චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන්නේ කොහොමද ? – නිශාන්ත කමලදාස

හොරුන් කුඩු කාරයින් දූෂිතයින් හොර මත්පැන් බිස්නස්කාරයින් ලෙස චෝදනා ලැබ තිබෙන එහෙත් ඒ බව ඔප්පු නොවුනු අය සම්බන්ධයෙන් පක්ෂවල නාමයෝජනා මණ්ඩල අනුගමනය කළේ කුමන පිළිවෙතක් ද?
එම චෝදනා ඔප්පු වී නැති නිසා ඒ අයට නාමයෝජනා දීම ය. සමහර නාමයෝජනා අත්සන් කෙරුණේ චුදිතයන් සිටින බන්ධනාගාරවල දී ය.
අපේ ආයතනවල ද චුදිතයෝ සිටිති. ඔවුන්ට එරෙහි වෝදනා තවමත් විධිමත් පරීක්ෂනයකින් ඔප්පු කර නැත්නම් ඔබ ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ කුමන පියවරක් ද? විශේෂයෙන් ආයතනයේ තීරණාත්මක නිලයකට කරන උසස්වීමක දී ඔබ ඔවුන්ව ද සෙසු අය සමග එකට ගෙන සැළකිල්ලට ලක් කරන්නේ ද?
රජයේ සේවයේ නම් එසේ කිරීමට නීතියෙන් ද අවසර නැත.
එවැනි චුදිතයෙකු උසස්වීමක් සඳහා සළකා බැලීමට පෙර ඔහු/ඇය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන්ව තිබිය යුතු ය. එතෙක් ඔහුට/ඇයට ඉවසා සිටීමට සිදු වේ.
l5_400_266_95එහෙත් රටේ උත්තරීතර පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන ක්‍රමය ඊට වෙනස්ව තිබේ. මෙහි ඇති අනතුර නම් පාර්ලිමේන්තුව වැනි ආයතනයක් සම්බන්ධයෙන් එවැනි ලිහිල් පිළිවෙතක් අනුගමනය කරන කල සාමාන්‍ය  ආයතනයක් සම්බන්ධයෙන් අප කලින් කී දරදඩු නීතිය අනුගමනය කරන්නේ මන්ද යන ප්‍රශ්නය මතු කළ හැකි වීම ය.
අප මේ අනතුර අගවන්නේ රටේ ඉහළ තැන් වල කරන දෑ පහළට නොදැනුවත්වම කාන්දු වීමේ ඉඩකඩ පවතින නිසා ය. එය අපේ ආයතනවලට ද වැද්ද ගැනීමට ඉඩකඩ ඇති නිසා ය. ලොක්කන් හිට ගෙන කරන දේ සොක්කන් දුව දුව කරන්නේය යන කියමන මෙහිදී මතක් කර ගැනීම අවශ්‍ය  ය.
දඩුවම් දීම සම්බන්ධයෙන් නම් චෝදනා ඔප්පු වන තෙක් සිටීම අතිශයින් වැදගත් බව සැබෑ ය.
උසාවියට නොපවරා පොලීසිය මැරයන්ට ආයුධ සොයන්නට යවා වෙඩි තියන කල බොහෝ දෙනා ඒ ගැන අප්‍රසාදය පළ කළේ ඒ නිසා ය. අහිංසක කෙනෙකු දඩුවමකට ලක් කිරීම අපරාධයක් බැවිනි.
එහෙත් තනතුරකට පත් කිරීම සම්බන්ධයෙන් ඒ ප්‍රතිපත්තිය අදාළ වන්නේ නැත.
මේ වෙනස තේරුම් ගැනීමට නොහැකිව ඇත්තේ නීති ක්ෂේත්‍රයේ ඔස්තාර්ලාට ය. දේශපාලන පක්ෂවල නාමයෝජනා මණ්ඩලවල වැඩියෙන් සිටියේ ඔවුන් ය. පක්ෂවල ලේකම්ලා හැටියට සිටියේ ද ඔවුන් ය. ඔවුන්ට නිසි පිළිතුරු දීමේ හැකියාව ඇත්තේ අගෝස්තු 17 දා ජන්ද පොලට යන චන්ද දායකයාට ය.
කළමනාකරුවන් ලෙස අප කළ යුත්තේ මේ ඊනියා තර්කය අපේ ආයතනවල පැලපදියම් වීම වැළැක්වීම ය.
නැත්නම් අපට සිදුවන්නේ දඩුවම් දීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපදාව උසස්වීම සම්බන්ධයෙන් අනුගමනය කොට කෙළවා ගැනීමට ය.
(නිශාන්ත කමලදාසගේ  “කළමනාකරණය සිංහලෙන්” –  ” management in sinhala” බ්ලොග් අඩවියෙනි )

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *