|

වජිර අරගලයට බත් පාර්සල් 30,000 ක් යවලා

 

 

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට පිවිසුමක් පසුගිය සතියේ සිදුවීය. ඒ සඳහා වූ ආරම්භක සාකච්ඡා දෙකක් ඉකුත් සතියේ සිදු වූ අතර එම සාකච්ඡා බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබිණි.

පසුගිය 21 දා පළමු සාකච්ඡාව සිදුකරන ලද්දේ මුදල් ඇමැතිවරයා ද වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මෙරට ද්වි පාර්ශවික ණය හිමියන් වූ රාජ්‍යයන්හි තානාපති නිලධාරීන් කැඳවා මෙරට ආර්ථික තත්ත්වය සහ එයට මුහුණ දීමේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීම එහි දී සිදුවීය.

ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මැදිහත් වී කැඳවන ලද අනෙක් සාකච්ඡාව අතත්‍ය සාකච්ඡාවක් ලෙස පවත්වන ලද්දේ 23 දා සවස ය. එහි ප්‍රධාන ඉලක්ක කණ්ඩායම වුයේ රජයේ ජාත්‍යන්තර බැඳුම්කරවල ආයෝජන සිදුකළ පිරිස යි. එයට ඇතැම් බැංකු සහ මුල්‍ය ආයතන ද ඇතුළත් වී තිබිණි.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාවත් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමත්, ආයෝජකයින්ගේ විවිධ ගැටලුවලට පිළිතුරු දීමත්, එහි දී සිදුවීය. ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා අනුව එම ඉලක්ක සපුරා ගැනීමේ හැකියාව එහි දී ප්‍රශ්න කරනු ලැබූ අතර ඒ සඳහා කරන බදු සංශෝධන ආදිය පිළිබඳව මහ බැංකු අධිපතිවරයා විසින් ආයෝජකයෝ දැනුවත් කරනු ලැබුහ.

මේ අතර මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කොට තිබුණේ දෙරට අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා පසුගිය 16 දා ආරම්භ කළ බව යි.

අධි ආරක්ෂිත කලාප ආන්දෝලනය

කොළඹ නගරයේ අධි ආරක්‍ෂිත කලාප නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය ද ආන්දෝලනාත්මක සිදුවීමක් වී ය. ඒ සඳහා උපයෝගී කොටගෙන තිබුණේ 1953 පමණ ඈත කාලයක සිට ක්‍රියාත්මක වී තිබු රාජ්‍ය රහස් පනත යි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ඇතැම් මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කළේ එම පනත යටතේ අධි ආරක්ෂක කලාප ඇතිකිරීම නීති විරෝධී බව යි. මෙය තාවකාලික පියවරක් බවත්, විදේශ සංචාරය නිමකර ජනාධිපතිතුමා දිවයිනට පැමිණි පසු මෙය යළි සමාලෝචනය කරනු ඇති බවත්, ආරක්ෂක රාජ්‍ය ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳුදා මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය.

සෙනසුරාදා (24 ) කොළඹ පුරහල මංසන්ධියේ සිට ඩීන්ස් පාර ඔස්සේ ඉදිරියට ගිය සමාජවාදී තරුණ සංගමයේ පෙළපාළියේ තේමාව වී තිබුණේ ‘අරගලය නව ජවයක්’ යන්න යි. එයට ඉදිරියට යාමට ඉඩ නොදුන් පොලීසිය ප්‍රකාශ කළේ එය නීති විරෝධී පෙළපාළියක් බව යි. වහා ම විසිර යන ලෙස පොලීසිය කළ නියෝග නොතකා ඉදිරියට ගිය පෙළපාළිකරුවන්ට ජල ප්‍රහාර සහ බැටන් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට කටයුතු කළ පොලිසිය 84 දෙනෙකු අත් අඩංගුවට ගෙන පසු දා මුදාහරින ලද්දේ පොලිස් ඇප මත ය. මෙම ක්‍රියාවට විපක්ෂයේ සහ සිවිල් සමාජයේ දැඩි විවේචන එල්ල වුයේ  සාමකාමී ලෙස විරෝධය දැක්වීමේ ජනතා අයිතිය උල්ලංඝනය කිරීමක් බව කියමිනි.

මෙම තත්ත්වයට පිළිතුරු දීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සඳුදා උදේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල්  කමල් ගුණරත්න සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහත්වරු එයට සහභාගී වී සිටියහ.

රට අරාජික කිරීමේ උත්සාහය මැඩ පවත්වනවා – ආරක්ෂක රාජ්‍ය ඇමැති

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එහි දී කළේ පරිස්සමින් සුදානම් කරගත් කතාවකි. ඒ මහතා කීවේ අරගලය අවසන්ව ඇති බව සහ සාමකාමී විරෝධය දැක්වීම්වලට හැමවිට ම ඉඩ දෙන බව යි. එසේ වුවත්, රටේ අරාජික තත්ත්වයක් ඇති කිරීමට ඇතැම් පිරිස් දක්වන උත්සාහයන් මැඩ පවත්වන බව කී ඒ මහතා රටේ නීතිය සහ සාමය පවත්වාගෙන යාම රජයේ වගකීමක් බව ද කීය..

අධි ආරක්ෂක කලාප ප්‍රකාශයට පත් කිරීම තාවකාලික පියවරක් බවත්, ජනාධිපතිතුමා පෙරළා පැමිණි පසු එය සමාලෝචනය කරනු ඇති බවත් ප්‍රමිත බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසීය.

ජනතාවට ව්‍යවස්ථාවෙන් සලසා දී ඇති නිදහස භාවිතා කිරීම පිළිබඳව ද, නීති ඇති බව කී කමල් ගුණරත්න මහතා කීවේ පන්සලක ශබ්ද විකාශන භාවිතයට ද, පොලිස් අවසරයක් ගත යුතු බව යි. එලෙස ම පෙළපාළියක් සඳහා ද පොලිස් අවසරයක් පැය හයකට පෙර ලබාගත යුතු බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙහි දී කමල් ගුණරත්න මහතා කී කතාවක් නම් අරගලයේ නායකත්වයට සහ විවිධ ක්‍රියා මගින් ප්‍රචාරය ලබා ගැනීමට කණ්ඩායම් අතර තරගයක් නිර්මාණය වී ඇති බව නිරීක්ෂණය වී ඇති බව යි. ඒ මහතා කීවේ ආණ්ඩුවට ලැබී තිබු තොරතුරු සහ එමගින් ආණ්ඩුව කරගෙන තිබු විශ්ලේෂණය යි.

පෙරටුගාමී ජවිපෙ තරගය

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළ මෙම තරගයේ ප්‍රධාන පාර්ශව දෙක නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ යි. පසුගිය අරගලයේ අවසන් සමය වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂය එහි යම් නායකත්ව තත්ත්වයක් ගොඩ නගාගෙන තිබුණේ ඔවුන්ගේ නායකත්වයෙන් පවතින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය යොදා ගනිමිනි.

කෙසේ වෙතත්, අරගලය යලි ඇරඹීමේ උත්සහයක් ලෙස අන්තර විශ්ව විද්යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසුගිය මාසයේ සංවිධානය කොට තිබු කොටුව දක්වා යන පෙළපාළියට පහර දී විසුරුවා හැරීම සහ ඔවුන්ගේ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම නිසා තවත් ප්‍රබල විරෝධයක් කැඳවීමේ ඔවුන්ගේ හැකියාව මේ වනවිට දුර්වල වී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ මේ වතාවේ උත්සහ කළේ එම රික්තය පුරවා තමන්ගේ නායකත්වයෙන් අරගලය යළි ඇරඹීමට ය. පෙරටුගාමීන් “අන්තරය” භාවිත කළා මෙන් ජවිපෙ එයට යොදා ගත්තේ සමාජවාදී තරුණ සංගමය යි.

‘අන්තරය’ වෙනුවට ‘සතස’

ඔවුන්ගේ උත්සාහය වුයේ පුරහල සිට කොටුවට සාර්ථක පෙළපාළියක් ගොස් තමන්ගේ හැකියාව පෙන්වීම යි. හදිසි නීතිය නොතිබූ නිසාත්, ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන නිසාත්, තම පෙළපාළිය විසුරුවා නොහරිනු ඇතැයි යන්න ඔවුන්ගේ තක්සේරුව වී තිබු බව ආරක්ෂක අංශවලට දැනගන්නට ලැබී තිබිණි. එමෙන් ම පොලිසිය සුදානමින් සිටිනු ඇතැයි විශ්වාස කළ මාර් ග මගහැර විකල්ප මාර්ග යොදා ගැනීම ද ඔවුන්ගේ තවත් උපක්‍රමයක් වී තිබිණි.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රකාෂයෙන් පැහැදිලි වුයේ ආණ්ඩුව මේ සියලු තොරතුරු සහිතව සැලසුම් සහගතව තත්ත්වයට මුහුණ දුන් බව යි. පෙරටුගාමීන්ට අසාධාරණයක් නොවන ලෙස ජවිපෙට ද, ආණ්ඩුව සලකා ඇත්තේ එක සමාන ආකාරයෙනි.

කෙසේ වෙතත්, ජවිපෙ ද තම සැලසුම් අත්හැර දමා නැත. පොලිස් පහරදීමෙන් පසු ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ මීළඟ අරගලය ආරම්භ වන්නේ තමන්ගේ නායකත්වයෙන් බව යි.

අරගලයේ නායකයින් ලෙස විවිධ කණ්ඩායම් පෙනී සිටීම ගැන එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශයක් කළේ කිරුලපොන එජාප බල මණ්ඩල රැස්වීමට පසුගිය ඉරිදා සහභාගී වෙමිනි. අරගලයේ නායකයින් ලෙස විවිධ කණ්ඩායම් දැන් පෙනී සිටින්නට උත්සහ කළ ද එයට කිසිදු නායකයකු නොසිටි බවත්, එය සිදුවුයේ කාගේත් සාමුහික දායකත්වයෙන් බවත්, වජිර අබේවර්ධන මහතා කී ය. අරගලයට සහයක් ලෙස තමා ද බත් පාර්සල් තිස් දහසකට වඩා ලබාදුන් බවත්, අවසන් දිනයේ පාර්සල් දෙදහසක් යැවීමට සුදානම් කොට දහසක් යවා සිටිය දී ,රනිල් වික්‍රමසිංහ මහතාගේ ගෙට ගිනි තැබූ ආරංචිය ලැබුණු බවත්, එවිට ඉතිරි බත් පාර්සල් දහස අරගලකරුවන්ට නොයවා රනිල්ගේ නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් වෙත යැවූ බවත්, ඒ මහතා කියයි.

වජිර අරගලය ජයගත් හැටි

ගොඨාභය රාජපක්ෂ ජනාධිපති ඉවත්කිරීම සඳහා කළ අරගලයට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා තිරය පිටුපස සිට දායක වී ඇත්තේ ඒ ආකාරයෙනි. ප්‍රතිඵලය නම් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වජිර අබේවර්ධන මහතාට හිමිවීම යි. එම අරගලය අවසන් වුයේ එහෙම ය.

මේ අතර සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන බල මණ්ඩල රැස්වීමට එක වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රටේ ද්වි පාර්ශවික ණය පිළිබඳව හෙළිදරව්වක් කළේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ද්වි පාර්ශවික ණය ප්‍රමාණය ඩොලර් බිලියන 14 කි. එයින් බිලියන 7.3 ක් හෙවත් සියයට 52 ක් ඇත්තේ චීනයට යි. ජපානයට බිලියන 2.7 ක් හෙවත් සියයට 19.5 ක් ඇති අතර ඉන්දියාවට බිලියන 1.7 ක් හෙවත් හෙවත් සියයට 12 ක් ඇත. මෙතෙක් කිසිවකු නිශ්චිතව දැන නොසිටි මෙම තොරතුරු ආචාරය හර්ෂ ද සිල්වා මහතා ලබාගෙන ඇත්තේ මහ බැංකුව පසුගිය 23 දා මෙරට විදේශීය ණය හිමියන්ට ලබාදුන් දත්ත වලිනි.

26 දා, සඳුදා උදේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානය බලා පිටත්ව ගියේය. එම ගමනේ ආසන්න හේතුව ජපානයේ හිටපු අගමැති ශින්සෝ අබේ මහතාගේ රාජ්‍ය අවමගුල් උත්සවයට සහභාගී වීම වුව ද, එම ගමන අතරතුර වැදගත් හමුවීම් ගණනාවක් සඳහා අවස්ථාව උදාවීම මෙරට ආර්ථික අර්බුදයට මුහුණ දීම සහ ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් වැදගත් වීම නිසා එය වඩාත් අවධානයට ලක්වීය.

සිය සංචාරය ආරම්භයේ දී ම ස්ට්‍රෙට් නිව්ස් ග්ලෝබල් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ජනාධිපති වික්‍රමසිංහ මහතා කීවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජපන් රජයේ සහය ලබා ගැනීම තම අරමුණ බව යි. චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා පහළ මට්ටමින් දැනටමත් ආරම්භ කොට ඇති බවත්, ඉහළ මට්ටමේ සාකච්ඡා ඉක්මනින් ආරම්භ කළ හැකිවනු ඇති බවත්, ජනාධිපතිතුමා ප්‍රකාශ කොට තිබිණි.

ගියේ ජපානයට වුව ද, එහි දී ජනාධිපතිතුමා හමු වූ ප්‍රථම රාජ්‍ය නායකයා වුයේ සිංගප්පුරු අගමැති ලී හසින් ලුන්ග් මහතා ය. ශ්‍රී ලංකාවට ආයෝජන ලබා දීමට සිංගප්පුරු අගමැතිවරයා එහි දී කැමැත්ත ප්‍රකාශ කළ අතර දෙරට අතර වෙළෙඳ ගිවිසුම ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවය එකඟ වීය.

ශ්‍රී ලංකා ජනාධිපති සහ ජපාන විදේශ ඇමැති යොෂිමසා හයාෂි මහතා අතර සාකච්ඡා පවත්වන ලද්දේ 27 දා උදේ වරුවේ ය. එහි දී ජපන් විදේශ ඇමැතිවරයා කීවේ මෙරට ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ප්‍රධාන කාර් යයක් ඉටු කිරීමට ජපන් රජය සුදානම් බව යි.

හිටපු අගමැති ශින්සෝ අබේගේ රාජ්‍ය අවමගුල් උළෙලට සහභාගී වූ ජනාධිපතිතුමා ජපන් අගමැති ෆුමියෝ කිෂිඩා හමුවී සාකච්ඡා කළේ 28 දා උදේ කාලයේ ය. ඉන්පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ නරුහිතෝ අධිරාජයා  බැහැ දැක සාකච්ඡාවක නිරත වීය.

ජපානයේ දී හමු වූ මෝදි

ජපානයේ දී ඉන්දීය අගමැති මෝදී මහතා හමු වී සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ලැබිණි. එහි දී ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදයේ දී ඉන්දියාවෙන් ලැබුණු ආධාර පිළිබඳව යලිත් ස්තුති  කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළ අතර දිගට ම සහය දෙන බවත්, ඉන්දියාවෙන් ආයෝජන ලබාදීමට වැඩි සැලකිල්ලක් දක්වන බවත්, ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කළේය.

28 දා ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ මැනිලා නුවර බලා පිටත්ව ගියේ ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ සම්මේලනයට සහභාගී වීම සඳහා ය. එම සමුළුවේ මුලසුන මෙවර හිමිව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට ය. එහි දී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසත්සුගු අසකාවා මහතා සමග නිල සාකච්ඡා කිරීමට නියමිතව තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර් මාකෝස් ( කනිෂ්ඨ ) අතර නිල සාකච්ඡා 29 දා බ්‍රස්පතින්දා පෙරවරුවේ පවත්වනු ලැබීය. දෙරට අතර ආර්ථික සහයෝගිතාව වර්ධනයට එහි දී ප්‍රමුඛ අවධානය යොමුව තිබිණි..

මේ අතර මැනිලා නුවර ඒ වනවිටත් ආරම්භ වී තිබු ආසියානු සංවර්ධන බැංකුවේ සමුළුව අමතා එහි සභාපති මසන්ගුසු අසකවා මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට දැනටමත් ආධාර කොට ඇති බව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහන අනුමත වීමෙන් පසුව තවත් ණය ලබා දීමට කටයුතු කරන බවත්, ය.

පාර්ලිමේන්තුවේ පසුගිය දා සම්මත වූ ජාතික විධායක සභාවට මේ වනවිට විවිධ පක්ෂ නියෝජනය වන සාමාජිකයින් 27 දෙනෙකු නම් කොට ඇති අතර එම සභාවේ පළමු රැස්වීම 29 දා බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබිණි.

ජාතික සභාවට නොඑන පක්ෂ

ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බදාදා පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතා ප්‍රකාශ කළේ එම ජාතික සභාවට තම පක්ෂය සහභාගී නොවන බව යි. අගමැති සහ ඇමැති මණ්ඩලය පත් කිරීමට පෙර පත්කළ යුතුව තිබු ජාතික සභාව දැන් පත්කිරීමෙන් තේරුමක් නැති නිසා එයට සහභාගී නොවන බව ඒ මහතා කී ය.

ජාතික සභාවට සහභාගී නොවන බව ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, සහ ඩලස් අලහප්පෙරුම කණ්ඩායම මීට පෙර ප්‍රකාශ කොට තිබිණි. ඒ අතර එම සභාවට තම නියෝජිතයින් පත්කර තිබු උත්තර ලංකා සභාගය ද එයට සහභාගී නොවන බව බදාදා පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. නිල බලයෙන් එයට පත්ව සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ කලින් යොදාගත් රැස්වීම් කිහිපයක් ඇති නිසා හදිසි දැනුම් දීමකින් ජාතික සභා රැස්වීමට සහභාගී විය නොහැකි බව යි.

කෙසේ වෙතත්, සමගි ජන බලවේගයේ කොටස් කරුවන් වන මනෝ ගනේෂන් සහ රවුෆ් හකීම් මහත්වරුන් මෙන් ම සුළුතර පක්ෂ නියෝජනය කරන ජී ජී පොන්නම්බලම්, කේ වී විග්නේශ්වරන්, ජීවන් තොන්ඩමන් , ඩග්ලස් දේවානන්දා මහත්වරුන් ඇතුළු පුළුල් නියෝජනයක් ජාතික සභාවේ දක්නට ඇත.

මේ අතර ජනාධිපති බලය සීමා කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ලබන සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට ගනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

සී ජේ

දේශපාලන සතිය – ‘අනිද්දා’ – 02.10. 2022

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *