රාජපක්‍ෂ කල්ලිය කරන්නේ එල්ලෙන්න වැල් හොයන එකයි – ජ.වි.පෙ. ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක

අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත පිළිබඳව රට තුළ විවිධ මතවාදයන් ඇතිවෙමින් තිබෙනවා. එක් පැත්තකින් ති‍්‍රවිධ හමුදාව අපහසුතාවයට පත්කරනවා කියනවා. තවත් පැත්තකින් අධිරාජ්‍යවාදී වුවමනාවන් ඉටුකිරීමේ පනතක් කියනවා. සුළු කල්ලියක් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව සමඟ එකඟතාවයෙන් කටයුතු කළා කියලා චෝදනා කරනවා.
අතුරුදහන් කිරීම පිළිබඳ ප‍්‍රශ්නය 1971 දක්වා දිව යනවා. 1971දී රාජ්‍ය මැදිහත්වීම් මත අතුරුදහන් කිරීම් සිදුවුණා. 86-80 කාලයේදී 90 සිට 2009 යුද්ධය පැවති කාලය තුළදීත්  2009 සිට 2015 දක්වා දේශපාලන අතුරුදහන් කිරීම් වශයෙන් ප‍්‍රධාන අවස්ථා ගණනාවකදීත් අතුරුදහන් කිරීම් පිළිබඳව වාර්තා වුණා. මෙම අවස්ථාවලින් 1971දීත් 87-89 කාලය තුළදීත් මුළුමනින්ම ජනතා විමුක්ති පෙරමුණ එම අතුරුදහන් කිරීම්වලට ලක්වුණා. අනෙක් අවස්ථාවලදී අනෙක් පාර්ශ්ව වගේම ජනතා විමුක්ති පෙරමුණත් ගොදුරු වෙලා තිබෙනවා. 2009-2015 කාලය තුළදී සිදුවූ දේශපාලන අතුරුදහන් කිරීම් විශේෂ අවස්ථාවක්.
1971 සිට අතුරුදහන් කිරීම් පිළිබඳව අවම වශයෙන් හෝ යුක්තිය ඉටුකිරීමේ කි‍්‍රයාවලියක් තිබුණේ නැහැ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ පැවති එජාප සහ ශී‍්‍රලනිප ආණ්ඩුවලින් අතුරුදහන් වූවන් පිළිබඳව යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා මැදිහත් වුණා. එම ආණ්ඩුවලින් ස්ථාපිත කළ රාජ්‍ය ආයතනවලට සාක්‍ෂි ඉදිරිපත් කළා. 1978 බලයට පත් ආණ්ඩුව ස්ථාපිත කළ කොමිසමට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් 71 සිදුවීම් පිළිබඳව සාක්‍ෂි ලබාදුන්නා. එවකට ශී‍්‍රලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුව විසින් සිදුකරන ලද සිදුවීම් පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂය තමයි කොමිසමක් ඉදිරිපත් කළේ. 86 සිට 90 දක්වා සිදුවූ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් පත්කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කොමිසමට අපේ පක්‍ෂයේ ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සාක්‍ෂි ලබාදුන්නා. ඒ එම කොමිසමේ අඩුපාඩු පිළිබඳව විවේචනයක්ද සහිතවයි. ඒ වගේම එවකට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකයා වූ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා අතුරුදහන් වූ ශිෂ්‍යයන් පිළිබඳව චන්ද්‍රිකා මැතිණියගේ කොමිසමට සාක්‍ෂි ලබා දුන්නා. ඒ, එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව කාලයේ සිදුවූ සිදුවීම් සම්බන්ධව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පාලනයක් යටතේ ස්ථාපිත කළ කොමිසමක් ලෙසයි.
රාජපක්‍ෂ පාලනයේ දෙවැනි යුගයේදී 2012දී මෙම කරුණ සම්බන්ධයෙන් පනතක් ඉදිරිපත් කරන වෙලාවේදී අපි කොන්දේසි සහිතව පනතට සහාය දෙනවා කියලා කිව්වා. ඒ කොන්දේසිය වුණේ 2011දී අතුරුදහන් කළ ලලිත් සහ කුගන් සහෝදරවරුන් පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් සිදුකළ යුතුයි කියන කොන්දේසිය අනුවයි. අපේ රටේ අතුරුදහන් වූවන්ගෙන් වැඩි ප‍්‍රමාණයක් නියෝජනය කළේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්. චන්ද්‍රිකා බණ්ාඩරනායක මැතිණියගේ කොමිසමට පමණක් පැමිණිලි 33,000ක් පමණ ලැබී තිබුණා. එම අතුරුදහන් වීම් යුද්ධය කාලයේදී නම් එල්.ටී.ටී.ඊ. සංවිධායෙන්, ති‍්‍රවිධ හමුදාවෙන් හෝ වෙනත් සංවිධානවල මැදිහත්වීමෙන් වෙන්න පුළුවන්කම තිබුණා. ඒ බව මහින්ද රාජපක්‍ෂ විසින් යුද්ධයෙන් පසු පත්කළ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ වාර්තා අනුව සහ නිර්දේශ අනුව පැහැදිලි වී තිබෙනවා. 2009 යුද්ධය අවසන් වීමෙන් පසුව මෙම අතුරුදහන්වීම් පිළිබඳව දැඩි සංවාදයක් මතුවුණා. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අප රට බෙදීමට විරුද්ධයි. එවැනි තත්වයක් ඇතිවුවහොත් අපේ රටේ සදාකාලික යුද්ධයක් ඇතිවෙනවා. එවැනි යුද්ධයක් අපේ රටේ දුෂ්ට පාලකයින්ට වාසි ගෙනදෙන නිසාම ජාතික අසමගිය වැඩිකරන, රට බෙදීමේ කි‍්‍රයාවලියට අපි එකහෙළාම විරුද්ධයි. රට බෙදීමට විරුද්ධ වෙනවා වගේම එය දඩමීමා කරගෙන රටේ ජනතාවගේ අයිතීන් කප්පාදු කරනවාටත් යුද්ධ කරනවා කියා භාණ්ඩාගාරය හිස් කරනවාටත් අපි විරුද්ධයි. රාජපක්‍ෂ තියරිය වුණේ යුද්ධ කරනවා කියලා භාණ්ඩාගාරය හිස් කරපු එකයි. ඒ වෙලාවෙත් අපි කිව්වේ ත‍්‍රස්තවාදීන්ගෙන් රට මුදවා ගන්නවා වගේම අපේ රට හොරුන්ගෙනුත් මුදවා ගන්න  ඕනෑ කියලා.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් යුද්ධය අවසන් වී සතියක් ඇතුළත  හදිසි අභියෝග ජයගැනීම සඳහා වන ප‍්‍රායෝගික ප‍්‍රවේශයක් ලෙස එවකට රාජපක්‍ෂ ආණඩුවට යෝජනා 14ක් ඉදිරිපත් කළා. එම යෝජනාවල පැහැදිලිව සඳහන් වෙනවා විවිධ ජනකොටස්වලට සිදුව ඇති අසාධාරණයන් පිළිබඳව සොයා බැලීමත් විවිධ ජනකොටස් අතර පවතින හිත් බිඳීම්, විරසකයන් තුරන් කිරීමත් අරමුණු කරගත් සත්‍ය හා ජාතික ප‍්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවිය යුතුයි කියලා. යුද්ධයෙන් පසු තමන්ට වූ අසාධාරණයන් ඉදිරිපත් කරන්න සියලූම ජනතාවට පොදු තැනක් අවශ්‍යයි කියන පදනමින් අපි මේ යෝජනාව ඉදිරිපත් කළා. අතුරුදන් වූවන්ට හෝ පීඩාවට පත්වූවන් සම්බන්ධයෙන් තමන්ගේ ඥාතීන්ට කරුණු ඉදිරිපත් කරන්න තැනක් ලෙසටත් අනාගතයේ එවැනි සිදුවීම් වැළැක්වීමට යෝජනා ඉදිරිපත් කිරීමේ ස්ථානයක් ලෙසටත් මෙම සත්‍ය හා ප‍්‍රතිසන්ධාන කොමිසම යොදාගන්න පුළුවන්කම තිබුණා. ඉන් මාස එක හමාරකට පමණ පසුවත් දෙමළ ජනයා මුහුණ දී ඇති දුෂ්කරතාවයන් හා ගැටලූ අවම කිරීම සඳහා ප‍්‍රායෝගික මැදිහත්වීමක් ලෙස කරුණු ගණනාවකින් යුත් යෝජනාවලියක් අපි ආණ්ඩුවට ඉදිරිපත් කළා. ජාතික ආරක්‍ෂාව ගැන හිතන ගමන් අතුරුදන් වූවන් පිළිබඳව පීඩාවට පත්වූවන් පිිළිබඳව මැදිහත්විය යුතු කරුණු අපි ඉදිරිපත් කළා.
ඒ වගේම පහුගිය මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ ජාතික වැඩපිළිවෙළේද මේ පිළිබඳව අවධානය යොමුකළා. එහි 08වැනි පිටුවේ ”උතුරේ පැවති 30 අවුරුදු යුද්ධයෙන් විවිධාකාරයෙන් පීඩාවට පත්වූ හා හානි සිදුවූ සැමට තම දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමටත් ඒවා පිළිබඳව සත්‍ය සොයා බලා පීඩාවට පත්වූවන්ට සහන ලබාදීමටත් ජාතික සමගිය ප‍්‍රවර්ධනය කිරීමේ සහ ප‍්‍රතිසන්ධානගත කිරීමේ පනතක් මගින් සත්‍ය විමර්ශන කොමිසමක් පත්කෙරේ” ලෙස යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඡුන්දයෙන් පසුවත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ගැන කථා කරන ප‍්‍රතිපත්තිගරුක පක්‍ෂයක් තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි.
අපේ රටට අතුරුදහන් වූවන් පිළිබඳව යුද්ධය පැවති කාලසීමාව තුළ පීඩාවට පත්වූ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ දුක් ගැනවිලි පිළිබඳව සොයා බලන කොමිසමක අවශ්‍යතාවයක් දිගින් දිගටම මතුවෙලා තිබුණා. වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන්නේත් අතුරුදන් වූවන් පිළිබඳ තොරුතුරු සෙවීමේ කාර්යාලයක් පමණයි. සත්‍ය සෙවීමේ කොමිසමක් නැහැ. ආණ්ඩුව විසින් එය ස්ථාපිත කළ යුතුයි. විවිධ ජන කණ්ඩායම්වලින් අනෙකුත් ජන කණ්ඩායම් සඳහා සිදුවන පීඩාවන් සම්බන්ධයෙන් මැදිහත් වීමට එවැනි කොමිසමක් අවශ්‍යයි. නැවත නැවතත් එවැනි දේවල් ඇති නොවෙන්න කි‍්‍රයාමාර්ග ගත යුතුයි. එවැනි අර්ථයකින් හිතලා මේ ආණ්ඩු මැදිහත් ෙ වන්නේ නැහැ. අතුරුදහන් වූවන් පිළිබඳ පනත එක් කොටසක් පමණයි.
අතරුදහන් වූවන් පිළිබඳව කාර්යාලයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරයයි. අතුරුදහන් වූවන්ගේ මවට, පියාට තමන්ගේ දරුවන් ගැන පැමිණිලි කරන්න පිළිගත් තැනක් තියෙන්න  ඕන. 88-89දී එවැනි සිදුවීම් පිළිබඳව ග‍්‍රාමසේවකට, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට, හමුදාවට, පොලීසියට, රතු කුරුසයට, ආණ්ඩුවෙන්ම ස්ථාපිත කොමිසම්වලට පැමිණිලිි කළත් සාධාරණය ඉටුවුණේ නැහැ. එම නිසා එවැනි වගකිව යුතු කාර්යාලයක අවශ්‍යතාවයක් තිබුණා. මේ සම්බන්ධ පනත පසුගිය මැයි 27වැනිදා ඉදිරිපත් වුණා. අපි මේ සම්බන්ධයෙන් පක්‍ෂ මධ්‍යම කාරක සභාව තුළ සාකච්ඡුා කළා. නීතිඥවරුන් හරහා නීතිමය තත්වය සොයා බැලූවා. මේ පනතේ කි‍්‍රයාවලියට සෘජුව අදාල නොවන දේශීය හා විදේශීය වශයෙන් පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යොදාගත හැකිවන වගන්ති ඉවත් කිරීම සඳහා අපි මැදිහත් වුණා. මෙම පනතේ 08 පිටුවේ 11 වැනි වගන්තියෙන් සඳහන් වූ අතුරුදන් වූවන්ගේ තොරතුරු සෙවීමේ කාර්යාලයට දේශීය, විදේශීය සංවිධාන සමඟ ගිිවිසුම්වලට එළඹීමට තිබුණු  ප‍්‍රතිපාදනයට ඉඩ දියයුතු නැහැ කියලා අපි යෝජනා කළා. එමගින් විවිධ හේතු දඩමීමා කරගෙන දේශීය, විදේශීය කණ්ඩායම්වලට මැදිහත් වීමට ඉඩදිය යුතු නැහැ. මොකද, ලෝකයේ බොහෝ තැන්වල මෙවැනි කාර්යාලවල නිලධාරීන් මුදලට යටත්කරගත් අවස්ථා තිබෙනවා. ගෝතමාලාවේ, චිලියේ එවැනි උදාහරණ තිබෙනවා.
11 පිටුවේ 12වන වගන්තිය අනුව එම කාර්යාලයේ නිලධාරීන්ට වරෙන්තුවකින් තොරව රාජය ආයතනවලට ගොස් පරීක්‍ෂා කිරීමට අයිතියක් තිබෙනවා. එම අයිතිය ලබාදිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් එහිදී පැන නගින ගැටලූ දෙකක් සම්බන්ධයෙන් අපි අවධානය යොමුකළා. රාජ්‍ය ආයතන අපහසුතාවයට ලක්කිරීමේ අරමුණින් පරීක්‍ෂා කිරීම වැළෑක්වීම සඳහා එවැනි පරීක්‍ෂාවකදී පැය 24ක් ඇතුළත පොලිස්පතිට සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි කියලා අපි සංශෝධනයක් ඇතුල් කළා. 21වන වගන්තිය අනුව අතුරුදන් වූවන්ගේ තොරතුරු සෙවීමේ කාර්යාලයට දේශීය, විදේශීය වශයෙන් අරමුදල් රැුස් කිරීමට ව්‍යාපෘති සිදුකළ හැකිය යන කරුණ ඉවත් කරන ලෙස අපි යෝජනා කළා. මොකද, එම ආයතනය රාජ්‍ය ආයතනයක් නිසා අරමුදල් ලබාදීම ආණ්ඩුවේ ක‍්‍රමවේදයක් යටතේ සිදුකළ යුතු නිසා.
මෙම පනත සම්මත වීමෙන් පසුව එමගින් ති‍්‍රවිධ හමුදාව දඩයම් කරන බවට ඒකාබද්ධ විපක්‍ෂය චෝදනා කරනවා. විවාදයකින් තොරව මෙම පනත සම්මත වුණේ රාජපක්‍ෂ කල්ලියේ අනවශ්‍ය කි‍්‍රයාකාරිත්වය නිසයි. මේ පනත පිළිබඳව ආංශික අධීක්‍ෂණ කමිටුවට ඒකාබද්ධ විපක්‍ෂය යැයි කියන කණ්ඩායමේ වාසුදේව මන්තී‍්‍රවරයා සහභාගි වුණා. ඒ වෙලාවේදී කරුණු ඉදිරිපත් කරන්න තිබුණා. ඔවුන් ඉදිරිපත් කළ සංශෝධන දෙක ආංශික අධීක්‍ෂණ කාරක සභාව බාරගත්තා. ඒවගේම ඒ පනතේ බරපතළ කරුණු තිබෙනවා නම් රාජපක්‍ෂ කල්ලියට අධීකරණයට යන්න ඉඩ තිබුණා. එසේ නොකර අද විවිධ කථා කියමින් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරපු සංශෝධනවලටත් වඩා අඩු සංශෝධන ප‍්‍රමාණයක් තමයි රාජපක්‍ෂ කල්ලිය ඉදිරිපත් කළේ. අද මේ යුද හමුදාවට තර්ජනයක් කියලා බෙරිහන් දෙන රාජපක්‍ෂ කල්ලිය කථික ලැයිස්තුවෙත් ඉන්නවා. කථික ලැයිස්තුවට නම් ඇතුළත් කරන්නේ විවාදයට එකඟ වූ පසුවයි. ඒ කථික ලැයිස්තුවේ දිනේෂ් ගුණවර්ධන, වාසුදේව, වීරවංශ, විමලවීර දිසානායක, උදය ගම්මන්පිල ඇතුළු මන්තී‍්‍රවරු ඉන්නවා. එනිසා මේ රාජපක්‍ෂ කල්ලිය කරන්නේ එල්ලෙන්න වැල් නැතිව තැනක් හොයන එකයි.
ජනතා විමුක්ති පෙරමුණ මේ පනතට එකඟ වුණාට පස්සේ අපිට චෝදනා කරනවා එජාපයත් එක්ක ඞීල් එකක් තියෙනවා කියලා. මේ පනත ගේන්න ආණ්ඩුවට හදිසියක් තිබුණා. වැට් පනත ගෙනාවේ නැති නිසා එදිනට මේ පනත ගේන්න ආණ්ඩුවට වුවමනාවක් තිබුණා. මේ සම්බන්ධයෙන් පැවැත්වුණු පක්‍ෂ නායක රැුස්වීමට අපි ගියා. ඒකාබද්ධ විපක්‍ෂයේ අය එවැනි පක්‍ෂ රැුස්වීම්වලට එන්නේ නැතිව බොරුවට කෑගහනවා. පක්‍ෂ නායක රැුස්වීමේදී අපි නියමිත දිනට කලින් පනත ගේනවට විරුද්ධ වුණා. ඒවගේම එක දවසක විවාදයක් වෙනුවට දවස් දෙකක් විවාද කළ යුතුයි කියලා අපි යෝජනා කළා. එසේ තිිබියදී ආණ්ඩුව බල කළා, 11වැනිදා පනත ගේන්න අවශ්‍යයි කියලා. එම නිසාම 12වැනිදා තිබුණු අපේ කල් තැබීමේ විවාදයත් ඉල්ලා අස්කරගෙන දින දෙකක් විවාද කළ යුතුයි කියන පදනමෙන් පනත ගේන්න අපි එකඟ වුණා. අපි විරුද්ධ විය හැකි සීමාවේ විරුද්ධ වුණා. නමුත් ආණ්ඩුවේ මැදිහත්වීම නිසාම පනත ගෙනාවා. අවසානයේ දී රාජපක්‍ෂ කල්ලියේ කඩාකප්පල්කාරී කි‍්‍රයාව නිසා පනත විවාද කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අපේ සංශෝධන ඉදිරිපත් කළේ ඉතාම අසීරුවෙන්. ඇත්තටම ඞීල්එක තිබුණේ රනිල් වික‍්‍රමසිංහ, රාජපක්‍ෂ කල්ලියත් අතරයි. පනත සංශෝධනය වීමෙන් පසුව මරාගෙන මැරනේන හදපු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරු පාර්ලිමේන්තු ලොබියේදීම ආණ්ඩුවේ නායකයින් එක්ක කරට අත දාගෙන හැසිරුණු විදියෙන් ඒක ඔප්පු වුණා.
රාජපක්‍ෂ කල්ලියේ හෝ ආණ්ඩුවේ අයගේ වුවමනාවන්වලට අපි වැඩ කරන්නේ නැහැ. එජාපයේත් විවේචනයට ලක්වෙලා හිටපු රවී කරුණානායකට ඡුන්ද එකතු කර ගැනීමට ඒකාබද්ධ විපක්‍ෂය ගෙනාපු විශ්වාසභංගයට ඒකාබද්ධ විපක්‍ෂය සමඟ සහාය පළ කරමින් ඡුන්දය ලබාදුන්නා. එතකොට අපි රාජපක්‍ෂ කල්ලිය එක්ක ඞීල් එකක් තිබුණද? 71 මිනී වළවල් කපපු අයට විරුද්ධව එජාපයේ කොමිෂන්වලට අපි සාක්‍ෂි දුන්නා. එජාප පාලන කාලයේදී කපපු මිනී වළවල්වලට එරෙහිව ශී‍්‍රලනිපය පත්කළ කොමිසම්වලටත් අපි සාක්‍ෂි දුන්නා. එනිසා අපිට ඞීල්එක තියෙන්නේ ජනතාව සමඟයි. රාජපක්‍ෂ පාලන කාලයේදී සිදුකළ එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳව අඩුම තරමේ තුන්වැනි පාර්ශ්වයේවත් විධිමත් පරීක්‍ෂණයක් සිදුවුණේ නැහැ. ඒ වගේම මෙම පාලනය තුළදී අතුරුදන් වීම් සිදුවිය නොහැකියි කියලා අපිට කියන්න පුළුවන්කමක් නැහැ. එනිසා  අනාගතයේ සිදුවන අතුරුදන් කිරීම්ද වළක්වාගත යුතුව තිබෙනවා. රාජපක්‍ෂ කල්ලියටත් එක්සත් ජාතික පක්‍ෂයටත් මෛතී‍්‍ර පාලනයටත් එරෙහිව අපි විසින් එල්ල කරන ප‍්‍රහාරය මඟින් රටේ ස්වෛරීභාවය අනතුරට ලක් නොකිරීමට අපි වගබලා ගන්නවා.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *