|

පන්සල්, පල්ලි, කෝවිල්වල ලයිට් බිලට දැනටමත් සහන ලැබෙනවා – ශ්‍රී ලංකා ආර් ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති මහාචාර් ය විජිතපුරේ විමලරතන හිමි


 

 

  • හිඟ ගාස්තු තරාතිරම නොබලා අයකර ගත යුතුයි
  • විදුලි බිල වැඩි කළේ වසර 9කට පස්සේ
  • නිෂ්පාදන පිරිවැයට අඩුවෙන් කිසි දෙයක් විකුණන්න බෑ

විදුලිය පරිභෝජනය කරන සියලු දෙනාටම සහන දිය යුතුද එසේ නැතහොත් ජාතික ආර්ථික දියුණුවට දායක වන්නන්ට පමණක් සහන සැලසිය යුතුද යන කරුණ ගැන ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි සමඟ කළ සාකච්ඡාවයි මේ.

රටකට සමාජයකට බලශක්තිය පරිභෝජනය කොපමණ දුරට වැදගත්කමක් උසුලනවා ද?

ලෝකයේ ඕනෑම රටකට සමාජයකට බලශක්ති පරිභෝජනය ඉතා අත්‍යවශ්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා. බලශක්ති පරිභෝජනය අඩු වැඩි වීම සංවර්ධනය මනින දර්ශකයක් ලෙසත් ක්‍රියා කරන අවස්ථා තියෙනවා. බලශක්ති පරිභෝජනය වැඩි නම් ඒ රට සමාජය සංවර්ධනය වැඩි රටක් ලෙස ගණන් බැලීමට පුළුවන්. බලශක්ති පරිභෝජනය අඩු නම් ඉන් කියැවෙන්නේ ඒ රට, සමාජය සංවර්ධනය අතින් පහළ මට්ටමක තිබෙන බවයි.

බලශක්තිය සංවර්ධනය මැන බැලෙන දර්ශකයක් නිසා එය ආර්ථිකයේ දියුණුවට බලපාන්නේ කෙසේද?

ලෝකයේ ඕනෑම රටක, සමාජයක ආර්ථිකය දිවෙන්නේ බලශක්තිය මඟින්. මේ නිසා බලශක්තිය සුරක්ෂිත රටවල් බවට ඕනෑම රටක් පත්වීමට කටයුතු කරනවා. බලශක්තිය මූලාශ්‍ර දෙකක් තිබෙනවා. එකක් පුනර්ජනනීය බලශක්තිය. අනෙක පුනර්ජනනීය නොවන මූලාශ්‍ර ඔස්සේ ගන්නා බලශක්තිය.

බලශක්ති අංශයේ වංචා සිදුවන්නේ කොහොම ද?

ලෝකයේ හැම රටකටම ප්‍රමාණවත් තරම් බලශක්තිය තමන්ගේ රටේම නිපදවා ගන්න බැහැ. විශේෂයෙන් පෙට්‍රල්, ඩීසල්, දැවි තෙල් ඇතුළු තෙල්වලින් සිදුවන අතුරු නිෂ්පාදන බොහෝ රටවලට පිට රටවලින් ගෙන ඒමට සිදුවෙනවා. ඒවාගේම විදුලිය නිෂ්පාදනය කිරීමට ගල්අඟුරු වැනි දේ ගැනීමට සිදුවෙනවා. මෙවැනි දේ මිලදී ගැනීමේදී, නව බලාගාර ඉදිකිරීමේදී විශාල වශයෙන් මිල ගණන් කැඳවීමට සිදුවෙනවා. මේවායේදී දේශපාලඥයන්, රජයේ ඉහළ නිලධාරීන්, ටෙන්ඩර් ඉදිරිපත් කරන්නන් යම් යම් නීතිරීති උල්ලංඝනය කරමින්, වංචා, දූෂණ සිදුකරන බව වාර්තා වෙනවා. මේවා පිළිබඳ කථා කිරීමත්, ලිවීමත්, හෙළිදරව් කිරීමත් අනතුරුදායක තත්ත්වයක්. එවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ ඒ තරම් විශාල මුදලක් මේ ගනුදෙනු, වංචා, දූෂණ හා බැඳී පැවතීමයි.

අපි ශ්‍රී ලංකාවේ විදුලිබල නිෂ්පාදනය දෙස හැරෙමු. නිදහසින් පසු අපේ රටේ විදුලිබල ඉල්ලුමට තිබුණේ කුමන තත්ත්වයක් ද? අද වන විට එහි වෙනසක් සිදුවී තිබේ ද?

1960 – 70 ගණන්වල අපේ රටේ විදුලි බලය සඳහා පැවැතියේ අඩු ඉල්ලුමක්. අප එදා ඉන්දියාවට විදුලිය අපනයනය කිරීමට කථා කළා. නමුත් අද වන කොට එම තත්ත්වය වෙනසක් වී තිබෙනවා. වර්තමානය වන විට අපේ රටේ කෘෂිකාර්මික, කාර්මික හා සේවා අංශ පුළුල්ව තිබෙනවා. මේ නිසා ඉහළ විදුලිබල ඉල්ලුමකුත්, අනෙකුත් ඉන්ධන සඳහා වන ඉල්ලුමකුත් ඇතිවී තිබෙනවා. බලශක්තිය සහ විදුලිබලය සම්බන්ධයෙන් තිබෙන්නේ අනම්‍ය ඉල්ලුමක්. මිල වැඩි වුණත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් නිසා මිලදී ගැනීම වැඩි වෙනවා. මේ නිසා මෙවැනි දේ පරිභෝජනය අඩුවන්නේ නැහැ. දැනට මතුවී ඇති ආර්ථික අර්බුදය නිසා ජනතාව පීඩාවට පත්වී සිටිනවා. එය තීව්‍රර කිරීමට වැඩිවන විදුලි බිල, ඉන්ධන බිල බලපා තිබෙනවා.

බලශක්ති මිල ඉහළ යෑමට බලපෑමක් ඇතිවූයේ කුමක් නිසා ද?

මේ වන විට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය හිඟයක් තිබෙනවා. ඒ වාගේම අය වැය හිඟයත් ඉහළයි. මුදල් සැපයුම, නිෂ්පාදන දියුණු නොවී වැඩිවීම නිසා උද්ධමනය ඉහළගොස් තිබෙනවා. රුපියලේ අගය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පිරිහී තිබෙනවා. ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

මේ සෑම එකකින්ම තෙල් මිලත්, විදුලි බිලත් වැඩිවීමට බලපා තිබෙනවා. මෙහිදී අප කළයුත්තේ විදුලිය නිෂ්පාදනයට අඩු පිරිවැය වෙත විතැන්වීමයි. ඒ සඳහා ප්‍රභවයන් ලෙස පුනර්ජනනීය බලශක්ති උත්පාදන ක්‍රම යොදාගත යුතුයි. ජල විදුලියෙන් ජාතික විදුලිබල අවශ්‍යතාව සපුරාලීමට කළ හැකි උපරිමයට අප කටයුතු කර තිබෙනවා. දැනට සියයට හැටක පමණ දායකත්වයක් ජල විදුලියෙන් දෙනවා. මින් එහාට ජල විදුලියෙන් විදුලි උත්පාදනයට වැඩ කටයුතු කළ හැකි වන්නේ නැහැ. ඒ නිසා අප වෙනත් මූලාශ්‍ර වෙත යා යුතුයි.

ඉහළ පිරිවැයක් දරා බලශක්තිය නිෂ්පාදනය කිරීමට රජයට සිදුවී තිබෙනවා. නැතිනම් පෞද්ගලික අංශයේ නිෂ්පාදනය කරන බලශක්තිය ජාතික පද්ධතියට එක්කර ගැනීමට සිදුවී තිබෙනවා. මෙහිදී යම් අක්‍රමිකතා දූෂණ සිදුවී තිබෙන බවට වාර්තා වී තිබෙනවා නේද?

බලශක්තිය ඉතා ඉහළ ලාභ ලැබිය හැකි ක්ෂේත්‍රයක්. එවැනි ක්ෂේත්‍රයක එක් මිලදී ගැනීමක ලාභය රුපියල් මිලියන ගණන් විය හැකියි. එවැනි ඉතා ඉහළ ලාභ ලබන ක්ෂේත්‍රයක කටයුතු කිරීමේදී වංචා දූෂණ පැවැතීමට තිබෙන ඉඩකඩ වැඩියි. එය තමයි යථාර්ථය. මේ නිසා රටේ සාමාන්‍ය ජනතාවට මේවායින් පැටවෙන බරත් දැරීමට සිදුවී තිබෙනවා.

වර්තමානයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ඔබ වහන්සේගේ අදහස් කුමක් ද?

දැනට වාර්තා වන අන්දමට විදුලිබල මණ්ඩලයේ එකතු වූ පාඩුව රුපියල් බිලියන 600කට වැඩියි. විදුලිබලය නිෂ්පාදනයට වැයවන ඇස්තමේන්තුගත වියදම මාසිකව රුපියල් බිලියන 23.6ක්. නමුත් විදුලිය විකිණීමෙන් උපයන ආදායම රුපියල් බිලියන 21.7ක්. විදුලිය උත්පාදනයෙන් පසු විකිණීමට කටයුතු කරන අතර, එහිදී මාසයකට රුපියල් බිලියන 2ක පාඩුවක් සිදුවෙනවා යැයි දළ වශයෙන් වාර්තා වෙනවා. ඕනෑම නිෂ්පාදනයක් පිරිවැයට අඩුවෙන් විකිණීම සිදුකරන ආයතනයක් දිගු කාලයක් පවත්වාගෙන යෑමට බැහැ. වැසී යන තත්ත්වයක් උදාවෙනවා. නමුත් විදුලිබල මණ්ඩලය රජය විසින් පවත්වාගෙන යනවා. ඒ සඳහා වන වැය බර මහා භාණ්ඩාගාරය දරනවා. මහා භාණ්ඩාගාරය අතිවිශාල අලාභ කන්ද දරාගත්ත ද අවසානයේ එහි බර දැරීමට සිදුවන්නේ ජනතාවටයි.

අලාභ ලබන විදුලිබල මණ්ඩලය වැනි ආයතන සම්බන්ධයෙන් රජය කළයුත්තේ කුමක් ද?

විදුලි බිල අඩු කිරීම සඳහා අනිවාර්යයෙන්ම අඩු වියදම් පිරිවැය සහිත විදුලි උත්පාදන ප්‍රභවයන් වෙත අප මාරු විය යුතුයි. එමෙන්ම දිගින් දිගටම පාඩු ලබනවා වෙනුවට ලාභ ලැබීම ඉලක්ක කොට කෙසේ වෙතත් ලැබෙන පාඩුව අඩු කිරීමට හෝ ක්‍රියා කළ යුතුයි. මේ ආයතනවල කාර්යක්ෂමතාවය, ඵලදායිතාව ඉහළ නංවාලීමට ක්‍රියා කළ යුතුයි.

මෑතකදී විදුලි බිල වැඩි කළා. මෙය සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි බවට දුක්ගැනවිල්ලක් තිබෙනවා නේද?

විදුලි බිල වැඩි කළේ වසර 9කට පසුවයි. මේ කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලය ඉහළ පිරිවැයක් දරා විදුලි ඒකකයක් නිෂ්පාදනය කොට විශාල සහනාධාරයක් දෙමින්, දිගින් දිගටම පාඩු ලබමින් අඩු මිලකට එය දුන්නා. එය තවදුරටත් කළ නොහැකියි. විශේෂයෙන් ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල ගණන් ඉහළයි. රුපියල් අවප්‍රමාණය වී තිබෙන්නේ. ඩොලර් සංචිතය පහළ වැටී තිබෙන්නේ. මේ නිසා තවදුරටත් විදුලිබල මණ්ඩලය පැත්තෙන් පාඩු ලැබීමට හැකියාවක් නැහැ. පවතින තත්ත්වය තුළ කළයුත්තේ කුමක් දැයි සියලුදෙනාම අභියෝගාත්මකවයි බැලිය යුත්තේ.

එම නිසාද විදුලි බිල වැඩි කළේ? ඊට වෙනත් විකල්ප තිබුණේ නැත්ද?

වසර 2013 සිට අපේ රටේ විදුලි ගාස්තු වැඩිකර තිබුණේ නැහැ. විදුලි බල මණ්ඩලය මේ නිසා මේ අවස්ථාවේ ගාස්තු වැඩි කිරීමට යෝජනා දෙකක් ඉදිරිපත් කළා. එක් යෝජනාවකින් කියැවුණේ සියයට 229කින් ගාස්තු වැඩි කළ යුතු කියායි. අනෙක් යෝජනාව සියයට 183කින් ගාස්තු වැඩි කළ යුතුයි කියායි. නමුත් මහජන උපයෝගිතා කොමිසම මෙම යෝජනා දෙක වෙනුවට සියයට 75කින් ගාස්තු වැඩිකිරීමටයි අවසර දුන්නේ. අප එක් දෙයක් කල්පනා කළ යුතුයි.

ජලාශ ජලයෙන් පිරී නොගිය අවස්ථාවක විවිධාකාරී ඉන්ධන භාවිතා කරමින් විදුලිය නිපදවීමට සිදු වුණා. ඩීසල්, දැවිතෙල්, ගල් අඟුරු මිල ගණන් මේ වන විට ලෝක වෙළෙඳපොළේ පෙරදාට වඩා 250%කින් වැඩිවී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ අවංකවම අඩු මිලකට විදුලිය ලබාදීමට පුළුවන් කමක් නැහැ. නමුත් මේ අවස්ථාවේ විදුලිබිල වැඩි කිරීමේදී යම් යම් සහන ලබාදී තිබෙනවා.

ඒ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කළ හැකි ද?

ඔව්. මාසිකව ඒකක 0 – 30 දක්වා විදුලිය පාවිච්චි කරන්නන්ට විදුලි බිලෙන් 75%ක සහනාධාරයක් ලබාදී තිබෙනවා. ඒකක 31 – 60 දක්වා මේ සහනාධාරය 60%ක්. ඒකක 61 – 90 දක්වා 50% සහනාධාරයක් ලබාදී තිබෙනවා. මීටත් අමතරව යම් යම් පිරිස් වෙත විදුලි ගාස්තුවල වැඩිවීම තුළ පවා සහනාධාර ලබාදී තිබෙනවා.

මේ වන විට ආගමික සහ පුණ්‍යායතනවල විදුලි බිල වැඩි යැයි විරෝධතා පැවැත්වෙනවා. බිල අඩු කරන්නැයි ඉල්ලීම් කරනවා. ඒවාට යම් සහනයක් දී තිබේ ද?

ඒ සම්බන්ධයෙනුත් නව ගාස්තු සංශෝධනය තුළ සහනාධාරයක් දී තිබෙන බව පෙන්වා දිය හැකියි. විශේෂයෙන්ම පූජනීය ස්ථානවල සහ පුණ්‍යායතනවල විදුලි පරිභෝජනයෙන් ඒකක 0 – 30 දක්වා ඒකකයට අය කරන්නේ රුපියල් 8ක මුදලක්. ඒකක 31 – 90 දක්වා ඒකකයකින් අය කරන්නේ රුපියල් 15ක මුදලක්. සාමාන්‍ය ජනතාවගෙන් මේ කාණ්ඩය යටතේ අය කරන ගාස්තුව ඒකකයට රුපියල් 16ක්. ඒකක 91 – 120 දක්වා පුණ්‍යායතනවලින් අය කරන්නේ ඒකකයකට රුපියල් 20යි. සාමාන්‍ය ජනතාවගෙන් රුපියල් 50ක් අය කරනවා. පුණ්‍යායතනවලින් ඒකක 120 – 180 දක්වා රුපියල් 30ක මුදලක් අයකරත් සාමාන්‍ය ජනතාවගෙන් රුපියල් 50ක් අය කරනවා. ඒකක 180 වැඩි නම් පුණ්‍යායතනවලින් රුපියල් 65ක් අයකරන විට සාමාන්‍ය ජනතාවට ඒ සඳහා ඒකකයට රුපියල් 75ක් ගෙවීමට සිදුවෙනවා. මේ අනුව බැලූවිට විදුලි ගාස්තු වැඩි කිරීමේ දී පූජනීය ස්ථාන සහ පුණ්‍යායතන පිළිබඳව යම් සහනයක් දී තිබෙනවා. අපි මේ අවස්ථාවේ ඒ වැඩි කිරීමට එරෙහි උද්ඝෝෂණය කරනවාට වඩා කළ යුතු සංවේදී සමාජ තත්ත්වයක් ද තිබෙන බව සිහිපත් කර ගත යුතුයි.

ඒ කුමක්ද?

දැනට විදුලි ගාස්තුව වැඩිකිරීම සම්බන්ධයෙන් ඇතැමකු මහමගට බැස තිබෙනවා. නමුත් අපේ රටේ ආහාර මිල උද්ධමනය ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. දුප්පතුනට තුන්වේල කෑමට පවා අසීරු වී තිබෙනවා. මේවා පිළිබඳව කිසිදු සොයාබැලීමක් සිදු නොකරන බොහෝ පිරිසක් විදුලිබිල සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වීම කනගාටුවට කරුණක්.

දූ දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීමට නොහැකිව දුක් විඳින අහිංසක දුප්පත් මිනිසුන් ගැැන අවධානය යොමු නොකොට බලා සිටි බොහෝ දෙනා අද විදුලි බිල වැඩිවීම පිළිබඳව විලාප නැඟීම යහපත් දෙයක් නොවෙයි. අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් අහස උසට නැඟ යද්දී නිහඬව සිටි අය විදුලි බිල වැඩිවීම ගැන කථා කිරීම කෙතරම් නම් ප්‍රඥාගෝචර ද යයි විමසා බලන්න.

දිගින් දිගටම විදුලිබිල සම්බන්ධයෙන් සහනාධාර දීමට රජය කටයුතු කළහොත් තවදුරටත් අමාරුවේ වැටෙන්නේ දුප්පත්ම ජනතාව නේද?

එය තමයි ඇත්ත කතාව. මේ අවස්ථාවේ කළ යුත්තේ ඉතාම දුප්පත්, සැබෑ දුප්පතුන්ට රැකවරණය දීමයි. ඔවුන්ට සහනාධාර දීමයි. එසේ දෙන අතර, විදුලි පරිභෝජනය කරන පිරිසට සහනාධාර දීම වෙනුවට කළ යුත්තේ විදුලි බලය භාවිතයට ගෙන කෘෂිකර්ම, කර්මාන්ත, සේවා යන ඕනෑම අංශයක නිෂ්පාදනයක් සිදුකරන පිරිසට යම් සහනාධාරයක් ලබාදීමයි. ආර්ථිකය වේගයෙන් ඉදිරියට වර්ධනය කර ගැනීමට දායක වන්නේ නිෂ්පාදන අංශයයි.

නිෂ්පාදන අංශයට ඉහළ පිරිවැයක් යටතේ විදුලිය ගැනීමට, බලශක්තිය ගැනීමට සිදුවුවහොත් ඔවුන්ට ලෝක වෙළෙඳපොළේදී තරගකාරී මිල ගණන් යටතේ තමන්ගේ භාණ්ඩ දීමට නොහැකි වෙනවා. ඒ නිසා මේ මොහොතේ කළ යුත්තේ හැකි තරම් නිෂ්පාදනය දිරි ගන්වන, අපනයන ආදායම් ගන්නා අංශයන් වෙත බලශක්ති සහනාධාරය දීමයි. බලශක්තිය පරිභෝජනය කරන පිරිසට සහනාධාර ලබාදීමට පියවර ගත යුත්තේ ඉන් පසුවයි.

සමහර ප්‍රභූන් විදුලි බිල් ගෙවීම පැහැර හැර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර කුමක්ද?

සියලු විදුලි පාරිභෝගිකයන්ගෙන් තරා තිරම නොබලා හිඟ බිල් අයකර ගත යුතුයි. දේශපාලනඥයන්ගෙන්, ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් වැනි අයගෙන් හිඟ විදුලි බිල් අප්‍රමාදව අයකර ගත යුතුයි.

ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති

මහාචාර් ය විජිතපුරේ විමලරතන හිමි

 

ජයසිරි මුණසිංහ

දිනමිණ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *