|

මෛත්‍රීපාල අද තනියම වෙල මැද්දේ  

 

ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන් 37 දෙනෙකු පත්කිරීමේ ක්‍රියාව පසුගිය සතියේ බොහෝ කතාබහට සහ විවේචනයට ලක් වූ සිදුවීමකි. පත් කළ රාජ්‍ය ඇමතිවරුන් අතරින් තිස් දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වීමත්, ඇමති මණ්ඩලය කුඩා විය යුතු ය යන ඉල්ලීම නොතකා හැරීමත් විවේචනවලට හේතු වූ බව පෙනෙන්නට තිබිණි.

මෙම රාජ්‍ය ඇමතිවරුන් පත්කිරීමේ ප්‍රධාන අරමුණ වුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසකට තනතුරු දීම බව පැහැදිලි කරුණකි. දේශපාලන ආරංචි මාර්ග වාර්තා කොට තිබුණේ මෙම තනතුරු ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලක් තිස්සේ ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටි බව යි. අතුරු අයවැයට පෙර මෙම පත්වීම් ලබා නොදුන හොත් එයට ඡන්දය නොදෙන බවට තර්ජනයක් කොට තිබු බව ද වරෙක වාර්තා වී ය.

ජනාධිපති මග හරියි

කෙසේ වෙතත්, ජනාධිපති රනිල් එම අවස්ථා කිහිපයක් ම මගහැර සිටි බව පෙනෙන්නට තිබිණි. ඔහු දිගට ම විපක්ෂයෙන් ඉල්ලා සිටියේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක් වන ලෙස යි. අතුරු අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ ඔහු එය නැවත අවධාරණය කළේය. එමෙන් ම, ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමෙන් වැළකී සිටීම මගින් ද ජනාධිපති විපක්ෂයට දී ඇති සංඥාව වන්නේ ඔවුනට තවමත් අවස්ථාව ඇති බව යි.

කෙසේ වෙතත්, සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිගට ම කියන්නේ සර් ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ නොවන බව යි. එමෙන් ම, ඇමැති මණ්ඩලය වැඩි කිරීමට එරෙහිව ද  සජිත් නිරන්තර ප්‍රචාරක සටනක සිටින බව පැහැදිලි කරුණකි.

පසුගිය දා සිදුවුයේ ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත් කරන තුරු ඉවසා සිටිය නොහැකි වූ පිරිසකට රාජ්‍ය ඇමතිකම් ලබාදීම බව පෙනෙන්නට තිබිණි. එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හය දෙනෙකුට ද රාජ්‍ය ඇමති ධුර හිමි වීම කැපී පෙනෙන සිදුවීමකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජගත් පුෂ්පකුමාර, රන්ජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ශුරෙන් රාඝවන්, චාමර සම්පත් දසනායක, ශාන්ත බණ්ඩාර  යන සය දෙනා රාජ්‍ය ඇමති ධුර භාරගත්තේ පක්ෂ නායකත්වයට බරපතළ අභියෝගයක් එල්ල කරමිණි. ඔවුන් මෙම තීන්දුව ගත්තේ ඊට දින කිහිපයකට පෙර පැවති පක්ෂ සමස්ත ලංකා කාරක සභාවේ දී පක්ෂ නායකයාට වැඩි බලතල දීමේ යෝජනාවක් සම්මත කොට තිබියදී ය. පක්ෂ විනය කඩ කරන සාමාජිකයින් නෙරපීමට පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට එම යෝජනාව මගින් බලය පවරනු ලැබී ය. එසේ වුව ද පක්ෂයේ බහුතරයක් ආණ්ඩුව සමග එක්වීම එමගින් නැවැත්විය හැකි නොවී ය. කැබිනට් සංශෝධනයේ දී දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාට ද ඇමැති තනතුරක් ලැබෙන්නට නියමිත බව ද වාර්තා වී තිබේ.

එසේ වුවහොත් සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පක්ෂයේ ඉතිරිවන්නේ දයාසිරි ජයසේකර, ශාන් විජයලාල් ද සිල්වා, අන්ගජන් රාමනාදන් සහ දුෂ්මන්ත මිත්‍රපාල මන්ත්‍රීවරුන්  පමණකි

රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීමේ දී ඇතැම් තෝරා ගැනීම් ගැන වැඩි වශයෙන් විවේචන එල්ල වූ බව සහ කතාබහට ලක් වූ බව ද පෙනෙන්නට තිබිණි. මැයි 9 දා ගෝල්ෆේස් අරගලයට පහරදීමේ ප්‍රධානියකු ලෙස චෝදනා ලබා සිටින සනත් නිශාන්ත, 2018 පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ප්‍රහාරය ගැන චෝදනා එල්ල වූ ප්‍රසන්න රණවීර ආදීන් ගැන විශේෂයෙන් විවේචන එල්ල වීය. සමගි ජන බලවේගයේ හිමිකාරිය බව කියමින් ගැටුමක් ද ඇති කරගෙන සිටින ඩයනා ගමගේ, තවත් විවාදාත්මක චරිතයක් වන ගීත කුමාරසිංහ ආදීන් ගැන විශේෂයෙන් කතා බහට ලක් වී ය.

මුල් රාජ්‍ය ඇමති පත්කිරීම් වලින් දින තුනකට පසු තවත් විවාදාත්මක පත් කිරීමක් සිදුවීය. එනම්, 2015 ජනාධිපතිවරණ අවස්ථාවේ සිදු වූ මිනීමැරුමකට චෝදනා ලැබූ ප්‍රේමලාල් ජයසේකර මහතාට රාජ්‍ය ඇමති තනතුරක් ලබාදීම යි.

සජිත්ගේ ඇමති මණ්ඩලය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය සාකච්ඡා සහ ජන හමු ගණනාවක දී රාජ්‍ය ඇමති පත්කිරීම් විවේචනය කළේය. ජනතාවට සහන දීමට මුදල් නැති ආණ්ඩුව ඇමතිවරුන්ට වරප්‍රසාද දීමට වියදම් කරන බව ඒ මහතාගේ චෝදනාව වී ය. ඇමති තනතුරු ලබා ගැනීමේ කෑදරකමක් සමගි ජන බලවේගයේ කිසිවකුට නැති බව ද ඒ මහතා  කී ය. සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ මෙරටට කැබිනට් ඇමතිවරු 15 ක් සහ රාජ්‍ය ඇමතිවරු 15 ක් ප්‍රමාණවත් බව යි.

මහින්ද අමරවීර ඇමතිවරයා කීවේ විපක්ෂයට වී විවේචනය කරමින් නොසිට සර්ව පාක්ෂික ආණ්ඩුවක වගකීම් ගනිමින් එම අදහස් ක්‍රියාවට නගන ලෙස යි. ඒ සඳහා අවශ්‍ය නම් ඇමති තනතුරුවලින් ඉවත්වීමට ද සුදානම් බව ඒ මහත් කී ය.

එකසත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවක් අමතා බදාදා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ  225 දෙනා ම පාලනයට සම්බන්ධ කර ගැනීම අවශ්‍ය බව යි. විවිධ කමිටු හරහා සියලු දෙනා සම්බන්ධ කර ගැනීම කළ යුතු බව යි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී නිදහස ජාතික සභාව ලෙස පෙනී සිටින ඩලස් අලහප්පෙරුම , ජී එල් පීරිස් කණ්ඩායම තම දේශපාලන ගමනේ තවත් පියවරක් ලෙස මහනුවර ප්‍රදේශයේ විද්වතුන් සහ වෘත්තිකයින් හමුවීම පසුගිය සති අන්තයේ සිදු කළේය. එහි දී කතා කරමින් ඩලස් අලහප්පෙරුම මහතා කීවේ මේ මොහාතේ තමන් සමග සිටින පිරිස කොපමණ දැයි තමාට වැදගත් නැති බව සහ රටට අනාගතයේ අවශ්‍ය වැඩ පිළිවෙළ වෙනුවෙන් පෙනී සිටින බව යි.

ආචාර්ය නාලක ගොඩහේවා මහතා කීවේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බිහි කිරීම සඳහා තමන් සකස් කළ වැඩ පිළිවෙළේ කිසිදු වරදක් නොතිබූ බව සහ වෙනත් පිරිසක් බලය අල්ලාගෙන වැරදි පාරක ගිය බවත් ය.

අපරාධකරුවන් කවුදැයි චරිත හෙළි කරයි

එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වර්තාවක අඩංගු කරුණක් හෙළිදරව් කරමින් මහාචාර්ය චරිත හේරත් මහතා කීවේ, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය අපරාධයක් බව කියන එම සංවිධානය එයට වගකිව යුත්තන් පස් දෙනෙකු නම් කොට ඇති බව යි. පී බී ජයසුන්දර, මහාචාර්ය ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල්, එස් ආර් ආටිගල සහ බැසිල් රාජපක්ෂ එම පස් දෙනා වෙයි.

මාතර මාකඳුරේ දී ඉරිදා පැවති කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මෑණියන්ගේ අවමගුලට පක්ෂ විපක්ෂ දේශපාලඥයින්  බොහෝ දෙනෙකු සම්බන්ධ වී ය. දේශපාලඥයින් එකිනෙකා හමුවීම නිසා එය ප්‍රධාන දේශපාලන අවස්ථාවක් බවට පත්ව තිබිණි. කෙසේ වෙතත්, මෙහි දී කතා බහට ලක් වූ හමුවීමක් වුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අතර හමුව යි.

රනිල් – හඳුන්නෙත්ති සංවාදය

10 දා, සෙනෙසුරදා  හඳුන්නෙත්ති මහතා මළ ගෙදර එන විට රනිල් වික්‍රමසිංහ මහතා එහි පැමිණ පවුලේ හිතවතුන් සමග කතාබහක නියැලී සිටියේ ය. වික්‍රමසිංහ මහතා සිටි කාමරයට හඳුන්නෙත්ති මහතා ගියේ එක්තරා ආකාරයක දෝෂාරෝපණයක් ද කරමිනි. “ ඔබතුමා පාර්ලිමේන්තුවේ මගේ නම කියලා මට ඉන්න නැති වුණා. හැමෝම කතා කරලා මේ කතාව මොකක්ද? ඇහුවා “ හඳුන්නෙත්ති මහතා කීවේ ය. ඉන් පසු දෙදෙනා අතර සිදුවුයේ රටේ සංවර්ධනයට අදාළ සංවාදයකි.

ඉදිරි කාලයේ සංවර්ධනයේ වැඩි කොටසක් දකුණු පළාතේ සිදුවනු ඇතැයි කී ජනාධිපතිවරයා ඇතැම් රජයේ ආයතන වෙනත් තැන්වලට ගෙනගොස් සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය ඉඩම් නිදහස් කරගැනීම ගැන ද කී ය. එහි දී හඳුන්නෙත්ති මහතා ද නොයෙකුත් යෝජනා ඉදිරිපත් කළ අතර ඒ බොහොමයකට ජනාධිපතිවරයා එකඟ වීම අසල සිටි බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ කරුණකි.

හැමදේම විවේචනය කරමින් නොසිට මේවාට සහය දෙන්නැයි කතාව අවසානයේ වික්‍රමසිංහ මහතා කී අතර හඳුන්නෙත්ති මහතා කීවේ හොඳ දෙයට සහය දෙන බව යි.

බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා ගියේ සැප්තැම්බර් 9 දා ය. ඒ මහතා සති කිහිපයක් එරට ගතකර පැමිණීමට නියමිත ය. ඇමෙරිකාවේ සංචාරය සඳහා ඒ මහතා අධිකරණයේ අවසරය ලබාගෙන ඇත්තේ ජනවාරි 15 දා දක්වා ය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යලි මෙරටට පැමිණියේ ද සැප්තැම්බර් 9 දා රාත්‍රියේ ය. කොළඹ බෞද්ධාලෝක මාවතේ රජයේ නිල නිවෙසක් ඒ මහතා ට ලබා දී තිබේ. හිටපු ජනාධිපතිවරයා යලි දේශපාලනයට පැමිණෙන බවට  සහ අගමැති ධුරයට පත්වන බවට ආරංචි පැතිර තිබුණ ද, ඒ මහතාගෙන් දක්නට ලැබුණේ දැඩි නිහඬතාවකි. මාධ්‍ය හමු නොවූ ඒ මහතා කිසිදු ප්‍රකාශයක් ද කළේ නැත. ඒ මහතා හමු වූ හිතවතුන්ගෙන් දැනගන්නට ලැබී ඇත්තේ දේශපාලනය ගැන කිසිවක් කතා කරන්නට ද ගෝඨාභය රාජපක්ෂ මහතා කැමැත්තක් නොදක්වන බව යි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව අත්සන් කළ අවබෝධතා ගිවිසුම හෙළි කළ යුතු බවට විපක්ෂය ගෙනගිය අරගලය සහ එය ලබා දිය නොහැකි යැයි මහ බැංකු අධිපතිතුමා සහ ආණ්ඩුව  කියා සිටීමත් නිසා ද පසුගිය දිනවල උණුසුම් තත්ත්වයක් ඇත වී තිබිණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාජ්‍ය මුදල් කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ,ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ආදීන් දිගින් දිගට ඉල්ලා සිටියේ ගිවිසුම හෙළි කළ යුතු බව යි. මහ බැංකු අධිපතිතුමා කීවේ බදු ආදිය පිලිබඳ සංවේදී තොරතුරු එහි අඩංගු වන බව යි.

අයි එම් එෆ් ගිවිසුම සජිත්ට ර්හෂට දෙයි

ගිවිසුම පිළිබඳව විවාදයක් අවශ්‍ය බවත්, ඊට පෙර ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක වරයාගෙන් ඉල්ලා සිටියේ ය. ඒ ගැන මහ බැංකු අධිපතිවරයා සමග කළ සාකච්ඡාවකින් පසු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට කීවේ ගිවිසුම ලබාදීම මුදල් ඇමතිගේ අනුමැතිය යටතේ සිදුවිය යුතු බවත්, එහි සංවේදී තොරතුරු ඇති බවත්, මහ බැංකු අධිපතිවරයා තමන්ට පැවසු බව යි.

කෙසේ වෙතත්, සඳුදා පැවති කැබිනට් රැස්වීමේ දී රජය වෙනත් තීරණයක් ගෙන තිබිණි. එනම්, ගිවිසුම කැබිනට් මණ්ඩලයටත්, විපක්ෂ නායකවරයාටත්, පාර්ලිමේන්තුවේ මුදල් කමිටු සභාපතිවරුන්ටත් ලබා දෙන බවට ය.

ඒ අනුව විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතාටත්, රාජ්‍ය මුදල් කමිටු සභාපති ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාටත්, මුල්‍ය අරමුදල සමග ගිවිසුම දැකගත හැකි වනු ඇත.

පසුගිය දේශපාලන අර්බුද අවස්ථාවේ එයට විසදුම් යෝජනා කළ සිවිල් සමාජ සංවිධාන ඉදිරිපත් කළ අදහසක් වුයේ  අර්බුදයට මුහුණ දී රට ගොඩ ගැනීම සඳහා සියලු පක්ෂ එකසත් විය යුතු බව සහ එහි ප්‍රධාන පියවරක් ලෙස පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයින්ගේ ජාතික සභාවක් පිහිටුවිය යුතු බව යි. එම අදහස අනුව කළ සාකච්ඡා මත ජාතික සභාවක් පිළිබඳ යෝජනාවක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පක්ෂ නායකයින්ට ඉදිරිපත් කළේය. පක්ෂ නායකයින්ගේ අනුමැතිය එයට ලැබී ඇත.

දැනට පිළිගෙන ඇති යෝජනාවට අනුව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි සාමාජිකයින් 37 දෙනෙකුගෙන් සමන්විත ජාතික සභාවක් පිහිටුවනු ලබන අතර එහි මුලාසනය දරන්නේ කතානායක තුමා විසිනි. රටේ දිගුකාලීන, මධ්‍ය කාලීන සහ කෙටි කාලීන ජාතික ප්‍රතිපත්ති සකස්කිරීමේ වගකීම මෙම සභාවට පැවරෙනු ඇත. බදාදා පැවති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේ දී තීරණය වුයේ මෙම ජාතික සභාව පිලිබඳ යෝජනාව 20 වැනිදා, එනම් අඟහරුවාදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට ය. ඒඅනුව ජාතික සභාවක් පිහිටුවීම ඉක්මනින් ම සිදුවනු ඇත. එය පාර්ලිමේන්තුව ම ආණ්ඩුවක් කිරීමේ ජනාධිපතිගේ සංකල්පය ක්‍රියාවට නැගීමේ උත්සහයක් ද විය හැකි ය.

ආණ්ඩුවේ ජිනීවා සටන

ශ්‍රී ලංකා රජය මේ වන විට මුහුණ දී සිටින තවත් බරපතළ අභියෝගයක් වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය සහ එහි ඉදිරිපත් වීමට නියමිත යෝජනා පිලිබඳ ප්‍රශ්නය යි. මෙවර සැසිවාරයට පෙර නිකුත් වූ වාර්තා මගින් ද ශ්‍රී ලංකා රජය දැඩි ලෙස විවේචනයට ලක්ව තිබිණි.

මානව හිමිකම් සැසිය 12දා සඳුදා ආරම්භ වී ය. ආරම්භක දිනයේ දී ම සමුළුව ඇමතීමේ අවස්ථාව ශ්‍රී ලංකා විදේශ ඇමති අලි සබ්රි මහතාට හිමිව තිබිණී. ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරැකීමට කටයුතු කරමින් සිටින බව සමුළුවට කී ඇමතිවරයා වැඩි දුරටත් කීවේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය තම බලය ඉක්මවා ක්‍රියාකරන බව යි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ස්වෛරී භාවය උල්ලංඝනය වන කිසිදු යෝජනාවකට තමන් එකඟ නොවන බව ඇමතිවරයා කී ය.

අරගලයේ නියෝජිතයින්, දෙමළ ඩයසපෝරාව, ජාත්‍යන්තර සහ දේශීය මානව හිමිකම් සංවිධාන ඇතුළු බොහෝ කණ්ඩායම් සැසියට සහභාගී  වී හෝ යෝජනා ඉදිරිපත් කොට තිබිණි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් රැකීමේ අවශ්‍යතාව, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය, විසම්මුතියට ඉඩදීම වැනි කරුණු ගණනාවක් යුරෝපා සංගමය විසින් මතුකරනු ලැබ තිබිණි. ඉන්දියාව අවධාරණය කළේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ බලය බෙදීම පිලිබඳ ප්‍රශ්නය යි. මෙම චෝදනාවලින් ශ්‍රී ලංකාව රැක ගැනීමට චීනය ඉදිරිපත් වී ය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලුත් යෝජනාවක් සමුළුවට ඉදිරිපත් කිරීමට ඇමෙරිකාව ප්‍රමුක ක්‍රියාකාරී කණ්ඩායම කටයුතු කරමින් සිටියි. එම යෝජනාවෙන් ශ්‍රී ලංකා රජය බරපතළ ලෙස විවේචනයට ලක්වනු ඇති බව පෙනෙන්නට තිබේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනතාව සා ගින්නෙන් මුදා ගැනීම සහ දරුවන් මන්දපෝෂණයෙන් මුදාගැනීම සඳහා වැඩ පිළිවෙළක් පසුගිය අඟහරුවාදා දියත් කළේ ඒ සඳහා ක්‍රියාකාරී කමිටු හතක් පත් කරමිනි. ඉදිරි මාස් කන්නය සාර්ථක කර ගැනීම අර්බුදයට මුහුණ දීමේ පළමු පියවරක් බවත්, යල් කන්නය ද සාර්ථක කර ගතහොත් නිෂ්පාදනයේ ඉහළ මට්ටමකට යා හැකි බවත් ජනාධිපතිවරයා කී ය.

සී ජේ

දේශපාලන සතිය – අනිද්දා – 18.09.2022

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *