පුලුවන් නම් අයින් කරන්න : ජී එල් ; තර්ජනයක් නැති නිසා හදිසියක් නැහැ : සාගර
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 17 දා සෙනසුරාදා බ්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර බලා ගියේ කලක් මෙරට ද රාජ්‍ය නායිකාව ලෙස සිටි දෙවන එලිසබත් මහ රැජිනගේ අවමගුල් කටයුතුවලට සහභාගී වීම සඳහා ය. ලෝකයේ බොහෝ රාජ්‍ය නායකයින් එයට සහභාගී වුව ද ශ්‍රී ලංකා ජනාධිපතිගේ සංචාරය ගැන විපක්ෂයෙන් එල්ල වුයේ දැඩි විවේචනයකි. සමගි ජන බලවේගයේ මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කීවේ රනිල් යන්නේ වහල් භාවය පෙන්නුම් කිරීමට බව යි. රනිල් ආවත්, නැතත් එංගලන්තයේ කිසිවකුට ගානක් නැති බව ප්‍රේමචන්ද්‍ර මහත්මිය කීවේ විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක දී ය.
ලන්ඩන් බලා පිටත්ව යාමට පෙර ජනාධිපති එඅනිල් වික්‍රමසිංහ මහතා අලුතින් පත්වූ ඇමතිවරුන් කැඳවා ඉදිරි වැඩ කරගෙන යන ආකාරය මෙන් ම ඒවාට ප්‍රචාරය ලබා ගන්නා ආකාරය ගැන ද උපදෙස් ලබා දුන්නේ ය.
එහි දී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ වැඩ කිරීම මෙන් ම ප්‍රචාරය ද අවශ්‍ය බවත්, එසේ වුව ද , එල්ල වන විවේචන සියල්ලට උත්තර දෙන්නට නොයන ලෙසත් ය. තමාට එල්ල වූ සියලු විවේචනවලට උත්තර දෙන්න ගියා නම් මේ කිසිවක් කරන්න නොහැකි වන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අලුතින් පත් වූ ඇමතිවරුන්ට උපදෙස් දෙමින් පැවසීය..
බය වුණා නම් මේ ගමන එන්න බෑ – රනිල්
හරි දේ කරන්න කිසිවිට බිය නොවන ලෙසත්, තමන්ගේ නිවෙසට ගිනි තැබූ මොහාතේ බිය වුවා නම් මේ ගමන එන්න නොලැබෙන බවත්, ජනාධිපතිතුමා වැඩි දුරටත් පවසා තිබේ. තමා විවේචන නොතකා වැඩ කරගෙන ගිය බව කී ජනාධිපතිතුමා තමන්ගේ වැඩ කටයුතු සාර්ථක වී ඇති අතර විවේචන කළ අය තවමත් විවේචන කරමින් සිටින බව ද කීවේය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදළ සමග සාකච්ඡා සාර්ථක බවත්, රජය කඩා වැටෙන තෙක් ඇතැමුන් බලා සිටියද එසේ නොවන බවත් කී ජනාධිපතිතුමා ආණ්ඩුව හොඳින් කරගෙන යමු යයි ද කී ය.
බැසිල් රාජපක්ෂ මහතා පසුගිය 9 දා නිව් යෝර්ක් බලා ගියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු කරගෙන යාම නාමල් රාජපක්ෂ මහතාට පවරමිනි. පක්ෂයේ දිස්ත්‍රික් සංවිධාන සමග සාකච්ඡා අවසන් කොට ඇති බැවින් ආසන මට්ටමේ සාකච්ඡා ආරම්භ කරන ලෙසත්, ආසනයෙන් ආසනයට ගොස් සාකච්ඡා කරන ලෙසත්, උපදෙස් දුන් බැසිල් රාජපක්ෂ මහතා එම සියලු කටයුතු ගැන වාර්තාවක් නීතිපතා තමන්ට ලබාදෙන ලෙස සංජීව එදිරිමාන්න මහතාට පැවරීය.
ආසන සංවිධාන කැඳවා සාකච්ඡා කිරීම නාමල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ආරම්භ කරන ලද්දේ ගම්පහ දිස්ත්‍රික්කයේ එක් එක් ආසනය වෙන වෙනම කැඳවමිනි. ආරම්භක රැස්වීම පසුගිය සතියේ පවත්වන ලද්දේ කැලණිය ආසනයේ ය. ආසන සංවිධායක රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ නිවසේ දී එම රැස්වීම පවත්වනු ලැබී ය.
ජී එල් ට කරන දේ ගැන පොහොට්ටුවේ ප්‍රශ්න
සති අන්තයේ දී වත්තල, බියගම, දොම්පේ සහ අත්තනගල්ල ආදී වෙනත් ආසනවල ද සංවිධාන කැඳවා සාකච්ඡා කරනු ලැබී ය. මෙම සාකච්ඡාවලට පැමිණි බොහෝ දෙනා පැමිණිලි කළේ තමන් කුමන තත්ත්වයක් යටතේවත් පක්ෂය හැර නොගිය නමුත්, පක්ෂයෙන් තමන්ට නිසි සැලකිල්ලක් නොලැබුණු බව යි.
මෙම රැස්වීම් බොහොමයක දී මතු වූ ප්‍රශ්නයක් වුයේ පක්ෂයෙන් ඉවත් වූ පිරිස් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ය. පක්ෂයේ තීරණයට එරෙහිව කටයුතු කොට දැන් පක්ෂයට විරුද්ධව කටයුතු කරමින් සිටින පක්ෂ සභාපති මහචාර්ය ජී එල් පීරිස් මහතා තනතුරින් ඉවත් නොකරන්නේ මන්ද යන්න ආසන සංවිධාන රැස්වීම් ගණනාවක මතු වූ ප්රශ්නයකි. බොහෝ අවස්ථාවල එයට පිළිතුරු දුන් සංජීව එදිරිමාන්න මහතා කීවේ මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඉවත්වනවා නම් එයට ඉඩ දෙන ලෙසත්, ඔහුව ඉවත් නොකරන ලෙසත්, පක්ෂයේ නායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව යි. “මහින්ගේ හැටි එහෙම තමා” කියා ද සංජීව එදිරිමාන්න මහතා කීවේය.
මහාචාර්ය ජී එල් පීරිස් මහතා තනතුරෙන් ඉවත් නොකිරීම නෙලුම් මාවතේ පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ ද කතා බහට ලක් වූ මෙන් ම මාධ්‍යය මගින් ද ප්‍රශ්න කළ කාරණයකි. මාධ්‍යය කළ විමසුමකට පිළිතුරු දුන් පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා කීවේ ජී එල් තර්ජනයක් නොවන නිසා ඉවත් කිරීමට හදිසියක් නැති බව යි. පක්ෂයේ විධායක සභාව කැඳවා එම තීරණ පසුව ගන්නා බව ද, ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ අතර පොදුජන පෙරමුණ තුළ තවත් ප්‍රශ්නයක් ලෙස මතුව තිබෙන්නේ මහාචාර්ය ජී එල් පීරිස් මහතා සභාපති තනතුරින් ඉවත් කරන්නේ නම් එම තනතුර සඳහා පත්කරන තැනැත්තා සම්බන්ධයෙනි. එක් පිරිසක් යෝජනා කොට ඇත්තේ එම තනතුර මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතාට ලබා දිය යුතු බව යි. එසේ වුව ද, බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ, සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති අයෙකු පිටතින් සම්බන්ධ කරගෙන සභාපති ලෙස පත්කළ යුතු බව යි. ඒ සඳහා සුදුස්සෙකු සොයන ලෙස ද බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ..
ජී එල් ගෙන් පොහොට්ටුවට අභියෝගයක්
කෙසේ වෙතත්, මහාචාර්ය ජී එල් පීරිස් මහතා පසුගිය බදාදා පාර්ලිමේන්තුව අසල ක්‍රීඩාංගනයේ පැවති මාධ්‍ය හමුවක දී අභියෝග කළේ හැකි නම් පොදුජන පෙරමුණේ සභාපති තනතුරින් තමාව ඉවත් කරන ලෙසයි. එය නීත්‍යනුකුලව කළ නොහැකි බව කී ඒ මහතා තමාව ඉවත් නොකරන්නේ එය කළ නොහැකි බව ඔවුන් ද දන්නා නිසා බව ද පැවසීය.
නිදහස ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් බදාදා උදේ පාර්ලිමේන්තුව අසල මෙම මාධ්‍ය හමුව පවත්වන ලද්දේ තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ දී කතා කිරීමට අවස්ථාව ලබා නොදීමට විරෝධය පළ කිරීම සඳහා ය. එම අවස්ථාවේ මාධ්‍යය ඇමතු ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායම් එක් පෙරමුණකට එකතු කිරීමට නායකත්වය දීමට තම කණ්ඩායම සුදානම් බව යි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද මේ වන විට මුහුණ දී සිටින්නේ පක්ෂයේ විනය කැඩූ ඉහළ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම පිලිබඳ ගැටලුවකට ය. පක්ෂයේ ජෙෂ්ඨ උප සභාපතිවරුන් දෙදෙනෙකු වන නිමල සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර , භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න ඇතුළු මන්ත්‍රීවරුන් අට දෙනෙකු ඇමති ධුර සහ රාජය ඇමැතිධුර ලබාගෙන ඇති අතර මන්ත්‍රී කණ්ඩායමේ බහුතරය ඔවුන් බවට පත්ව තිබේ. මෙයින් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර මහත්වරුන් ඇමතිවරුන් ලෙස දිවුරුම් දුන්නේ පසුගිය ජුලි මාසයේ වුව ද, ඔවුන්ට එරෙහිව මෙතෙක් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබිණි.
කෙසේ වෙතත්, පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු තමාට හිතවත් කණ්ඩායම සමග පසුගිය සති අන්තයේ කළ සාකච්ඡාවක දී තීරණය කළේ මෙම පිරිස ඉවත් කිරීම පියවර තුනකින් සිදු කිරීමට ය. පළමුවෙන් පක්ෂයේ ඔවුන් දැරූ තනතුරුවලින් ඉවත් කිරීම, චෝදනා ඉදිරිපත් කොට විනය පරීක්ෂණ පැවැත්වීම සහ අවසානයේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම වශයෙනි.
මෛත්‍රී කඩුව අතට ගනී
මෙහි මුල් පියවර පසුගිය බදාදා නිවේදනය කරන ලදී. ඒ අනුව ඇමති ධුර සහ රාජ්‍ය ඇමැති ධුර ලබාගත් අට දෙනා පක්ෂයේ ඔවුන් දැරූ සියලු තනතුරු වලින් ඉවත් කරනු ලැබීය. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, රන්ජිත් සියඹලාපිටිය, චාමර සම්පත් දසනායක, ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර සහ සුරේන් රාඝවන් යන අට දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් නෙරපූ බව පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනය කළේය. ඒ අනුව ඔවුන් පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වයෙන් ද ඉවත් කොට තිබේ.
මේ අනුව පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ මෛත්‍රී සමග ඉතිරි වී ඇත්තේ දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ශාන් විජයලාල් ද සිල්වා, අන්ගජන් රාමනාදන් සහ දුෂ්මන්ත මිත්‍රපාල යන මන්ත්‍රීවරුන් පමණකි. ඒ අතරින් දුමින්ද දිසානායක මහතා ද ඉදිරි කැබිනට් සංශෝධනයේ දී ඇමැති තනතුරක දිව්රුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සති අන්තයේ අනුරාධපුරයේ සංචාරය කළේ ආගමික ස්ථාන වැඳ පුදාගෙන නායක හිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමට ය. පොදුජන පෙරමුණේ රාජ්‍ය ඇමැති ෂෙහාන සේමසිංහ මහතා මෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානාය මන්ත්‍රීවරයා ද ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නායකයින් පිරිසක් එහි දී අගමැතිතුමා සමග එක්ව සිටියහ.
මෙම සංචාරයේ දී අගමැතිතුමාට තරමක් විවේචනාත්මක ප්‍රතිචාරයකට මුහුණ දෙන්නට සිදුවුයේ මිහින්තලේ රජමහා විහාරයට ගිය අවස්ථාවේ දී ය. මහජනයා දැඩි පීඩාවට පත්ව සිටින බවත්, රජය කෙරෙහි ඔවුන්ගේ කිසිදු විශ්වාසයක් නැති බවත්, කී මිහින්තලේ රජමහා විහාරාධිපති පුජ්‍ය වලවාහැඟුණු වැවේ ධම්මරතන හිමියන් වැඩි දුරටත් කීවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා මාස හයක් තුළ මැතිවරණයකට නොගියහොත් නැවතත් අරගලයක් ඇතිවිය හැකි බව යි.
‘උත්තර ලංකා’ පිළිතුරු දෙකක්
මේ වන විට පක්ෂ හතක සභාගයක් ලෙස ක්‍රියාත්මක වන උත්තර ලංකා සභාවේ ප්‍රධාන නායකයින් දෙදෙනකු තම ඉදිරි ක්‍රියා මාර්ග ගැන දින දෙකක දී එකිනෙකට පරස්පර ප්‍රකාශ දෙකක් සිදු කිරීම ද කැපී පෙනෙන සිදුවීමක් වීය.
සංවිධානයේ විධායක සභා රැස්වීමකින් අනතුරුව එහි සභාපති විමල් වීරවංශ මහතා සඳුදා මාධ්‍යයට ප්‍රකාශ කළේ ඉදිරියට එන සෑම මැතිවරණයක් ම උත්තර ලංකා සභාව ලෙස තනිව ම තරග කරන බව යි. එහි තේරුම නම් වෙනත් පක්ෂ සමග සන්ධාන ගොඩ නොනගන බව යි.
කෙසේ වෙතත්, සංවිධානයේ නායක මට්ටමේ සාකච්ඡාවෙන් පසු අඟහරුවාදා වාසුදේව නානායක්කාර මහතා මාධ්‍යයට කීවේ උත්තර ලංකා සභාව ඩලස් අලහප්පෙරුම කණ්ඩායම වැනි වෙනත් පිරිස් සමග සන්ධාන ගත වීමට සුදානම් බව යි. ඒ මහතා කීවේ මැතිවරණ තනිව තරග කිරීමේ තීරණයක් ගෙන නැති බව යි.
ආණ්ඩුවට තවදුරටත් ජන වරමක් නැති බවත්, ඉක්මනින් මහා මැතිවරණයක් අවශ්‍ය බවත්, කියමින් උද්ඝෝෂණයක නිරතව සිටින සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් අඟහරුවාදා එනම් 20 දා මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා හමු වුයේ පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙස ඉල්ලීමක් කිරීමට ය. මෙම සැප්තැම්බර් 20 දායින් පසුව පළාත් පාලන මැතිවරණය කැඳවීමේ බලය මැතිවරණ කොමිසමට හිමිවෙයි.
මෙම වසරේ ඡන්ද හිමි නාම ලේඛනය අවසන් කොට සහතික කිරීමට නියමිතව ඇත්තේ ලබන මස අවසානයේ දී ය. මැතිවරණ කොමිසමේ අදහස වී ඇත්තේ එම දිනයෙන් පසු සුදුසු දින තීරණයකින් පසුව පළාත් පාලන මැතිවරණය කැඳවීම යි. සජබ මහ ලේකම්වරයා ඉල්ලා සිටියේ එම මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙසට ය.
දෙවැනි එලිසබෙත් රැජිනගේ අවමගුල් උළෙලට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිසක් ලන්ඩන් බලා යාම පසුගිය සතියේ විවාදයට ලක් වූ සිදුවීමකි. විපක්ෂ කණ්ඩායම් චෝදනා කළේ මෙය ප්‍රයෝජනවත් නොවන ගමනක් බව සහ අනවශ්‍ය වියදමක් බව යි. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ගමනට එක්ව සිටීම සහ එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ලන්ඩනයේ පැවති ශ්‍රී ලංකා ඩයසපෝරාවේ සාකච්ඡාවට එක්ව සිටීම, සමාජ මාධ්‍ය මගින් ප්‍රශ්න කොට තිබිණි.
ජනාධිපති මාධ්‍ය අංශය ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනාධිපතිගේ නියෝජිත පිරිසට ඇතුළත් වුයේ තිදෙනෙකු පමණක් බව යි. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සංචාරයට එක්ව සිටියේ තම පෞද්ගලික වියදමෙන් බවත්, රුවන් විජේවර්ධන මහතා ඩයසපෝරා රැස්වීමට එක් වුයේ එරට පෞද්ගලික සංචාරයක යෙදී සිටිය දී බවත්, එම නිවේදනයේ සඳහන් වීය. මෙම අවස්ථාවට එක්ව සිටි වෙනත් රටවල රාජ්‍ය නායකයින් සහ බිරින්දෑවරුන් ගැන විස්තරයක් ද එම නිවේදනයේ දක්වා තිබිණි.
පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීසියා ස්කොට්ලන්ඩ් මහත්මිය සහ වෙනත් රාජ්‍ය නායකයින් හමු වී සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙය අවස්ථාවක් කර ගත්තේය. එමෙන් ම බ්‍රතාන්‍යයේ සිටින ශ්‍රී ලංකා ඩයසපෝරාව හමුවීමක් ද සංවිධානය කොට තිබු අතර පාරිසරික කටයුතු පිලිබඳ ජනාධිපති උපදේශක සහ එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ද මේ අවස්ථාවට සම්බන්ධ වී ය.
දෙමළ ඩයසපෝරාවෙන් චෝදනා
බ්‍රතාන්‍යයේ ක්‍රියාත්මක දෙමළ ඩයසපෝරා සංවිධාන දෙකක් චෝදනා කොට තිබුණේ මෙම රැස්වීමට තමන්ට ආරාධනා කොට නොතිබීම පිළිබඳව ය. ගෝලීය දෙමළ සංසදය සහ බ්‍රතාන්‍යය දෙමළ සංසදය යන සංවිධාන දෙක මෙලෙස තමන්ට ආරාධනා නොකිරීම ගැන කනස්සල්ල ප්‍රකාශ කොට තිබිණි.
සමගි ජන බලවේගය මතුකළ ප්‍රශ්න දෙකකින් බදාදා පාර්ලිමේන්තු රැස්වීම උණුසුම් වී තිබිණි. එම ප්‍රශ්න මතු කළේ සජබ මන්ත්‍රී එස් එම් මරික්කාර් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරුන් විසිනි.
එස් එම් මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටු පත් කිරීමට කථානායකතුමා මෙතෙක් කටයුතු නොකිරීම පිළිබඳව ය. එයට පිළිතුරු දුන් කථානායකතුමා කීවේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරන ආකාරය තීරණය වන්නේ කවුරුන් හෝ කියන දේවල් මත නොව ඒ සඳහා නීති පොතක් ඇති බව යි. තමා කටයුතු කරන්නේ ඒ අනුව බව කථානායකතුමා කී ය.
මුල්‍ය අරමුදල සමග ගිවිසුමක් නැතැයි ආණ්ඩුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ ද, ගිවිසුමක් ඇති බව අලි සබ්රි ඇමැතිතුමා එක්සත් ජාතීන්ගේ සමුළුවට කියා ඇති බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා එය තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය. ඒ ගැන මුදල් ඇමැති වන ජනාධිපතිතුමා සමග කතා කොට පිළිතුරක් දෙන බව කතානායකතුමා ප්‍රකාශ කළේය.
මේ අවස්ථාවේ කතා කළ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීවේ අත්සන් කළ ගිවිසුමක් නැති බව තමා පිළිගන්නා බවයි. නමුත් ඇතිකරගත් එකඟතාවය ගැන පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස ඒ මහතා ඉල්ලා සිටියේය.
සී ජේ
දේශපාලන සතිය – අනිද්දා – 25.09 .2022