ඕමල්පේ ගරු සෝබිත හාමුදුරුවන් වහන්සේ වෙතය- චන්ද්‍රසිරි සෙනෙවිරත්න

 

පිරිවෙනේ විදුලි බිල ඉහළ යාමෙන් පරල ව ඔබ වහන්සේ කළ තර්ජනය, අමාත්‍ය කාන්චන විජේසේකර “ගෙවන්න බැරි නම් සෝලා ගහ ගන්නවා මිස, මිනිසුන් කුපිත කරන්න එපා” යයි  නිෂේධ කළේය.

පසුගිය සිකුරාදා අරුණ පත්තරයේ කතුවරයා “බුදුන් වර්තමානයේ  වැඩ සිටියා නම් විදුලි බිල වැඩිවීම උපේක්ෂාවෙන් ඉවසා වදාරනු ඇතැයි නො පැසුණ හෝ අවිචාරවත්  ප්‍රවේශයක් ලෙස බැහැර කර තිබිණ.

එකී ප්‍රතික්‍රියාවන් බුද්ධ සාසනයෙන් සහ ලාකේය සංඝ සන්තතියෙන් ඔබ වහන්සේ හුදෙකලා කොට, තමුන් මේ එන්නේ මොකාටදැයි ප්‍රශ්න කිරීමක් නො වේදැයි විමසනු කැමැත්තෙමි.

උක්ත  තර්ජනයෙන් උත්තේජනය ලැබූ  මැදගොඩ අභය තිස්ස, කැප්පෙටියාගොඩ සිරිවිමල ආදි ප්‍රකට යතිවරුන් හැමදාම රාජපක්ෂලාට කඩේ යාමට මිස,  බෞද්ධයන්ගේ සසර ගමන කෙටි කර නිවන් අත්පත් කර ගැනීමට උනන්දු නො කළ බව ප්‍රසිද්ධ රහසකි.  පාත්‍රා සිවුරු ගෙන මේ සූදානමත් රටට එපා වූ රාජපක්ෂලා කෙළින් කර සිය මඩිය පුරවා ගැනීමට මිස, බහු ජන හිතාය සුඛාය පිණීස නම් නොවේ.

කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි

එළඹෙන වප් පුර පසලොස්වක දවසේ විහාරස්ථාන අඳුරේ තබන බවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනුවර ශාඛාව එහි කළමනාකර කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි වෙනුවෙන් නිවේදනය කළේය.

මෙතෙක් කල් හෙළ උරුමය වෙමින් මහ බඹාගේ කෝලම වීදි බස්වා රටක ඇද වැටීමට දායක වූ ඔබ වහන්සේ මෙවර ගෞරවනීය නිකාය පටලවා ගත් හැටියකි. ගුරු හාමුදුරුවන් මරා කෝටි ගණනක ධනය සොරාගෙන යන තරමට ගෝල සාමනේරයන් අළුගෝසුවන් කළ පන්සල් පද්ධතිය, අර්ථයෙන් ධර්මයෙන් දැනුමෙන් මිස විදුලි පහනින් ආලෝක කළ නොහැකි බව ජනතාව තේරුම් ගෙන හමාරය.

භික්ෂුව පන්සලෙන් මෙන්ම, තමන් වෙත පැවරුණ සමාජ වගකීමෙන්ද විතැන් ව සිටිති.

සීදුවේ මැරුම් කෑ භික්ෂුවගේ මරණය දායක කාරකාදීන් දැන ගත්තේ සුළඟට මුසුව ආ කුණු කඳ නිසා මිස, පන්සලේ ගංඨාර නාදයෙන් නොවේ.

එයින් හැඟී යන්නේ ගිහි බෞද්ධයන් අර්ථචර්යාවෙන් හුදෙකලා වූ පන්සල අමතක කර සිටි බවය.

අදටත් ලේවැල්ලේ ගංගාරාම රජමහා විහාරස්ථානයට දිනකට තෙවරක් ගිලන්පස හීල සහ මහ දානය රැගත් දායක කාරකාරදීන් පැමිණෙති. පන්සල පන්සලක් වී නම් හාමුදුරුවන්ගේ මිනිය කුණුවී ගඳ ගැසීමට ගම්වාසින් ඉඩ දෙන්නේ නැත.

බෞද්ධ භික්ෂුන් පෙළ ගැස්වූ සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බල වේගය ලබා ගත් 1956 ජයග්‍රහණය, ඝාතනය වූ බණ්ඩාරනායකගේ මිනි මරුවන් ලෙස භික්ෂුන් දෙදෙනෙකු එල්ලුම් ගස් යාමෙන් අවසන් නොවීද?  ඓතිහාසිකව සිදු වූ මේ  භික්ෂු සමාජයීය දෙදරීම අද වන විට නිකායික පාලක සභාවන්ට හෝ පාලනය කරගත නො හැකිව තිබේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගැටඹේ ශාඛාව යනු එකී දෙදරීමේ නරක පෙර මිනිත්තකි. මල්වතු මහා විහාරය, භික්ෂු දේශපාලනයට තහංචි පනවමින්  1946 පැනවූ සංඝානත්තියට පටහැනිව විද්‍යාලංකාර භික්ෂුන් 1947 මහා මැතිවරණයට මැදිහත් ව ගිහියන්ගේ දරුණු ප්‍රහාරයකට ලක් විය.

කවදත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායික සම්මුතියට අනුව භික්ෂුන් දේශපාලනයේ නොදිය යුතු වේ.

මෙම ගෞරවනිය සම්මුතික එකඟතාව ගැන රූපවාහිනි සාකච්ඡාවකදී ඕමල්පේ සෝබිත වන ඔබ වහන්සේ ගෙන් විමසූ විට, එය එසේ යයි ආඩම්බරයෙන් පිළිගත් හ.

දෙවනුව, ඔබ වහන්සේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම එකී නිකායික ප්‍රඥප්තියට පටහැනි නොවේද යයි කළ විමසීමට, අනුචිත සිනාවක් මුවට නගා “මම අපේ නිකායේ අධිකරණ සංඝ නායකයෙක්’‘ යනුවෙන් දුන් පිළිතුර ශ්‍රී ලංකා  රාමඤ්ඤ මහා නිකායික සංඝ සභාව හෑල්ලු කිරීමකි.

විදුලි බිල් සටනට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගැටඹේ ශාඛාව විවෘත කිරීම එකී නිකායික අනන්‍යතාව කෙළෙසීමකි.

මෙසේ බෞද්ධ භික්ෂූන් නිකායික සම්මුති හා සාසනික සීමා ඉක්මවා යාම පාලනය කිරීමට, ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් ඒකමතිකව සකසා ජනාධිපති මහින්දට 2013 දී භාර දුන් ථේරවාදි භික්‍ෂු කතිකාවත 2015 දෙසැම්බර් මස 14 වෙනි දින පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුල් කළේය.

ඉන් අනතුරුව, තංගල්ල ගුරුගොඩැල්ල පන්සලට පැමිණි විපක්ෂ මහින්ද රාජපක්ෂ “සංඝයා වහන්සේලාට හිමි තැන දියකර හැරීමට යහ පාලන රජය ඉදිරිපත් කළ ථේරවාදි භික්‍ෂු කතිකාවත් කෙටුම්පත නීතිගත වුවහොත් පැවිදි වීමට කිසිවෙකු සොයා ගත නොහැකි වනු ඇතැයි කළ ප්‍රකාශය යහ පාලන ආණ්ඩුවට එරෙහිව අවියක් කර ගත්තේ වර්තමාන අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද නා හිමි සහ අතුරලියේ රතන හිමි මිස, ත්‍රෛනිකායික මහා සංඝයා වහන්සේ නොවෙති.

කතිකාවත් යනු කාව්‍ය නාටකාදී ගර්හිත විද්‍යා නූගත යුතු නූගැන්විය යුතු ආදි ලෙස පෙර රජුන් සංඝ සමාජයට තහංචි පැනවූ සම්ප්‍රදායකි.

කතිකාවත් වලින් තොර සංඝ සමාජය කාසාවකණ්ඨකයන්ගේ හෝම් පොලකි. පන්සල්වලදී භික්ෂුන් මැරුම් කන්නේත් එකී මළ සිරුරු පණුවන් ගසා දුගඳ හමන තෙක් පන්සලේ කණු වන්නේත් මේ නිසාය.

ථේරවාදි භික්‍ෂු කතිකාවත් පනත් කෙටුම්පත ඉරා දැමීමෙන් කළේ මහා විනාසය සුළුපටු නොවේ.  ගිහි වෙස් ගත් ශ්‍රමන ප්‍රතිරූපකයෙකු කාන්තාවක සමග නුගේගොඩ පන්සලක දායකයන් පිරිසක් අලුබෝමුල්ලේදී පොලිසියට භාර කළහ.

කලක් තම විහාරයේ විහාරාධිපති ධුරය දැරූ මේ තක්කඩියා ගැන අදාළ භික්‍ෂු නිකායට පැමිණිලි කළ පසුව, මේ පුද්ගලයා නෙරපා වෙනත් භික්‍ෂුවකට විහාර පරිපාලනය භාර කළද, ඒ  තක්කඩියා වරින් වර විහාරය සතු සඟසතු දේපල  බලෙන් පැහැර ගැනීම නතර කිරිමට උක්ත  නිකායික සංඝ සභාවකට නිසි අධිකාරි බලයක් නොවී ය.

කලක් පැවිදිව සිටීම හේතුවෙන් ගිහියෙකුට එරෙහිව ක්‍රියා කළ නොහැකි නිසා, අර තක්කඩියා මුදා හැරිණ.


සෝමාරාමලාගේ බුද්ධරක්ඛිතලාගේ සංඝ පරම්පරාව..

ථේරවාදි භික්‍ෂු කතිකාවත රටේ නීතියක් නොවීමෙන් සෝමාරාමලාගේ බුද්ධරක්ඛිතලාගේ සංඝ පරම්පරාව අභයතිස්ස රතන, ඥානසාර සෝබිත සිරිවිමල ආදි  විවිධ නාමකරණයෙන් අදටත් ලෝක සාසන දෙකට වින කටිති.

අධිවේගී මාර්ග ව්‍යාපෘතියට මැදි වූ  පැවිදි කළ පඩු කරඳ ගස අයත් නිකාය කුමක්දැයි ඕමල්පේ සෝබිත මහා ස්ථවිර වන ඔබ වහන්සේගෙන් කෙනෙකු විමසුවොත් දෙන පිළිතුර කුමක්ද?

ආරාමයට යන එන්නන්ට තිත්ක කුණුහරුයෙන් අමතන, මඩකලපුවේ ථෙයිය සංවාසිකයාත් අලුබෝමුල්ල ප්‍රදේශයේදී කාන්තාවක සමග පොලිසියට කොටු කර දුන්  චීවරධාරියාත් ඕමල්පේ සෝබිත මහා ස්ථවිර වන ඔබ වහන්සේත් කිසිදු නිකායකට වග නො කියන සිවුරක් පටලැවූ උක්ත පඩු කරඳ ගසට වඩා  යමක් නොවේ යයි කීමට කිසිදු බෞද්ධයෙකු සහාසික නොවුනද යථාර්ථය නම් එයම නොවේද?

කතානායක ලෙස විජමු ලොකු බණ්ඩාර තේරී පත් වූ දවසේ පාර්ලිමේන්තුවේදී මර්වින් සිල්වා ඔබ වහන්සේගේ බෙල්ලෙන් අල්ලා ගැනීම තවත් සිද්ධියකි. ඒ  අවස්ථාවේ අපොයි සාමි සාමි කියා හින්දු භක්තික ද්‍රවිඪ මන්ත්‍රිවරියක ගෑ ගැසුවේ භික්‍ෂුව පිළිබඳ පවත්නා විශ්ව සම්මත පොදු අවබෝධයෙනි.

මර්වින් නො බියව, බෙල්ලෙන් අල්ලා ගත්තේ සිවුරට මුවා වූ අවස්ථාවාදි පඩු කරඳ ගසක් ය යන අවබෝධයෙනි.

ධම්මපදයේ යමක වග්ගයේ මුල්ම ගාථා යුගලය  අනුව, ලංකා දේශපාලනයේ පසන්න සෝරත සහ පදුට්ඨ සෝරත යනුවෙන් සෝරතලා දෙ නමකි. එහි පිරිසිදු සිතින්  කරන දෙයක විපාකය සෙවනැල්ල මෙන් පසුපස එති යන උදාහරණයට මාදුළුවාවේ සෝබිත හාමුදුරුවන් සමපාත වන්නේ අවලං විධායක ජනාධිපති  ක්‍රමය වෙනස් කිරිමට කැප වූ නිසාය.

දුෂ්ඨ ක්‍රියාවක විපාකය ගැලෙහි බැඳි ගොනුන් අපහසුවෙන් විඳවතී යන උදාහරණයට ඕමල්පේ සෝබිත හාමුදුරුවන් සමපාත වේ.

සකල ලාංකිකයන්ම විඳවන විදුලි බිල වැඩිවීමට මුල්වූ රාජක්ෂලා රජ කරවීමත් රාජපක්ෂලාගේ කැසිනෝ පනතට ඔබ වහන්සේලාගේ හෙළ උරුමය අනුමැතිය දීමත් පාපයකි.

මොරගොල්ලේ ධම්මපද විවරණය අනුව, පදුට්ඨ (ඉතා නරක ගතිගුණ වලින් කැළඹුණ)  සෝරත යන නාම කරණයට ඔබ වහන්සේ ගොදුරු නොවේද?

රටේ පාලනයට, පුරවැසි සදාචාරයට එරෙහිව, බෞද්ධ භික්ෂුව හැසිරීම නිසා පන්සලට සිද්ධ වී ඇති වින්නැහිය අපරාධය, ඔබ වහන්සේලාට තේරුම් යන දිනය කවදාද? පන්සල් විහාරවල විදුලි බිල් නො ගෙවන බවට මෙසේ ආණ්ඩුවට තර්ජනය කරන්නේ පන්සලේ විදුලි බිල බරපැනට දායකයන් දෙන රුපියල් සත බෙන්ස් ඩිෆෙන්ඩර් නඩත්තු කිරීමට වැය වන නිසා විය හැකිය.

අතීත රජ දවස මෙවැනි සාසන විලෝපකයන් පිටේ හන තබා පිටුවහල් කළ බවට දැක්වෙන  මහා වංශ වාර්තා උපුටා දක්වනු කැමැත්තෙමි.

පිරිවෙනේ විදුලි බිල ඉහළ ගියේ ආණ්ඩු පෙරළියකින් නොවේ. රටේ ආර්ථිකය කඩා වැටීම නිසා බව තම ශිෂ්‍ය භික්ෂුන්ට බුද්ධිමත් සංඝ පීතෘවරයෙකු ලෙස පැහැදිලි කර නැති කැවුමට නො වැළපෙන්නැයි අවවාද කළ මැනවි.

මේ අපහසු කාලයේ අරපරිස්සමෙන් විදුලිය පමණක් නොව හැම පරිභෝජනයම සීමා කරමින් ලාංකේය හැම පුරවැසියාම දුෂ්කර ජීවිත ගත කරති. දෙවන යුද සමයේ පහන් නිවා අඳුරේ සිටියේ සුද්දා පාලනය කළාට රට තමන්නේ නිසාය.

හේන්පිටගෙදර ඤාණසිංහ හාමුදුරුවන්ටත් පන්සල් හදන්න ආණ්ඩුවේ මුදල් දෙන්ට බෑ අගමැති ඩී.එස්.සේනානායක ගැටඹේ පන්සල පිහිටි ඉඩම ලබා දෙමින් අමරවංශ නම් හාමුදුරුවන්ට පේරාදෙණීය ගෘහ නිර්මාන සම්ප්‍රදාය නො බිඳ පන්සල ඉදි කළ යුතු බවට දැඩි කොන්දේසි පැනවීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂකයාව සිටි අගමැති ඩී.එස්.සේනානායක රටේ පාලනය සමග නිකාය ආගම පටලවා ගත්තේ නැත. බුද්ධාගම රාජ්‍ය ආගම කළ යුතු යයි 1943දී යෝජනා කළ ජේ.ආර්. තරුණ ජයවර්ධනට ආගම් යනු ඇදහිලි බවත් දේශපාලනය සහ ඇදහිලි පටලවා නොගත යුතු බවට අවවාද කළේය.

මානෙල් වත්ත සඟ සතු කොට පිදූ ජේ.ආර්. ගැටඹේ පන්සලට කම්බි ගැසුවේ අනවසරයෙන් රජයේ  ඉඩමක් අල්ලා ගැනීම නිසා මිස, බුද්ධාගමට එරෙහිව නොවේ.

පන්සල් තොරණවල් බවට පත් කරමින් තුන්සිය හැට පස් දවස පුරා දල්වන විදුලි බුබුළු ප්‍රමාණය අඩුකර ගමට ආදර්ශයක් දිය යුතු මොහොතක ඔබ වහන්සේ මේ හැසිරිම විකෘතියකි.

එක්සත් ජාතික පක්ෂය විසින් හික්මවූ නායකයන්, රට සහ භික්ෂුව පිළිබඳ ගැටළුවකදී නිතරම රටේ යහපත මුල් කොට, ක්‍රියා කිරීමට ශක්තිමත් විය. බණ්ඩාරනායක මැරුම් කෑවේ ඊට පටහැනිව ක්‍රියා කළ නිසාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ බණ්ඩාරනායක වෙනවාද? සේනානානයකලා මෙන් ක්‍රියා කරනවාද? කියා රට බලා සිටිති.

බණ්ඩාරනායකට වෙඩි තබන විට, අත් හිටුවා තිබුණ මරණීය දණ්ඩය සෝමාරාම සහ බුද්ධරක්ඛිත වෙනුවෙන් සක්‍රිය කළේ රටේ ආරක්ෂාව වෙනුවෙනි.

56 සටන මුවහත් කළ පණ්ඩිත බද්දේගම විමලවංශ නා හිමියන් බණ්ඩාරනායක අසාර්ථක වුණේ භික්ෂුන් කෙරෙහි පැවති නුවමනා බිය නිසාම බව පසු කලෙක කීහ.  වර්ගවාදයෙන් විනාස වූ රුවන්ඩාව කොට්ට උරයක් කන පිට ගැසුවා සේ රටේ යහපතට වෙනස් කිරීමට ජනාධිපති පෝල් කගාමේ වැඩ ඇල්ලුවේ රටේ පල්ලි සියල්ල වසා දමලාය. පල්ලි විවෘත කිරීමට නම් දේව ධර්ම සහතිකයක් ලබා ගත් පූජකයෙකු අවශ්‍ය බව ඔහුගේ කොන්දේසිය විය.

මේ හරහා තහවුරු වන්නේ රටක් ගොඩ නගන ජනතාවට හිතැති අවංක පාලකයන්ට ආගම් පූජ්‍ය පූජකයන් බාධාවක් බවය. අතුරලියේ රතන ලියා රඟ දැක්වූ වඳ දොස්තර නාටකය ඊට උදාහරණයකි.

වැව් දාගැබ් බැන්ද අතීතයක් හිමි අපගේ වර්තමානය තක්කඩි පාලකයන් විනාශ කර හමාරය. උදා වී  ඇත්තේ ඉවසිල්ලෙන් කැපවීමෙන් යළි සියල්ල යළි දිනා ගැනීමේ නිමේෂයයි.

දරුවන්ට ආහාර සහ අධ්‍යාපනය රෝගින්ට බෙහෙත් සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉඩකඩ සලසා ගත හැකි ලෙස රාජ්‍ය භාණ්ඩාගාරය ශක්තිමත් කිරීමය.

තමන් පරිහරණය කරන භාණ්ඩ හා සේවා සඳහා වැය වන විදේශ විනිමය පිළිබඳ සිහි බුද්ධියෙන් හෙවත් ප්‍රත්‍යවේක්ෂණයකින් ජීවත් වන්නැයි ජනතාව දැනුවත් කළ යුතු බෞද්ධ භික්ෂුව මේ නටන නාඩගම හරහා ජාත්‍යන්තරයට දෙන පණිවිඩය ලංකාවට ආධාර දෙන්න එපා යන්නට වැඩි යමක් නොවේ.

එදාට රාජපක්ෂලාට කලින් රටේ මිනිස්සු බුද්ධාගමත් අත් හරින්ට බැරි නැත. උතුරේ අලිංමංකඩින් එපිට ලෝකයට බෞද්ධ භික්ෂුව පොට්ට කාසි බවට පත්ව ඇත. පටු ඉලක්ක වෙත යොමු වී ලෝකයේ බුහුමනට පත්  නෛර්යානික ථේරවාදි බුදු  සසුනට හිමි ගෞරවය නැති නො කරන්නැයි සාසනාලයෙන් ඉල්ලා සිටිමි.

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

නිදහස් ලේඛක
sugathcb@gmail.com

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )

The Leader

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *