. ඔවුන්ට උවමනා වී තිබෙන්නේ රජය අයවැය පියවා ගත නො හැකි තත්වයකට පත් කර, ආර්ථික අර්බුදය උත්සන්න කර, ආණ්ඩුව බිඳ වට්ටා තමන් අතට බලය ගැනීමයි. ඉන් පසු ඔවුන් නැවත වැට් බද්ද හා තවත් බදු ගෙන එනු ඇත.

එහෙත්, මානව හිතවාදී පදනමකින් වැට් බද්දට විරුද්ධ වනවා ය කියන අය ඇත්තෙන් ම කරන්නේ කුමක් ද? ඉතාම සුන්දර පෙනුමක් ආරෝපණය කර ගනිමින්, ආකර්ශනීය වචනවලින් ඔවුන් කියන්නේ තමන් රජයේ හොඳ පැත්ත වන නොමිළේ අධ්‍යාපනය, සෞඛ්‍යය ආදිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටින ගමන් රජයේ නරක පැත්ත වන අධික ලෙස බදු අය කිරීම, ණය ගැනීම ආදියට විරුද්ධ වන බවයි. තවත් සරළ කළහොත්, ඔවුන් කියන්නේ ඔවුන් රජයේ වියදම්වලට පක්ෂ බව හා ආදායම්වලට විරුද්ධ බවයි. ආදායම් නැති, වියදම් වැඩි, ලක්ෂ 14කට අධික ඍජු කොටස් හිමියන්ගෙන් සමන්විත රජයේ අයවැය පියවා ගන්නේ කෙසේ ද යන සරළ ප්‍රශ්නයට විසඳුමක් මේ සෝබනකාරයෝ ඉදිරිපත් නො කරති.

මේ ඊනියා විරෝධතාවාදීහු අර්බුදය ඉතා මනරම් වචනවලින් විග්‍රහ කරති. එහෙත්, ඔවුන්ට විසඳුමක් නැත. කිසිවෙක් මේ සරළ ප්‍රශ්නයට පිළිතුරක් නො දෙති. ඔවුන් රාජ්‍යය බිඳ දමන කඩාකප්පල්කාරීන් පිරිසක් බව අප කියන්නේ ඒ නිසා ය. අප මේ ඊනියා සමාජවාදීන් රාජ්‍ය විරෝධී සහෝදරත්වය ලෙස හැඳින්වූයේ ද එහෙයිනි. නිසි ඉලක්කයක් නැති ඔවුන්ගේ රාජ්‍ය විරෝධිත්වය සේවය කරන්නේ විනාශයටයි. ප්‍රතිගාමිත්වයටයි.

ලංකාවේ ජනතාව සූරා කන, විශේෂයෙන් ම පීඩිතයන්ගේ ජීවිත කාලකන්නි කරන රජය ආරක්ෂා කිරීම වෙනුවෙන් අප පෙනී සිටීම විරුද්ධාභාසයක් බව ගිය සතියේ අප උපුටා දැක්වූ අක්ෂය වෙබ් අඩවියේ සහෝදරයෙක් තර්ක කළේ ය. රජයට විරුද්ධ වෙමින් එය ආරක්ෂා කිරීම වෙනුවෙන් ද පෙනී සිටීම පැහැදිලි කරන්නේ කෙසේ ද? අපි මොහොතකට යුනිලීවර්ස් බහු ජාතික සමාගම සලකා බලමු. එය ජනතාව අතර අධික පාරිභෝජනවාදයක් ප්‍රවර්ධනය කරමින් අධික ලාභයක් ලබන ප්‍රධාන පෙළේ බහුජාතික සමාගමක් බව ඇත්තකි. එහෙත්, එක පාරට එය අහෝසි වේ යයි සිතන්න. එවිට ලෝකයට අවශ්‍ය සබන්, දත්බෙහෙත් වැනි නිෂ්පාදනවල දැඩි හිඟයක් එක පාරට ම ඇති වෙන එක ද සිදු විය හැකි දෙයකි. රජයත් එවැනි ය. රජය සිය පැවැත්ම වෙනුවෙන් දඩමීමා ලෙස හෝ කාලාන්තරයක් තිස්සේ මහජන සුබසාධන සේවාවන්වල ඒකාධිකාරය පවත්වාගෙන ගොස් තිබේ. එය බිඳවැටුණහොත්, මුලින් ම සිදු වනු ඇත්තේ රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට බැරි වීමයි. එතැන් සිට සුබසාධන සේවාවන් තවත් බිඳ වැටෙනු ඇත. සෞඛ්‍ය සේවාවන් වැනි අත්‍යවශ්‍ය ම සේවා බිඳ වැටුණවිට පීඩිත ජනයා අතර කාලකන්නිකම තවත් තීව්‍ර වනු ඇත.

රජය බිඳ දැමීමට කටයුතු කරන අයට ඒ වෙනුවට ආදේශ කිරීම සඳහා දෙයක් තිබේ ද? නැත. රජය බිඳ වැටීම සමග සමස්ත සමාජ දේහය ම බිඳ වැටෙනු ඇත. එහෙයින් කළ යුතුව තිබෙන්නේ රාජ්‍යය බිඳ දැමීම නො වේ. බිඳ වැටීම වළක්වා ගත හැකි අන්දමේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටිමින් ඒවාට උපකාර කිරීමයි. අරගලය රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට ය. එය ප්‍රතිව්‍යූහගත කිරීමක් විය හැකි ය. එය කරන්නේ කෙසේ ද යන්න අපේ සංවාදය විය යුතු ය.

W3Lanka blog

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *