සෝභිත හිමිගේ නඩුවෙන් ගල් අඟුරු ගෙන්වීම නවතී ; ආණ්ඩුව අලුතින් ටෙන්ඩර් කැඳවයි

 

නොරච්චෝලේ බලාගාරය නොකඩවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ගල් අඟුරු මිල දී ගැනීමට ලංකා ගල් අඟුරු සමාගම පසුගිය අගෝස්තු මාසයේ ලබාදුන් ටෙන්ඩරයට එරෙහිව පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බැවින් එම සැපයුම  ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගත වීම නිසා වහා ම අලුතින් ටෙන්ඩර් කැඳවීමට කැබිනට් මණ්ඩලය පෙරේදා තීරණය කොට ඇත.

ප්‍රධානය කරන ලද ටෙන්ඩරය නියමිත ක්‍රියා පටිපාටි අනුගමනය කරමින් නියමාකාර ලෙස ප්‍රධානය කොට ඇතත්, එයට එරෙහිව නඩු පැවරීම නිසා එම අධිකරණ කටයුතු අවසන් වන තෙක් මිල දී ගැනීම් කළ නොහැකි වී ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පසුගිය දා ප්‍රකාශ කළේය. එමෙන් ම ඔක්තෝබර් 28 දාට පෙර ගල් අඟුරු ගෙන්වා නොගතහොත් පැය දහයක හෝ දොළහක විදුලි කැපීමකට යාමට සිදුවන බව ද ඒ මහතා කීය.

ගල් අඟුරු මිල දී ගැනීමේ ක්‍රියාවලිය කඩා කප්පල් කිරීමේ උත්සහයක් ඇති බවත්, ගල් අඟුරු ටෙන්ඩරයට ඉදිරිපත් නොවී එම ගනුදෙනුව තමන්ට ලබා ගැනීමට උත්සාහ දරු සමාගමක් එම ක්‍රියාවලිය පිටුපස සිටින බවත්, විදුලිබල ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග කියයි.

කෙසේ වෙතත්, දිගු කාලීන ණය පදනමට ගල් අඟුරු සැපයීම සඳහා ලංකා ගල්අඟුරු සමාගම නව ජාත්‍යන්තර විවෘත තරගකාරි ටෙන්ඩරයක් ප්‍රකාශයට පත් කළ බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතාප්‍රකාශ කරයි.

කඩිනම් ගල් අඟුරු අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරේ ටෙන්ඩරයේ ඉතිරි තොග (19) ඉක්මණින් ලබා ගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා වැඩි දුරටත් පවසයි.

පසුගිය අගෝස්තු 25 දා ප්‍රදානය කරන ලද ගල් අඟුරු ටෙන්ඩරයට එරෙහිව අධිකරණ ක්‍රියාදාමයක් සිදු වෙමින් පවතින බැවින් එම කටයුතු නිරාකරණය වන තෙක් අදාළ සැපයුම්කරු ගල් අඟුරු සැපයීම කළ නොහැකි බව දැන්වූ අතර, ඒ අනුව කැබිනට් මණ්ඩලය විසින් අදාළ ටෙන්ඩරය පසුගිය 22 දා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී අවලංගු කරනු ලැබු වහා ම නව ටෙන්ඩරයක් කැඳවීමට කටයුතු කොට තිබේ.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *